මාතෘ භූමිය විජයග‍්‍රහණයෙන් පසු අවසන් සටන මෙහෙයවූවන් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ජනතාවට කරුණු පැහැදිලි කළේ මෙසේයි.

මාතෘ භූමිය විජයග‍්‍රහණයෙන් පසු අවසන් සටන මෙහෙයවූවන්

විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ජනතාවට කරුණු පැහැදිලි කළේ මෙසේයි.

කේ. පී. නම් පුද්ගලයා අපට ප‍්‍රශ්නයක් නොවේ

- ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ

එල්.ටී.ටී. ඊ නායක ප‍්‍රභාකරන් හා උමා මහේශ්වරන් 1982 වසරේදී ඉන්දීය රජය , අත්අඩංගුවට ගත් අවස්ථාවේ එවකට පැවැති රජය රාජ්‍ය තාන්ති‍්‍රක වශයෙන් කි‍්‍රයා කළා නම් වසර 30 ක් තිස්සේ මේ යුද්ධය දිග් ගැහෙන්නේ නැහැ.

මානුෂීය මෙහෙයුම් වලින් ත‍්‍රස්තවාදය සම්පූර්ණයෙන් නිමා කිරිමෙන් පසු අප රටට පැමිණි ඉන්දීය ආරක්ෂක කටයුතු උපදේශක නාරායන් මැතිතුමාත් මේ බව සනාථ කළා.

සුළුවෙන් විසඳ්‍ර ගැනීමට හැකි දේ නොසළකා හැරීමෙන් අපේ රටට කොපමණ හානියක් වුණාද?

ත‍්‍රස්තවාදය නිමා කිරීමට අපේ රණවිරුවන් දිවි පරදුවට තියා සටන් කරද්දී ජාත්‍යන්තර ප‍්‍රජාවගෙන් ඒ මානුෂීය මෙහෙයුම් නතර කිරීමට නොයෙකුත් බලපෑම් එල්ල වූණා.

මෙයට රජය හොදින් මුහුණ දුන්නා. ජාත්‍යන්තරය කියා කියන්නේ කුමක්ද කියා අප තේරුම් ගත්තා. මේ ප‍්‍රශ්නයේදී අපට පක්ෂව සිටින මිත‍්‍ර රටවල් සමග අපේ සම්බන්ධය වැඩිකැර ගත්තා. විශේෂයෙන්ම ඉන්දියාව සමග අපේ හොඳ සම්බන්ධීකරණයක් තිබුණා.

ජනාධිපතිතුමා ඉන්දියාවට ගොස් එරට රාජ්‍ය නායකයන් හමු වී පවතින තත්ත්වය ගැනත් එල්. ටී. ටී. ඊ යේ ඉදිරි සැළසුම් ගැනත් දැනුවත් කළා. ඉන්දියාව මේ ත‍්‍රස්තවාදය ගැන අවබෝධයෙන් කි‍්‍රයා කළා අපට පක්ෂව සිටියා.

එල්. ටී.ටී. ඊ යේ වර්තමාන නායකයා වශයෙන් කුමාරන් පද්ම නාදන් කියා කෙනෙකු පත්වුණා කියා වෙබ් අඩවි වල පළවුණා. මේ තැනැත්තා ජාත්‍යන්තර පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට සොයන අයෙක්. අපට ජාත්‍යන්තරයේ බලපෑම් එල්ල කරන ඇතැම් අය නීති විරෝධි අවිජාවාරම් වල යෙදුණු , නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම් වල යෙදී සිටින කුමාරන් පද්මනාදන් අත්අඩංගුවට ගැනීමට ඔහුට රැකවරණ දෙන රටවලට බලපෑම් නොකිරීම අපට ගැටලුවක් . එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙවැනි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කි‍්‍රයා කළ යුතු බව පෙන්වා දෙන්ට කැමතියි.

දැනට සැගවී සිටින එල්. ටී. ටී. ඊ සංවිධානයේ සියලු සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් දිගටම කි‍්‍රයාත්මක කරනවා.

