කොටියා මැරිලා පුනරුප්පත්තියක් නෑ

කොටියා මැරිලා පුනරුප්පත්තියක් නෑ

- ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ

මවුබිම එක්සේසත් කිරීම සඳහා ජීවිත පරිත්‍යාග කළ, ඇස්. හිස්, මස්, ලේ දන්දුන් සහ අතිමහත් කැපකිරීමකින් කි‍්‍රයා කළ රණවිරුවන්, දේශපේ‍්‍රමීන් ගෞරවයෙන් සිහිපත් කෙරෙන මොහොතක් මේ. නිවැරැදි හා සෘජු දේශපාලන මෙන්ම හමුදාමය නායකත්වයක් යටතේ විනාශකාරී එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදයට විනාශය අත්කර දෙමින් වීරෝදාර ආරක්ෂක හමුදා ලබාගත් විස්මිත විජයග‍්‍රහණය දෙස ඔබ බලන්නේ කොහොමද?

මේ විශ්මිත ජයග‍්‍රහණය ලබා ගැනීමේදී ඊට එරෙහිව බලපෑ සියලු සාධක පරාජය කිරීම සඳහා 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා බලයට පත් කිරීමට ජාති හිතෛශී දේශමාමක පිරිස් පෙළගැසුණා. මේ බලවේගත් සමඟ එකට සිට ගැනීමට මහින්ද රාජපක්ෂ මහතා තීරණය කළා. ඒ අනුව තමයි මේ කාරණය සඳහා අවශ්‍ය වන ජනවරම නිර්මාණය වුණේ. මේ පෙළගැස්මේ ආරම්භයත් එයයි. එම වකවානුව වනවිට රනිල් වික‍්‍රමසිංහ බලයට පත්වේයැයි බොහෝ දෙනා අපේක්ෂාවෙන් බලා සිටියදී ඔහු පරාජය කරන්න මේ දේශමාමක බලවේගවලට පුළුවන් වුණා. ඒ නිසා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත්වීම මා මුලින්ම දකිනවා.

ඊළඟට, තමන්ට ලැබුණු ජනවරම අනුව එතුමා ඉදිරියට ගියා. තමන් බලයට ගෙන ඒම සඳහා එම කඳවුරේ සිටගත් ජවිපෙ එය හැර යද්දිත් ජනාධිපතිවරයා, මේ ජනවරමට එකඟව රටට හිතැති කඳවුරේ කෙලින් සිටගත්තා.

තුන්වනුව, මේ සටන දිනන්න පුළුවන් අය ඒ ඒ පුටුවල ඉන්දෙව්වා. ආරක්ෂක ලේකම් හැටියට හිටපු අත්දැකීම් සහිත හමුදා නිලධාරියකු මෙන්ම තමන් ගේ සොහොයුරකුද වන ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කළා. එහිදී සැලකුවේ ඔහු සොහොයුරා වීම පමණක් නොවෙයි. එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදය අවසන් කිරීම සඳහා වන අරමුණ කරා යාමට ඔහුට හැකියාවක් මෙන්ම වුවමනාවක්ද ඇති බව ජනාධිපතිවරයා දැන සිටියා. ඊළඟට යුද හමුදාපති තනතුරට ජෙනරාල් සරත් ෆොන්සේකා පත් කළා.

කලින් හිටපු පාලකයන් යටතේ ඔහුගේ නම හමුදාපති පදවිය සඳහා නිර්දේශ වුණාම ඔහුට එම තනතුර දෙන්න බිය වුණා. මේ විදියට ගුවන් සහ නාවික හමුදාපතිතුමන්ලාත්, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බළකාය සඳහා ප‍්‍රධානීනුත් මේ අරමුණට ගැළපෙන පරිදි පත්කර ගත්තා. රට ත‍්‍රස්තවාදයෙන් නිදහස් කර ගැනීමේ සටනට නායකත්වය එයාකාරයෙන් පෙළගැසෙන විට මේ රටේ ජාතිමාමක, දේශහිතෛශී පුළුල් ජනතා බලවේග ඒ වටා රොක්වුණා. මානෙල් මල් ව්‍යාපාරය වැනි ජනතා බලවේග රණවිරුවන්ගේ චිත්ත ධෛර්යය නැංවීමට පෙරට ආවා.

මේ රටේ ජනතාව බඩු මිල වගේ කාරණා පැත්තකින් තියලා මේ සටනත් එක්ක පොදු අධිෂ්ඨානයකින් ගැට ගැසුණා. මාධ්‍ය කිහිපයක් හැරුණාම බහුතර මාධ්‍යකරුවන් ත‍්‍රස්තවාදය පරාජය කිරීමේ සටනත් එක්ක එකට සිටියා.

මේ සියල්ල අතර මතු වූ ලෝක සංසිද්ධීන් නිසා ගෝලීය ආකර්ෂණය ඒවා වෙතට යොමුවෙද්දී අපේ රට මේ කාර්යය කරගෙන ගියා. මේ සෑම සාධකයක්ම ධනාත්මක නොවුණානම් මේ විශ්මිත ජයග‍්‍රහණය ලබන්න අපට හැකිවන්නේ නැහැ. වසර 4 කින් අවසන් කළ හැකි යැයි තක්සේරු කළ දෙයක් වසර 2 1/2 කින් ඉවරයක් කරන්න පුළුවන් වුණේ මේ සාධක නිසියාකාරව පෙළ ගැසුණ නිසා.

