මානුෂික මෙහෙයුමේ පෙරගමන්කරු

මානුෂික මෙහෙයුමේ පෙරගමන්කරු

ශ‍්‍රී ලංකා ද්වීපයේ ඒකීයබව හා ස්වෛරීත්වය රැක ගැනීමට ඇරඹි මානුෂික මෙහෙයුමේ සෑමවිටම පෙරගමන්කරුවා වූයේ ගුවන් හමුදාව ය.

වන්නි හා උතුර මුදාගැනීමේ කටයුත්ත පටන්ගනු ලැබුවේ 2007 වසරේ සැප්තැම්බර් 01 වැනිදා වූවද ඊට පෙර සිටම එම ප‍්‍රදේශවල කොටි බලය බිඳීමේ කටයුත්ත ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ජෙට් බළගණය විසින් මනාව ඉටුකරනු ලැබීය.

ඒ වසරේ ජූලි අගෝස්තු මාසවලදී සිලාවතුර අවට හා උතුරේ ඈතින් පිහිටි ස්ථානවලද කොටින්ගේ කඳවුරු හා මර්මස්ථාන නිරීක්ෂණය කැරමින් පහරදීමට ගුවන් නියමුවෝ පියවර ගත්හ.

එම සැප්තැම්බර් 01 වැනිදා සිලාවතුර ප‍්‍රදේශයට විශේෂ බලකා සෙබළ කැළ ගෙන ගියේද ගුවන් යානා බෙල් 212 යානා හයකිනි. එම ප‍්‍රදේශයේ තිබූ ප‍්‍රබල මුහුදු කොටි කඳවුරට පහරදීමෙන් අනතුරුව ඒ වෙතට පැමිණෙන කොටි පිරිස හා ප‍්‍රහාරක බලය බිඳ දැමීම ගුවන් නියමුවෝ අගෝස්තුවේ සිටම සිදුකළහ.

ප‍්‍රහාරක හා නිරීක්ෂණ යානාවල ආරක්ෂාව සමඟින් සිලාවතුරට බට සෙබළ කැළට එතැන් සිට දිගින් දිගටම ඉදිරියේ ඇති බාධක පිළිබඳ දැනුම් දෙමින් නිරීක්ෂණ ගුවන් යානා කි‍්‍රයාත්මක විය. ඉදිරියට ඇදෙන පාබල හමුදාවට එල්ලවන සතුරු ප‍්‍රහාර කොටි මර්මස්ථාන, අවි ස්ථානගත කැර ඇති ස්ථාන සොයා පහරදීමට ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව පැය 24 පුරාම කි‍්‍රයාත්මකව සිටියේය. කොටි නායකයන් සැඟවී සිටි ස්ථාන වෙතද දිගින් දිගටම පහර දුන් අතර 2007 නොවැම්බර් 02 දා තමිල් සෙල්වම් ගුවන් ප‍්‍රහාරයකින් මිය ගියේය.

මෙහෙයුමේ යෙදෙන භට පිරිස්වලට ආසන්නයේ ඇති සතුරු ස්ථාන වෙත එම්. අයි. 24 ප‍්‍රහාරක යානාවන් පහර දුන්නේය. විටෙක සැඟව සිටින ත‍්‍රස්තවාදීහු ප‍්‍රහාරක යානයට වෙඩි ප‍්‍රහාර එල්ල කළහ. එවැනි අවස්ථාවලට මුහුණදීමට ගුවන් අවිකරුවෝ (ගුවන් හමුදා වෙඩික්කරුවන්) දෙදෙනෙක් එම්.අයි. 24 යානාවල අවි දරා සිටියහ. භූමියේ සැඟවී පහරදෙන ත‍්‍රස්තවාදීන් ගුවන් අවිකරුවන්ගේ ඉලක්කයට හසුකරගත් අවස්ථා එමට තිබිණි. අවසානයේ ත‍්‍රස්තවාදීන් ප‍්‍රහාරක ගුවන් යානාවලට පහරදීම පසෙකලා සැඟවෙන්නට පටන් ගත්හ.

සතුරු භූමියේ දුරින් පිහිටි ස්ථාන වෙත පහර දුන්නේ ජෙට් බළගණය මගිනි. මිග් 27, කෆීර් හා එෆ් හත යානා මේ කි‍්‍රයාවලියේ යෙදුණි.

නැඟෙනහිර මානුෂීය මෙහෙවර ඇරඹීමට පෙර 2006 අපේ‍්‍රල් 27 වැනිදා සවස ති‍්‍රකුණාමලය සාම්පූර් කොටි කඳවුරට පහර දුන්නේද ජෙට් ප‍්‍රහාරක යානා මගිනි.