යළිත් වරක් කොටි ත‍්‍රස්තවාදය හිස එසවීමට නොහැකි ලෙස ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කරනවා. රටේ අන් සියල්ලටම වඩා ආරක්ෂාවට මුල් තැනදී කි‍්‍රයා කරනවා.

සෑම ශ‍්‍රී ලාංකිකයකුටම ගෞරවාන්විතව ජීවත් වීමට හැකි පසුබිමක් ඇති කිරීමෙන් බෙදුම් වාදයට ස්ථිර විසදුමක් ලබා දිය හැකි වෙනවා.

ජනවාර්ගික වශයෙන් මෙයට විසඳුම් දීමට ගියොත් තව - තවත් ජාතීන් අතර බෙදීම් ඇති වෙනවා.

දේශපාලන විසඳුමක් මගින් සෑම කෙනෙකුටම ගෞරවාන්විතව ජීවත් විය හැකි රටක් බවට ශ‍්‍රී ලංකාව පත් කළ යුතුව තිබෙනවා.

ජාතීන් අතර විරසක බව ඇති වීමට තුඩු දුන් හේතු සොයා බලා ඒවාට පිළියම් යෙදීමෙන් නැවත බෙදුම්වාදී ත‍්‍රස්තවාදයක් ඇති වීම වළක්වා ගත හැකිවේ.

පසුගිය මැයි 29 වැනි දින ‘දෙරණ’ රූපවාහිනී නාළිකාව සමග ‘’360’’ සජීවි සංවාදයට එක් වෙමින් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා දැක්වූ අදහස් ඇසුරිනි.
 


උපක‍්‍රම වෙනස් කිරීමෙන් සටන ජය ගත්තා

- යුද හමුදාපති, ජනරාල් සරත් ෆොන්සේකා

කුමරන් පද්මනාදන් හෝ වෙනත් කවුරුන් හෝ යළිත් එල්.ටී.ටී.ඊ. කි‍්‍රයාකාරකම් හෝ ත‍්‍රස්ත කි‍්‍රයා හෝ බෙදුම්වාදය හෝ ආරම්භ කළහොත් එය නැවතත් පරාජය කිරීමේ හැකියාව යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශ සතුව තිබෙනවා.

කේ.පී. කියන අයට ලංකාව ඇතුළත නැවත එල්.ටී.ටී.ඊ. යේ කි‍්‍රයාකාරකම් ආරම්භ කිරීමට කිසිම ඉඩ කඩක් නැහැ.

ශී‍්‍ර ලංකාවේ යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශවලට ආවේනික සැලසුම් මත එල්.ටී.ටී.ඊ. යේ සියලුම නායකයන් දැනට විනාශ කර අවසන්. කුමරන් පද්මනාදන් යන අය ජාත්‍යන්තර පොලීසියට අවශ්‍ය වී සිටින කෙනෙක්. ඔහු දෙමළ ජනතාව වෙනුවෙන් මුදල් එකතු කැරගෙන ඒ මුදල් වලින් කුමාර සැප විදින බටහිර ක‍්‍රමයට අඳින පළඳින කෙනෙක්. එසේම කේ.පී. කියන කෙනා ඉන්දියාවේ හිටපු අගමැති රජීව් ගාන්ධි මහතා ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සිටින කෙනෙක්.

මානුෂීය මෙහෙයුම් නිමාව දකින අවස්ථාවේ, බටහිර රටවල් සිවිල් ජනතාව රකින මුවාවෙන්, එල්.ටී.ටී.ඊ. නායකයින් ආරක්ෂා කැර ගැනීමට සැලසුම් කැර තිබුණා. ඔවුන් දීර්ඝ කාලයක් තිස්සේ මේ සැලසුම් සකස් කරමින් සිටියා. ඉන්දියාව ශී‍්‍ර ලංකාව ඇතුළු මේ කළාපය තවත් මැද පෙරදිගක්, වැනි තත්ත්වයට පත්කිරීමට බටහිර රටවල් සැලසුම් කරමිනුයි සිටියේ.

