ත‍්‍රස්තවාදය අතුගා දමන්න අපෙන් ආදර්ශයක්

ත‍්‍රස්තවාදය අතුගා දමන්න අපෙන් ආදර්ශයක්

- දොඩම්පහළ රාහුල හිමි

මිහිදු හිමියන් ලංකාවට වැඩම කර ගොඩනැඟූ ජාතික එකමුතුව, සාමකාමී සමාජය නැවත ස්ථාපිත කිරීමට හැකි වී තිබෙනවා. මේ දක්වා ම අපි ජීවත් වුණේ ජාතීන් අතර ගත් කළ වෙන් වෙන් වශයෙන්. එසේ නොමැතිව මිහිඳු මාහිමියන්ට සමකාලීනව මේ දේශය සැබෑ ලෙසම එක්සත් කරන්නට හැකි වී තිබෙනවා.

ත‍්‍රස්තවාදීන්ට එරෙහිව පැවැති යුද්ධයෙන් ජයගැනීම දෛවයේ සරදමක් වෙනවා. මේ කර්තව්‍ය මහින්ද චින්තනයට සමගාමීව සිදු කිරීමට හැකිව තිබෙනවා. එම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණයේ සඳහන් දේ අද සැබෑවක් වී තිබෙනවා.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශයක් කරනවා බෞද්ධ දර්ශනයට අනුව කටයුතු කරනවා කියා. සැබෑවට ම මේ රට ගොඩනැගිය හැක්කේ ඒ රටාවටයි. අපේ රටින් සමස්ථ ලෝකයාට ම ලබාදිය හැක්කේ සම්බුද්ධ ධර්මයයි. එතකොට ලෝකයාට ම දෙන්නට හැකි නම් ත‍්‍රස්තවාදය නිමා කරන්නේ කොහොම ද කියන එකත් දෙන්නට හැකි වෙනවා.

ත‍්‍රස්තවාදයෙන් මුදා ගත්තා සේම රට ගොඩනැගීම ද කළ යුතු කාර්යයක් වෙනවා. සංඝරත්නය හැටියට ඒ සඳහා අවශ්‍ය අවවාද අනුශාසනා අපි ලබා දෙනවා. දේශීය අවශ්‍යතාවයන්ට ගැලපෙන ආකාරයට අපේ රටේ සෑම තැනකටම චින්තනයක් අවශ්‍යයි. ඇතැම් තැන්වල කථා කළ නොහැකි තරමට හානියට පත්වූ අවස්ථා තිබෙනවා.

සියල්ලකට ම වඩා දේශීයත්වය ගැන සළකා කටයුතු කළ යුතු වෙනවා. අපේ ප‍්‍රතිපත්ති වෙනස් නොකර දේශීයත්වය හරහා ඉදිරියට ගමන් කළ යුතුයි. දේශපෙ‍්‍ර්මි මතවාද ගොඩනැගීම අධ්‍යාපනයෙන් ආරම්භ කළ යුතු වෙනවා. සියලු දෙනාටම එක හා සමාන ලෙස සළකන පරිසරයක් නිරිමාණය කිරීම ද අවශ්‍ය වෙනවා.
 


අවශ්‍ය බලය ත‍්‍රිවිධ හමුදාවට දුන්නා

- සරත් හෙට්ටි ආරච්චි දේවගැතිතුමා

ශ‍්‍රී ලාංකේය සමාජය බහුවිධ සමාජයක් විවිධ භාෂා කතා කරන බහු සංස්කෘතික උරුමයක් ඇති බහු දේශපාලනික මතවාද තිබෙන භූ ගෝලීය ප‍්‍රදේශයක් . පහුගිය දශක දෙක තුනක කාලය තුළදී මේ බහු විධ සමාජය දෙදෙරා ගියා. ඒකට ප‍්‍රබලම හේතුව වුණේ ශ‍්‍රී ලංකාව LTTE ත‍්‍රස්තවාදයට ලක්වීම. උතුර නැඟෙනහිර විතරක් නොවෙයි රැකියාවල නිරත වන සාමාන්‍ය පුරවැසියන්ද හිටියේ මේ නිසා මරණ බියකින්. ඒ වගේම උතුරු නැගෙනහිර දෙමළ ,මුස්ලිම් මිනිසුන් හිටියේ තුවක්කුවේ බලයට යටවෙලා.