2006 ජූලි 26 වැනිදා මාවිල්ආරුවෙන් ඇරඹි සිවිල් ජනතාව මුදාගැනීමේ මෙහෙවරේදී දිගින් දිගටම ඉදිරියේ තිබූ කොටි ඉලක්ක වෙත පහර දුන් අතර උතුරේ කොටින්ගේ සැපයුම් ස්ථාන වෙතද පහරදීමට ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව එදා පියවර ගනු ලැබීය. මේ ගුවන් ප‍්‍රහාර හේතුවෙන් ත‍්‍රස්තවාදීන්ට සටන් පවතින ප‍්‍රදේශ වෙත පිරිස් බලය හා අවි ආයුධ ප‍්‍රවාහනය කිරීමට අසීරු විය. එමගින් භූමිය අත්පත් කරගත් භට පිරිස්වලට සිය කාර්ය ඉටුකර ගැනීමට පහසුව සැලසිනි.

හදිසි ප‍්‍රහාරයක් සඳහා සතුරු භූමියට යාමට අවශ්‍ය වූ භට පිරිස් ගුවනින් ගෙන ගියේ ද ඔවුන් ගේ කාර්යය ඉටුකළ පසු ආරක්ෂා සහිතව පිරිස එම ස්ථානයෙන් ඉවත් කරගනු ලැබුවේද ගුවන් හමුදා හෙළිකොප්ටර් මගිනි. බොහෝවිට බෙල් 212 මේ කටයුත්තට යොදා ගැනිණි.

යුද බිමේදී තුවාල ලැබූ භට පිරිස් ඉවත්කර රෝහල් වෙතට ප‍්‍රවාහනය කෙරුණේද මේ යානා මගිනි. බෙල් 212, එම්.අයි. 17 යානා මේ වෙනුවෙන් යාපනය, වවුනියාව හා අනුරාධපුර ගුවන් කඳවුරුවල වන්නි හා උතුරේ මෙහෙයුම් අවසන් වන තුරුම සූදානම් කැර තිබිණි.

මේ මගින් අවි හා සෙබළ පිරිස්ද ප‍්‍රවාහනය කෙරිණි. විවිධ සේවාවන් සඳහා මෙහෙයුම් පැවැති ප‍්‍රදේශ වෙත යොදවා තිබුණේ ඒ.එන්. 302, වයි 12 හා සී 130 යානා ය. රත්මලාන සිට විවිධ ප‍්‍රදේශවලට සෙබළුන් ප‍්‍රවාහනය කෙරුණේ ඒ.එන්. 302 හා සී. 130 වර්ගවල විශාල යානා මගිනි.

නැඟෙනහිර, වන්නි හා උතුර මෙහෙයුම අවසන් වන තෙක්ම නිරීක්ෂණය හා විමර්ශන කටයුතු මගින් කොටි මර්මස්ථාන හඳුනා ගැනීම. ඒවාට පහරදී විනාශ කිරීම,

නාවික හා යුද හමුදා කණ්ඩායම් ගමන්ගත් මාර්ගවලට ඉදිරි ප‍්‍රදේශයේ ඇති බාධක නිරීක්ෂණය කැර දැනුම්දීම.

සටනේ නියැලී සිටි කණ්ඩායම්වලට අවශ්‍ය ප‍්‍රවාහන හා මෙහෙයුම් කටයුතු ඉටුකිරීම ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව දවසේ පැය 24 පුරාම සිදුකළහ.

යුද වැදී සිටින පිරිසට පෙර ගමන්කරු ලෙස අවශ්‍ය සියලු දෑ සැපයූ ගුවන් හමුදාව ශ‍්‍රී ලංකා ගුවන ආරක්ෂා කිරීම සඳහා ගුවන් ආරක්ෂක පද්ධතියක් කි‍්‍රයාත්මක කැර තිබිණි.

2006 ස්ථාපිත කෙරුණු ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් මෙරට ගුවනට ඇතුළුවන ඕනෑම යානයක් නිරීක්ෂණය වේ. සතුරු යානයක් ඇතුල් වුවහොත් හඹා ගොස් පහරදීම එමගින් ඒවා විනාශ කිරීම මේ පද්ධතියේ කාර්යයන් අතර වැදගත් වේ. ඉකුත් වසරේ සැප්තැම්බර් 09 වැනිදා වවුනියා කඳවුරට බෝම්බ හෙළා පලා ගිය කොටි යානය පිටුපස හඹා ගොස් එෆ් 7 යානයකින් පහර දී විනාශ කෙරුණේ ද මේ ආරක්ෂක පද්ධතිය හේතුවෙනි.

නිරීක්ෂණ කටයුතු සඳහා නව තාක්ෂණය උපයෝගී කර ගැනෙන අතර පහරදීම සඳහා ගුවනින් හඹා යාමට එෆ් හත යානා ද ඉහළින් ගමන් කරන සතුරු යානයකට පහරදීමට ගුවන් යානා නාශක අවි ද මේ පද්ධතිය සතුය.