උතුරේ කි‍්‍රයාත්මක වූ රාජ්‍ය නොවන සංවිධාන මහජනතාවට එකම එක වැසිකිළියක් වත් සාදා නැහැ. ඔවුන් ගේ අරමුදල් සහ දැනුම එල්.ටී.ටී.ඊ. ය තවදුරටත් යුදමය වශයෙන් ශක්තිමත් කිරීමට යොදවලා තිබෙනවා. එල්.ටී.ටී.ඊ. යේ නාවික ශක්තිය තහවුරු කිරීමට , කොටස් එකතු කැර බෝට්ටු සකස් කර ගැනීමට රාජ්‍ය නොවන සංවිධානවල සේවකයින් තාක්ෂණික දැනුම ලබාදීලා තිබෙනවා. සමහර යුද විශ්ලේෂකයන් හා ජනමාධ්‍යකරුවන් ජනමාධ්‍ය නිදහස ගැනත්, මානව හිමිකම් ගැනත් කෑගැහුවා. ඔවුන් එසේ කි‍්‍රයා කළේ එල්.ටී.ටී.ඊ යෙන් ලැබුණු දීමනා මතයි.

නීතිවිරෝධී ත‍්‍රස්ත කි‍්‍රයා මර්දනය කිරීමට ශී‍්‍ර ලංකා හමුදාවට තිබෙන නීත්‍යානුකූල රාජකාරිවලට එරෙහිවයි ඔවුන් එසේ කි‍්‍රයා කෙළේ.

ශ‍්‍රී ලංකාවේ අනාගත ආරක්ෂාව සුරක්ෂිත කිරීමට නම් රටට වින කරපු අය රටට ද්‍රෝහී වූ පිරිසක් සේ සලකා ඔවුනට එරෙහිව නීතිමය පියවර ගැනීම අවශ්‍යයි.

රටේ ආරක්ෂාව වෙනුවෙන් හමුදාමය ශක්තිය තවදුරටත් වර්ධනය කළ යුතුව තිබෙනවා. එල්.ටී.ටී.ඊ. යේ ත‍්‍රස්ත කි‍්‍රයා ආරම්භ වෙන කාලයේ යුද හමුදාවේ සිටි පිරිස සුළු වුවත් අද වෙනකොට යුද හමුදාව ලක්ෂ දෙක දක්වා වැඩි කිරීමට අපට හැකි වුණා. මේ ප‍්‍රමාණය ලක්ෂ (3) තුන දක්වා වැඩි කිරීමට අවශ්‍යව තිබෙනවා.

ත‍්‍රස්තවාදය පරාජය කිරීමේදී අපේ යුද හමුදාව සම්පූර්ණයෙන්ම ප‍්‍රතිසංවිධානය කිරීමට සිදුවුණා.

හමුදා නිලධාරීන්ගේ හා භටයන් ගේ දක්ෂතා අනුව සුදුසු වගකීම් පැවරුවා. පොතේ විදියට නැතිව ශ‍්‍රී ලංකාවටම ගැළපෙන ආකාරයට සටන් වෙනස් කිරීමෙන් අපට ජයගැනීමට හැකිවුණා.
 


කොටින් ගේ මර්මස්ථානවලට නිවැරැදි ප‍්‍රහාර එල්ල කළා

- ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නිවැරැදි මගපෙන්වීම හා සෘජු නායකත්වය හා යුද බිමේදී ආරක්ෂක හමුදා එකිනෙකා අතර මනා සම්බන්ධතාවයකින් කි‍්‍රයා කිරීම නිසා වසර 3ක් වැනි කෙටි කලකින් ත‍්‍රස්තවාදය පරාජය කිරීමට හැකිවුණා.

මේ කි‍්‍රයාදාමය තුළ අපේ නිලධාරීන් හා ප‍්‍රහාරක ගුවන් යානා නියමුවන් කැපවීමෙන් එල්.ටී.ටී.ඊ.යේ මර්මස්ථාන විනාශ කිරීමට දක්ෂ වුණා.