ත‍්‍රස්තවාදයට විරුද්ධ වූවන්ටත් ත‍්‍රස්තවාදීන් විසින් කුරිරු දඩුවම් දුන්නා ඔවුන්ගේ පවුල් පිටින් විනාශ කළා. බොහෝ අය LTTE ත‍්‍රස්තවාදය පිළිබඳ අතිශයෝක්තියෙන් කතා කළා. ලෝකයේ ප‍්‍රබලම ත‍්‍රස්තවාදය ලෙස එය නම් කළා. ඔවුන් ඉල්ලන දේ දීලා ඉවත් විය යුතු යන සංකල්පයේ තමයි බොහෝ රාජ්‍ය නොවන සංවිධාන සහ බටහිර රටවල් කියා සිටියේ. ඒත් ජනාධිපතිතුමාගේ එඩිතර තීරණයක් මත ති‍්‍රවිධ හමුදාවට මෙහි සියලු බලතල පැවරුවා. මීට පෙර සටන් වලදී ති‍්‍රිවිධ හමුදාව අතට තුවක්කු දුන්නට බලය දී තිබුණෙ නෑ. නමුත් මේ සටනේ දී අවශ්‍ය බලය ති‍්‍රවිධ හමුදාවට දුන්නා. ඒ නිසා තමයි එක්සත් ශ‍්‍රී ලංකාවක එකම ධජයක් එසවීමේ අවස්ථාවක් අපට උදා වූයේ.
 


සියලු දෙනාටම සතුටින් ජීවත් වෙන්න අවස්ථාව ලැබුණා

- මුබාරක් අබ්දුල් මජීඩ් මවුලවිතුමා

අපි ලද මේ විශිෂ්ට ජයග‍්‍රහණයේ නියමුවා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බව කාටත් රහසක් නොවෙයි. එතුමා ගේ සෘජු නායකත්වය, ධෛර්ය හා චින්තනය තුළ දේශ පෙ‍්‍ර්මය තිබුණා. ඒ දේශ පෙ‍්‍ර්මීත්වය නිසාමයි අපට මේ නිදහස් නිවහල් රටක් දැක ගන්නට ලැබුණේ. මේ සේනාධිනායකයා ගේ ධෛර්යය,, චින්තනය, දේශපේ‍්‍රමීත්වය අපේ විරෝධාර රණවිරුවන් තුළත් නොඅඩුව තිබුණා. එල්. ටී.ටී.ඊ ත‍්‍රස්තවාදයෙන් මාතෘ භූමිය රැක ගත යුතු යැයි යන හැගීම රණවිරුවන් තුළ තිබුණා.

ඒ නිසාම ඔවුන් කැපවීමෙන් සටන් කළා. මේ රට ත‍්‍රස්තයන්ගෙන් බේරා ගන්න අපේ විරුවන්ට ආයුධ පමණක් නොවෙයි දේශපේ‍්‍රමීත්වයත් තිබුණා. මේ නිසාම රණවිරුවන් දිවි පරදුවට තබා සටන් කළා. ඔවුන් බොහෝ දෙනෙක් ජීවිත පරිත්‍යාග කළා. අපි ඒ පරිත්‍යාගයට ගෞරව කළ යුතුයි. ඒ ගැන වැඩි අවධානයක් යොමු කළ රජය මාතෘභූමිය රැක ගැනීමට කි‍්‍රයා කළ රණවිරුවන්ට සම්මාන පුද කරලා ගෞරව කරන්නට පියවර ගෙන තිබෙනවා. මේ ගැන අද අපේ රටේ සියලුම ජනතාව සතුටු වෙනවා. විශේෂයෙන් මුස්ලිම් ජනතාව ලෙස අද අපට ඉතාමත් ආඩම්බර දවසක්.

ඉදිරියේ දී මේ රටේ වෙසෙන සියලුම දෙනාට සතුටින් , සාමයෙන් ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා. ජනාධිපතිතුමාගේ අභීත නායකත්වය යටතේ නැවත කිසිවෙකුට ආයුධ අතට ගන්නට අවස්ථාවක් නොලැබෙන බව සිකුරුයි.
 