කොළඹ අධි ආරක්ෂිත කලාපය ඇතුළුව විවිධ ස්ථානවල මේ අවි ස්ථානගත කැර තිබේ.

පොලිසියේ හා ති‍්‍රවිධ හමුදා පුහුණු ගුවන් ප‍්‍රහාරක අවිකරුවන් මේ සඳහා යොදවා ඇත.

නව වසරේ පෙබරවාරි 20 වැනිදා රාති‍්‍රයේ කොළඹ ගුවන් හමුදා මූලස්ථානයට හා කටුනායක ජෙට් ප‍්‍රහාරක බලගනයට පහරදීමට පැමිණි කොටි, මරාගෙන මැරෙන ගුවන් යානාවලට සාර්ථක ලෙස පහර දුන්නේ මේ ගුවන් ප‍්‍රහාරක අවි මගිනි.

මානුෂික මෙහෙයුමේ අවසන් අදියරට පැමිණි විට ගුවන් ප‍්‍රහාර එල්ල කිරීම නතර කෙරිණි. ඉකුත් පෙබරවාරි අවසානය වනවිට පුදුමාතලන් වෙල්ලමුල්ලවයික්කාල් ඇතුළු කුඩා ප‍්‍රදේශයක සාමාන්‍ය වැසියන් රඳවා ගනිමින් ත‍්‍රස්තවාදීන් ජනතාව අතර සිට පහරදීම කි‍්‍රයාත්මක කරනවිට ගුවනින් පහරදීම නවතා දමන ලදී. මානුෂික මෙහෙයුම පැවැති අවසන් දිනය දක්වාම සාමාන්‍ය ජනතාවට හානිනොවන පරිදි ඉතා සුපරීක්ෂාකාරී අයුරින් ගුවනින් පහරදීම් සිදුකළ අතර ඒ බව හොඳින් හඳුනාගත් කොටින් අවසන් මොහොතේ ජනතාව අතර සැඟවිණ.

මේ වකවානුව වනවිට ගුවනින් නිරීක්ෂණ කටයුතු කරමින් ඉදිරියට ඇදෙන පාබළ හමුදාවට හා මුහුදේ රැක සිටි නාවිකයන්ට තොරතුරු සැපයීමට ගුවන් නියමුවෝ නිරතුරුවම කි‍්‍රයාත්මක ව සිටියහ.

ප‍්‍රාණ ඇපකරුවන් ලෙස කොටි රඳවාගෙන සිටි ජනතාව මුදාගැනීමෙන් පසු ඉකුත් අපේ‍්‍රල් 27 වැනිදා සිට ඔවුන්ට අවශ්‍ය ද්‍රව්‍ය ප‍්‍රවාහනය කිරීමට ගුවන් හමුදාවට පැවරිණි.

කොටි ග‍්‍රහණයේ සිටියදී නිසි අහරක් හෝ පානීය ජලය නොලැබීමෙන් හාමත්වී සිටි ජනතාවට ඒ වනවිට ක්ෂණික ආහාරපාන අත්‍යවශ්‍ය විය. මේ අනුව කි‍්‍රයාත්මක වූ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ඒවා කොළඹ සිට කඩිනමින් කිළිනොච්චි වෙත රැගෙන ගියහ.

එම්. අයි. 17, සී. 130, ඒ. එන්. 32, වයි 12, බෙල් 212 යානා මගින් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හා ක්ෂණික ආහාර ගෙනයාමට පියවර ගනු ලැබිණි.

සිවිල් වැසියන් කොටි ග‍්‍රහණයෙන් මුදාගැනීමේ උදාර මෙහෙවරට එක්ව සිටි ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ඒ කටයුත්ත අවසන් වනවාත් සමඟම කොටි ග‍්‍රහණයෙන් මුදාගත් ජනතාවට ආහාර ඇතුළු මානුෂික ආධාර සැපයීමටත් කොටි ප‍්‍රහාරවලින් තුවාල වූ ජනතාව වහා රෝහල් වෙත ප‍්‍රවාහනය කිරීමටත් කි‍්‍රයාත්මක වූහ.

ඒ අතර උතුරු නැඟෙනහිර මුදාගත් ප‍්‍රදේශ කීපයක ආරක්ෂාව තහවුරු කරමින් ගොඩබිම් ආරක්ෂක කටයුත්තටද උරදී සිටිති.

දැයේ ආරක්ෂාවට උරදී සිටින ශ‍්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක ඇතුළු ගුවන් විරුවනි ඔබ කළ මෙහෙවර උදෙසා අපේ උපහාරය බැතියෙන් පුද කරන්නෙමු.


සබැඳි පුවත්