නියමුවන් රහිත ගුවන් යානා මගින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට, එල්.ටී.ටී.ඊ.යේ ඉලක්ක හඳුනා ගැනීමට හැකිවුණා. ත‍්‍රස්තවාදය පරාජය කිරීමට අවශ්‍ය මෙහෙයුම සිදුවෙන තීරණාත්මක අවස්ථාවල ශ‍්‍රී ලංකා යුද හමුදාව සහ නාවික හමුදාව ගුවන් හමුදාවෙන් සහාය ඉල්ලූ සෑම අවස්ථාවකම ඒ මොහොතේ ම ප‍්‍රහාර එල්ල කිරීමට අපට හැකිවුණා. අලුතින් මිලදී ගත් මිග් යානා ඇතුළු ගුවන් යානා, යුද අවි, සහ යුද උපකරණ සතුරා පරාජය කිරීමට ඉවහල් වුණා. ඒවා මිලදී ගැනීමේදී නොයෙකුත් චෝදනා එල්ල වුවත්, සතුරා පරාජය කිරීමට ඒවා විශාල වශයෙන් උපකාරී වුණා.

ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් භටයන් සෙසු කාර්ය මණ්ඩල සෑම කෙනෙකුම ඔවුන්ගේ හැකියාව හා දක්ෂතාව මත තෝරාගෙන, ඒ ඒ අංශවලට යෙදවූවා. ඔවුන් උපරිමයෙන් මේ සටනේදී සිය දක්ෂතාවයන් පෙන්වූවා.

අපේ ගුවන් හමුදාවට චෝදනා එල්ල කරන අය ජෙට් ගුවන්යානා සදහා අපට ඉන්නේ නියමුවන් 5 දෙනෙකු පමණක් බව දන්නේ නැහැ. ඔවුන් එක් දිනකට ප‍්‍රහාර 15 – 16 වැනි ප‍්‍රමාණයක් එල්ල කරන්නේ කොපමණ කැපවීමකින්ද ?

ජනාධිපතිතුමා ති‍්‍රවිධ හමුදාවට මාර්ගෝපදේශකත්වය ලබා දුන්නා වගේම මානුෂීය මෙහෙයුම පිළිබඳ රටේ ජනතාවත් නිවැරදිව දැනුවත් කළා. ජනාධිපතිතුමාගේ ශ්‍රේෂ්ඨ නායකත්වය මේ ජයග‍්‍රහණයට හේතුවුණා.

ති‍්‍රවිධ හමුදාවන් සහ පොලීසියත්, සිවිල් ආරක්ෂක බලකායත් හොඳ සම්බන්ධීකරණයකින් හා එකම අරමුණකින් සටන් වැදීමත්, ජනතාවගෙන් ලැබුණු උපරිම සහායත් නිසා ත‍්‍රස්තවාදය පරාජය කිරීමට හැකිවුණා. ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ දක්ෂතාවය නිසා ගුවන් යානා නවීකරණය කැර ගැනීමටත්, අලුතින් අංගෝපාංග එක්කිරීමටත් අපට හැකිවුණා.

සිවිල් ජනතාවට ගුවන් ප‍්‍රහාර වලින් හානි සිදුවෙන බවට ඇතමුන් චෝදනා එල්ල කළේ ඔවුන්ගේ වෙනත් යටි අරමුණුවලට අනුවයි.

අපේ නිලධාරීන් හරියටම කොටින් ගේ මර්මස්ථාන හඳුනා ගෙනයි ප‍්‍රහාර එල්ල කළේ. ඒ බව දැන් තහවුරු වෙලා තිබෙනවා.

මෙරට ජනතාවගේ බුද්ධිමත් භාවය මත බහුතර ජනතාවගෙන් ආරක්ෂක අංශවලට විශාල සහායක් ලැබුණා.

ඒ සහාය ත‍්‍රස්තවාදය පරාජය කිරීමට ඉවහල් වුණා.
 


කොටින් ගේ යුද සැපයුම් මාර්ග සියල්ල අවහිර කළා

- නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ

සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ නායකත්වය යටතේ කොටි ත‍්‍රස්තවාදය විනාශ කැර දැමීමට තිබූ අවස්ථාව එවකට බලයේ සිටි නායකයන් පැහැර හැරියා.