දිවිපිදූ, ආබාධිත රණවිරුවෝත් ජයග‍්‍රහණයේ කොටස්කරුවෝ

- පල්ලේගම හේමරතන හිමි

මේ කුරිරු ත‍්‍රස්තවාදය නිම කිරීමෙන් ලද ජයග‍්‍රහණය, ශී‍්‍ර ලංකා ඉතිහාසයේ ම විශිෂ්ට ජයග‍්‍රහණයක් බව මගේ හැඟීමයි. සේනාධිනායක ජනාධිපතිතුමා ප‍්‍රධානයෙන් මේ වෙනුවෙන් ඇපකැප වුණු ආරක්ෂක ලේකම්, හමුදාපතිවරු – සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුළු සියලු ම රණවිරුවන් මෙහිදී ආශිර්වාදාත්මකව සිහිපත් කළ යුතුයි. මේ ජයග‍්‍රහණය අපට සැලකිය හැක්කේ සාමුහික ජයග‍්‍රහණයක් හැටියටයි. අපි සියලුම රණවිරුවන් දකින්නේ මාතෘභූමිය වෙනුවෙන් ස්වකීය යුතුකම මැනවින් ඉටුකළ වීරෝධාර පිරිසක් හැටියටයි.

දිවි පරදුවට තබා ඔවුන් කළ සේවාව අප අගය කළ යුතු අතර වසර 30 කට ආසන්න කාලයක් පුරා මේ වෙනුවෙන් ජීවිත පූජා කළ සියලුම රණවිරුවන්ට අපගේ උපහාරය හිමිවිය යුතුයි. ඒ වගේ ම අද ආබාධිත වෙලා දුක්විඳින රණවිරුවෝත් මේ ජයග‍්‍රහණයේ සැබෑ කොටස්කරුවන්. අපටත් මේ ජයග‍්‍රහණයේ කොටස් කරුවන් විය හැක්කේ ඔවුන්ට කෘතවේදීත්වය පිරිනැමුවොත් පමණයි.
 


අනවශ්‍ය වියදම් රණවිරුවන්ට කැප කරමු

- අක්මීමණ දයාරතන හිමි

මාවිල් ආරු සොරොව්වේ සිට තොප්පිගල දක්වා රණවිරුවන් කල ජයග‍්‍රහණයේ දී අප දුටුවා ඔවුන් කළ අප‍්‍රමාණ කැපවීම. මෙහිදී තමන්ගේ සහෝදර රණවිරුවන් මරණයට පත්වනු දැක දැකත් ඔවුන් තුළ එඩිතර බව නොසැලි තිබුණා. මේ මගේ රට මේ මගේ ජාතිය යන උදාරතර සංකල්පයයි ඒ. ඔවුන් නිබඳව ම පෙනී සිටියේ සමස්ථ ජාතියෙ වෙනුවෙනුයි. මේ අවස්ථාවේ ජනතාවට මා කියා සිටින්නේ අනවශ්‍ය දේවල් වලට මුදල් වැය නොකොට රණවිරුවන්ගේ දරුවන් සහ ආබාධිත රණවිරුවන් වෙනුවෙන් ඒ මුදල් වැය කරන්න කියායි.
 


ලබාගත් ජයග‍්‍රහණය සියලු ජාතීන්ට අයිතියි

- මෞලවි එම්. එස්. එම්. කාසිම් පූජක තුමා

ත‍්‍රස්තවාදීන් පරදා රටට සාමය ඇති කිරීම ගැන අපි සතුටු වෙනවා. වසර 30ක් පමණ මේ රටේ පැවැති ත‍්‍රස්තවාදී ගැටලු ව නිමාවට පත් කොට තිබෙනවා. ත‍්‍රස්තවාදය අවසන් කිරීම රට දියුණු කිරීම සඳහා හොඳ අවස්ථාවක්.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසුවේ මේ රටේ සුළු ජාතියක් නෑ කියලයි. අපි සියලු දෙනා ම එක්ව ශ‍්‍රී ලාංකිකයන් හැටියට කටයුතු කළ යුතු වෙනවා. මේ යුද්ධයෙන් පසුව දැන් සෑම ජාතියකට ම සාමයෙන් සමගියෙන් ජීවත් වෙන්නට පුළුවන්.

ත‍්‍රස්තවාදීන් විසින් දැනට අවුරුදු කීපයකට පෙර මුස්ලිම් ජාතික වැසියන් යාපනයෙන් පන්නා දැම්මා. ඔවුන් තවමත් කාලය ගත කරන්නේ කඳවුරුවලයි. රජය සහ හමුදාවන් එක්ව කළ මේ කාර්යය එක ජාතියකට පමණක් නොව සියලු ජාතීන්ට ම අයත් වෙනවා. අපි ප‍්‍රාර්ථනා කරන්නේ සියලු දෙනාම එක්ව මේ රට සංවර්ධනය කිරීමටයි. ලෝකයේ බොහොමයක් රටවල ත‍්‍රස්තවාදය තිබෙනවා. අපේ රටේ පැවැති ත‍්‍රස්තවාදය දැන් සම්පූර්ණයෙන් ම අවසන් කර තිබෙනවා.