ඒ අවස්ථාවේ කොටි නායකයන් වඩමාරච්චියේ දී ආරක්ෂක හමුදාවට කොටුවී සිටියා. එහෙත් ජාත්‍යන්තරයෙන් එල්ල වූ බලපෑම් හමුවේ එවකට සිටි නායකයින් මෙහෙයුම් නැවැත්වූවා.

වත්මන් ජනාධිපතිතුමා එතුමාට එල්ලවු දේශීය හා විදේශීය බලපෑම් හමුවේ මානුෂීය මෙහෙයුම් නතර නොකළ නිසා ත‍්‍රස්තවාදය පරාජය කිරීමට හැකිවුණා.

කොටි ත‍්‍රස්තවාදය පරාජය කිරීමේදී නාවික හමුදාව සිය වගකීම මවුබිම වෙනුවෙන් මනාව ඉටුකළා.

ඊළඟට ඇතිවෙන ඊළාම් යුද්ධය හුදෙක්ම සාගර සටනක් විය හැකි බවට මුහුදු කොටි නායකයා ප‍්‍රකාශ කැර තිබුණා. ඒ තරමට ඔවුන්ගේ මුහුදු කොටි බළකාය ශක්තිමත්ව පැවැතුණා.

නැෙඟනහිර වෙරළ වටලා ති‍්‍රකුණාමලය අල්ලාගෙන යුද හමුදාව පරාජයට පත්කිරීමටත් පසුව යාපනය අල්ලා ගැනීමටත් කොටින්ගේ සැලැස්මක් තිබුණා. අපට ඒ සැලැස්ම ව්‍යර්ථ කිරීමට පුළුවන් වුණා. ඔවුන්ගේ මුහුදු මාර්ගය සම්පූර්ණයෙන් අවහිර කළා.

කොළඹ වරායට මරාගෙන මැරෙන මුහුදු කොටි ප‍්‍රහාරයක් එල්ලකැර අපේ රටේ ආර්ථිකයට බරපතල ලෙස හානි සිදු කිරීමටත් ඔවුන්ගේ සැලැස්මක් තිබුණා. සමස්ත මුහුදු තීරයම ආවරණය වෙන ලෙස මීගමුවේ සිට පානදුර දක්වා විශේෂ මුර පොළ ඇති කළා.

යුද ආම්පන්න මුහුදෙන් ගෙන ඒමේ කොටින්ගේ සැපයුම් මාර්ග සියල්ල අප අවහිර කළා. ජාත්‍යන්තර මුහුදේදී පවා කොටින්ට අවි ගෙන එමින් තිබූ නැව් විශාල ප‍්‍රමාණයක් අපට විනාශ කිරීමට හැකිවුණා. මේ නිසා 2007 න් පසුව එක යුද නැවක්වත් කොටින්ට ගෙන්වා ගැනීමට බැරිවුණා. නවීන උපකරණ අපේ නාවික යාත‍්‍රාවලට සවි කළා. නාවිකයන්ගේ තාක්ෂණික දැනුමෙන් පැරණි නාවික යාත‍්‍රාවලටම බර අවි සවි කරලා මුහුදු සටන් ජයගැනීමට අපේ නැවියන් දක්ෂවුණා.

රට වට කැර රැකවල් ලා සිටි නිසා කොටින්ට බාහිර සම්බන්ධතා අඩාලවුණා. දුෂ්කර වුණා.

ඒ වගේම මානුෂීය මෙහෙයුම් අවසන් අදියරට පැමිණ තිබූ මොහොතේ කොටි නායකයන්ට පැනයාමට තිබූ ඉඩකඩ අපි සම්පූර්ණයෙන්ම අවහිර කළා. එහි ප‍්‍රතිඵලයක් ලෙස මුහුදු කොටි නායක සුසෙයිගේ බිරිඳ ඇතුළු පිරිසක් පැනයෑමට තැත් කරද්දී අත්අඩංගුවට ගැනීමට හැකිවුණා. ති‍්‍රවිධ හමුදාවම ඒකායන අරමුණකින් සටන් වැදුණු නිසා වසර 30 ක් තිස්සේ රටේ බරපතළම ප‍්‍රශ්නය වූ කොටි ත‍්‍රස්තවාදය අපට පරාජය කිරීමට හැකිවුණා.