ආසියාවේ අනෙකුත් රටවලට වඩා අපේ රටේ සංවර්ධන ඉලක්කයන් සපුරා ගත යුතු වෙනවා.
 


ඉතිහාසයේ රන් අකුරෙන් ලියැවේවි

- ශි‍්‍රව ශී‍්‍ර බාලරව්ශංකර් කුරුක්කල්තුමා

මාතෘභූමිය ත‍්‍රස්තවාදයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා අපේ වීරෝදාර රණවිරුවන් විශාල කැපකිරීමක් සිදු කළා.

රණවිරුවන් දිවි පරදුවට තබා රට රැකගැනීමට සටන් වැදුණා. ඔවුන්ගේ ලේ දහඩිය, කඳුළු මතින් අද අපට නිදහස් නිවහල් රටක් උදාවෙලා තිබෙනවා.

ඉදිරියට අපේ රටේ කුමන ආණ්ඩුවක් බලයට පත්වූවත්, මේ රණවිරුවන් ගේ කැපකිරීම අමතක කරන්න හොඳ නැහැ. මේ නිදහස භුක්ති විඳින හැම මොහොතෙම අපට වීරෝදාර රණවිරුවන් මතක් විය යුතුමයි.

ඒ නිසා මිය ගිය රණවිරුවන්ගේ පවුල්වලට මෙන්ම ආබාධිත වූ රණවිරුවන්ට සදා කල්ම අපි අපෙන් විය යුතු සේවාවන් ඉටු කළ යුතුයි.

අපේ රටේ ඉතිහාසය තිබෙනතුරුම අපි මේ රණවිරුවන් සැමරිය යුතුයි. රට බේරාගැනීමට අභීතව සටන් වැදුණු අපේ රණවිරුවන්ගේ නාමය ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙනු නොඅනුමානයි.

රණවිරුවන් ගේ ජයග‍්‍රහණය හේතුවක් කරගෙන අප සියලු දෙනා ශී‍්‍ර ලාංකිකයන් ලෙස එකමුතුව කටයුතු කරමින් ශී‍්‍ර ලංකාව ලෝකයේ උසස්ම රටක් බවට පත් කිරීමට කැප විය යුතුයි.

මේ ත‍්‍රස්තවාදී අරගලය නිසා වැඩිම බලපෑමක් ඇතිවුණේ උතුරේ අහිංසක ජනතාවටයි. ජනාධිපතිතුමා ගේ දැඩි ආත්ම විශ්වාසය නිසා මේතරම් විශාල යුද ජයග‍්‍රහණයක් අපට ලැබුණා වගේම එතුමා මේ අහිංසක ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට පත් කරන්නට කටයුතු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.

අවුරුදු 30ක් ත‍්‍රස්තවාදයෙන් බැටකෑ මේ අහිංසක ජනතාවට ජනාධිපතිතුමාගේ සහය තිබෙනවා.

මේ නිසා ඉතා ඉක්මණින්ම එම ජනතාවට තමන්ගේ ගම්බිම්වලට ගොස් නිදහසේ තම ජීවිකාව කරගැනීමට අවස්ථාව ලැබෙයි කියා අප බලාපොරොත්තු වෙනවා.

මාවිල්ආරු සිට ඇරඹුණු මේ මානුෂීය මෙහෙයුම් යටපත් කරගන්නට විවිධ විදේශීය බලපෑම් එල්ලවූ බවත් අප දන්නවා. නමුත් ජනාධිපතිතුමා මේ කිසිවකට නොනැවි නිර්භීතව කි‍්‍රයා කිරීම අප රටට ආඩම්බරයක්. මේ නිසා එතුමාටත්, ආරක්ෂක ලේකම් තුමාටත්, ති‍්‍රවිධ හමුදාපතිවරුන්ටත්, පොලිස්පතිවරුන්ටත් සමස්ත රණවිරුවන්ටත් අපි ශී‍්‍ර ලාංකිකයින් ලෙස සදා ණයගැතියි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්