මවුබිමට දෙවැනි වරට නිදහස දිනා දුන් ආරක්ෂක භටයන් විශාල පිරිසක් මෙහිදී දිවි පිදුවා. තවත් විශාල පිරිසක් ආබාධිත වුණා.

මියගිය සෙබළුන්ගේ පවුල්වල අයත් ආබාධිත වූ සෙබළ පිරිසත් රැක බලා ගැනීම මේ රටේ සමස්ත ජනතාවගේම වගකීම වෙනවා. මිලියන විස්සක් වූ අපේ රටේ මහජනතාවට මේ සුළු පිරිස රැක බලා ගැනීම එතරම් දුෂ්කර නොවනු ඇතැයි විශ්වාස කරනවා.


 

දකුණේ ආරක්ෂාව රැකගත්තේ පොලීසියයි

- පොලිස්පති ජයන්ත වික‍්‍රමරත්න

කොටි ත‍්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම පරාජය කිරීමේ අවසන් සටනට මානුෂීය මෙහෙයුම් පැවැති පළාත් 2 හැරුණු විට ඉතිරි පළාත් 7 ම ආරක්ෂා කැර ගනිමින් ශ‍්‍රී ලංකා පොලිසිය සිය සහාය ලබා දුන්නා.

1977 සිට මේ දක්වා පොලිසියේ විවිධ තරාතිරම්වල 3597 ක් දෙනා දිවි පුදා තිබෙනවා.

පසුගියදා විජයග‍්‍රහණයෙන් අවසන් වූ මාවිල්ආරුවලින් ආරම්භ වූ මානුෂීය මෙහෙයුම් පැවැති කාලයේද පොලිසියේ සහ විශේෂ කාර්ය බළකායේ 195 දෙනෙකු දිවි පුදා තිබෙනවා. විශාල සංඛ්‍යාවක් තුවාල ලබා සිටිනවා. ජනාධිපතිතුමා සහ ආරක්ෂක ලේකම්තුමා නිරන්තරයෙන් අපට කැඳවා උපදෙස් ලබා දුන්නා. ආරක්ෂක මෙහෙයුම්වල යෙදීමට අමතරව ආරක්ෂක ලේකම්තුමාගේ උපදෙස් අනුව විශේෂ කාර්ය බළකාය යොදවා ආරක්ෂක වැටක් පවත්වාගෙන යෑමට අපට හැකිවුණා.

දකුණේ විවිධ කි‍්‍රයාකාරකම් කරමින් උතුරු, නැඟෙනහිර මානුෂීය මෙහෙයුම් අඩාල කිරීමට කොටි ත‍්‍රස්තවාදීන් විවිධ සැලසුම් කි‍්‍රයාත්මක කළා.

දකුණ ආරක්ෂා කැර ගැනීමට අපට හැකිවුණේ සිවිල් ජනතාවගෙන් ලැබුණු උපරිම සහාය නිසාය.

මාවිල්ආරුවලින් මානුෂීය මෙහෙයුම් ආරම්භ කිරීමත් සමඟ සිවිල් ආරක්ෂක කමිටු පිහිටුවීමට පියවර ගත්තා.

පොලිසිය යනු මහජනතාවයි. මහජනතාව යනු පොලිසියයි කියා කියමනක් තිබෙනවා. එය සම්පූර්ණ සත්‍යයක්. පොලිසිය මහජන විශ්වාසය දිනා ගත්තොත් ඔවුන්ගේ උපරිම සහාය පොලිසියට ලැබෙනවා. අප ඒ දේ කළා.

දකුණේ ආර්ථික මර්මස්ථාන ආරක්ෂා කිරීම, ප‍්‍රභූ ආරක්ෂාව ඇතුළු විශාල වගකීමක් මේ කාලය තුළ පොලිසියට පැවරුණා.

පොලිසියේ සෑම කෙනෙකුම ඉතා ඉහළ කැපවීමකින් කි‍්‍රයාකරමින් මානුෂීය මෙහෙයුම් සාර්ථකව ජයග‍්‍රහණය කිරීමට දායකවුණා.

යුද හමුදාව මුදාගන්නා ප‍්‍රදේශ ආරක්ෂා කිරීමේ වගකීම පොලිසියට පැවරුණා. යුද හමුදාවට ඉදිරියට යෑමට පොලිසිය එසේ වගකීම් බාරගැනීම විශාල පිටුවහලක් වුණා. දකුණේ මහා විනාශ කිරීමට පැමිණි කොටි ත‍්‍රස්තවාදීන් අතිවිශාල ප‍්‍රමාණයක් පුපුරණ ද්‍රව්‍ය, ගිනි අවි ඇතුළු ඔවුන්ගේ සැලසුම් රාශියක් හෙළිදරව් කැර ගැනීමට පොලිසියට හැකිවුණා. මේ කාර්යයේදී සිවිල් ජනතාවගෙන් අපට හොඳ සහයක් ලැබුණා.

උදාහරණයක් ලෙස වැලිඔය සිට ඕමන්ත දක්වා මාර්ගයේ ආරක්ෂාව හදිසියේම පොලිසියට භාරගැනීමට සිදුවුණා. අපේ විශේෂ කාර්ය බළකාය පැය 10 ක් ඇතුළත ඒ කාර්යයේ නිරතවුණා. අදටත් ඔවුන් ඒ ප‍්‍රදේශවල කැලෑවේ රාජකාරිවල යෙදෙනවා.

මව්බිමට නිදහස දිනාදීමට දිවි පුදකළ සියලුම පොලිස් භටයින් හා නිලධාරින්ට පිං පැමිණවීමටත්, ආබාධිත අයට ඉක්මන් සුවය ප‍්‍රාර්ථනා කිරීමටත් පොලිස් ස්ථාන රාශියක පිංකම් පැවැත්වීමට අදහස් කරනවා.


 

සිවිල් වැසියන් ආරක්ෂා කළේ අපි

- සිවිල් ආරක්ෂක බළකායේ අධ්‍යක්ෂ ජනරාල් සරත් වීරසේකර

තර්ජිත ගම්මානවල සිවිල් වැසියන් ඝාතනය කරමින් කොටින්ගේ සීමාවන් පුළුල් කිරීමට ඔවුන් තුළ තිබූ සැලැස්ම අප ව්‍යර්ථ කළා.

ඊශ‍්‍රායල් වරුන් ජනවාර්ගික යුද්ධය නමින් කෙටිකලකින් පලස්තීනය ලෝක සිතියමෙන් ඉවත් කළා වගේ කොටි ත‍්‍රස්තවාදීන් දකුණේ සීමාවන් පටුකොට අපට හම්බන්තොටින් මුහුදට පනින තැනට කටයුතු යොදමින් සිටියා. එවැනි අවස්ථාවක තර්ජිත ගම්මාන ආරක්ෂා කැර ගැනීමට සිවිල් ආරක්ෂක බලකාය සුවිශේෂී දායකත්වයක් ලබා දුන්නා.

කොටින්ගේ සියලුම සැපයුම් මාර්ග අවහිර කිරීමට අපට හැකිවුණා. යුදහමුදාව මුදාගත් ප‍්‍රදේශවලින් 80%ක් පමණ භූමිය ආරක්ෂා කැර ගැනීමට සිවිල් ආරක්ෂක බලකාය සමත්වුණා. පූජනීය ස්ථාන වගේම රටේ ආර්ථික මර්මස්ථාන ආරක්ෂා කැරගැනීමට සිවිල් ආරක්ෂක බලකායට හැකිවුනා.

පුල්මුඩේ සිට අලිමංකඩ දක්වා ප‍්‍රදේශවල ආරක්ෂාවට භටයින් 1000ක් පමණ අපට යොදන්නට සිදුවුනා.

කොළඹ ආරක්ෂාවට පමණක් සිවිල් ආරක්ෂක භටයින් 3000ක් යෙදවූවා. කටුනායක සිට පෑලියගොඩ දක්වා මාර්ගය ආරක්ෂා කිරීමට සිවිල් ආරක්ෂක භටයින් 600ක් යොදවා කිසිම කඩාකප්පල්කාරී කි‍්‍රයාවක් කිරීමට කොටින්ට ඉඩ දුන්නේ නැහැ.

දළදා මාලිගාව ශ‍්‍රී මහා බෝධිය කිරිවෙහෙර, කතරගම වැනි පූජනීය ස්ථාන ආරක්ෂාවට යොදා තිබුණෙත් සිවිල් ආරක්ෂක භටයින්.

සේම මේ රටේ වැව් අමුණු ඇළවේලි, විදුලිබලාගාර, රජයේ ස්ථාන ආරක්ෂා කැර ගැනීමටත් සිවිල් ආරක්ෂක බළකායට හැකිවුණා. නාවික හමුදාවේ වසර 35ක සේවා කාලය නිමවී විශ‍්‍රාම යන දවසේම ජනාධිපතිතුමා මාහට මේ අංශය භාරදුන්නා. ආරක්ෂක ලේකම්තුමා, යුදහමුදාපතිතුමා, පොලිස් පතිතුමා සිවිල් ආරක්ෂක බලකාය ශක්තිමත් කිරීමට හා විධිමත් කිරීමට සහාය වුනා. මේ සේවාව 1985 දී තර්ජිත ගම්මාන ආරක්ෂා කැර ගැනීමට එම ගම්මානවල සිවිල් පුරවැසියන් විසින්ම ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී ආරම්භ වූ සේවාවක්.

ඔවුන් මුල් කාලයේ තම ගම් බිම් ත‍්‍රස්තවාදයෙන් ආරක්ෂා කැර ගැනීමට බෝර 12 තුවක්කු පාවිච්චි කරමින් උත්සාහ දරමින් සිටියා. පසුකාලීනව මෙය ග‍්‍රාමාරක්ෂක සේවාවක් ලෙස වැඩි දියුණු වුණා. ඔවුන්ට නිල ඇඳුමක් හා වැටුපක්ද ලැබුණා. ඔවුන් පොලිස් දෙපාර්තමේන්තුවට අනුයුක්තව රාජකාරිවල නිරතවුණා.

2002 වසරෙන් පසුව 2006 දක්වා මේ සේවාව එවකට පැවැති සාම සාකච්ඡා සමඟ නොවැදගත් තැනකට පත්වුනා.

2006 වසරේදී ආරක්ෂක ලේකම් තුමා මේ සිවිල් ආරක්ෂක අංශය ප‍්‍රතිසංවිධානය කරලා අහිංසක සිවිල් ජනතාව ආරක්ෂා කිරීමට භාරදුන්නා. 2006 සැප්තැම්බර් වනවිට 19600 ක් වූ සිවිල් ආරක්ෂක බලකාය අද වනවිට 41500 දක්වා වැඩිකිරීමට රජය පියවර ගත්තා. අද වනවිට ඔවුන් යුද හමුදාව සහ පොලිසිය විසින් ලබාදෙන පුහුණුවකින්ද සමන්විතයි.

එවැනි තත්ත්වයක සිටිය නිසා යුද හමුදාපතිතුමාගේ ඉල්ලීම පිට උතුරේ මෙහෙයුම්වලට අපේ භටයන් 3000ක් ලබාදීමට අපට හැකිවුනා. අදවනවිට ඔවුනට පිළිගත් නිල ඇඳුමක් හා සිත් ගන්නා වැටුප් තල ලබාදෙනවා. ඔවුන් ස්ථිර සේවකයින් ලෙස මේ වනවිට සේවයේ යෙදෙනවා.


රණවිරුවන් ජයග‍්‍රහණය සමරමින්..

කිලිනොච්චියට නෑගම් ගියදා..

ජයග‍්‍රහණයේ ප‍්‍රීතිය නිමිත්තෙන්

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්