මේ විජයග‍්‍රහණය බොහෝදෙනා විශ්වාස නොකළ තවමත් විශ්මයෙන් බලන ජයක් වුණේ කොහොමද?

මේ රටේ ඉන්න සමහර දේශපාලනඥයන් 2005 ජනාධිපතිවරණයෙදිත් මෙය කළ හැකි දෙයක් ලෙස විශ්වාස කළේ නැහැ. රනිල් වික‍්‍රමසිංහ මහත්තයා කිව්වේ ප‍්‍රතිඵල රහිත යුද්ධයකට තරුණයන් බිලිදෙන්න සූදානම් නැහැ කියලා. සමහරු කිව්වා මේ යුද්ධයෙන් දිනන්න පුළුවන් වුණොත් ආගම මාරු කරන්නත් ලෑස්තියි කියලා. ඇත්තටම මෙය යුද්ධයෙන් කරන්න පුළුවන් කියන මතය දරුවේ අපි සුළු පිරිසක්. සමහර රටවල තානාපතිවරුන් පවා ත‍්‍රස්තවාදයට යුදමය විසඳුමක් නැතැයි කියමින් බොරු ප‍්‍රචාර අරන් ගියා. නමුත්, සම්ප‍්‍රදායික යුද න්‍යායට නව දැනුමක් එක් කරන්න අපේ ආරක්ෂක හමුදා සමත්වුණා.

අවසන් මොහොතේ රුධිර ගංගා ගලා යන හැටි දකින්නට, ලක්ෂ සංඛ්‍යාත ජනයා අසරණ වන හැටි, මානුෂීය ඛේදවාචකයක් නිර්මාණය වන හැටි දකින්නට ඔය ඇතැම් අය ආසාවෙන් හිටියා. එහෙම වුණානම් ඒ අයට අතපොවන්න ඉඩක් ලැබෙනවා. හැබැයි එහෙම දෙයක් වුණේ නැහැ. එවැන්නක් වුණානම් අපි දිනුවා වෙන්නෙත් නැහැ. මේ නිසා අප ලැබූ ජය විශිෂ්ට ජයක්. රටට එරෙහිව සාධක සහිත කිසිම යෝජනාවක් ගේන්න ජාත්‍යන්තර ප‍්‍රජාවේ උදවියට හැකිවන්නේ නැහැ.

ත‍්‍රස්තවාදය විනාශ කරමින් රට එක්සේසත් කළ දේශපාලන නායකත්වයට මෙන්ම හමුදාපති නායකත්වයටත් මානව හිමිකම් පිළිබඳ චෝදනා නගමින් යුද අපරාධ සඳහා ඔවුන් වරදකරුවන් කිරීමට ඔය කියන බලවේග ප‍්‍රයත්නයක යෙදෙනවා?

කොටි ත‍්‍රස්තවාදය පිටුපස සිටි ජාත්‍යන්තර බලවතුන් කවුද කියන එක දැන් හෙළිදරව් වෙලා හමාරයි. පිරිබාහරන් ඇතුළු ත‍්‍රස්තවාදී නඩය මරණ මංචකයේ ඉඳිද්දීත් ඔය කියන තානාපති නඩය මේ ත‍්‍රස්තවාදීන්ට භාරවීම සඳහා පොටක් පාදාදෙන්න දැඟලුවා. ඔවුන් එහෙම කළේ තමන් එල්.ටී.ටී.ඊ. දේශපාලන සුරතලුන් නිසා. නමුත්, ඒ කිසිවකින්වත් වැඩක් වුණේ නැහැ. දැන් මේ ජාත්‍යන්තර බලවතුන්ට පරාජයේ වේදනාව දැනිලා, හිත රිදිලා, ලැජ්ජා හිතිලා. ඒ නිසා අපිට රිද්දුවොත් මොකයි වෙන්නෙ කියල ඔවුන් සෙසු ලෝකයට පණිවිඩයක් දෙන්න හදනවා.

ඒකට තමයි ඔය වගේ චෝදනාවලින් ගහන්නේ. මේ බලවතුන්ගේ යුද අපරාධ කතාවලට සාක්ෂි දෙන්න, මේ රටේ අයත් කේලාම් කිය කියා රට රටවල් ගානේ ඇවිදිනවා. මේ විදියේ දුෂ්ට රැලක් එකට එකතු වෙලා මේ රට මට්ටු කරන්න හැදුවත් අපේ හමුදා නායකත්වයටවත්, දේශපාලන නායකත්වයටවත් කිසිවක් කරන්න මේ රටට හිතැති බලවේග ඉඩක් තියන්නේ නැහැ. ඔවුන් මහා ආරක්ෂක පවුරක් විදියට දුෂ්ටයන්ට එරෙහිව නැඟී සිටිනවා.

එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදය පරාජය කරමින් මේ ලැබූ ජයග‍්‍රහණය හමුදාමය ජයග‍්‍රහණයක් ලෙස මෙන්ම දේශපාලනමය ජයග‍්‍රහණයක් ලෙස දකින්න පුළුවන්ද?

ජාතිවාදී, බෙදුම්වාදී වුවමනාවක් වටා පෙළගැසුණු ත‍්‍රස්තවාදීන් ගේ මුල්පෙළ දෙවන පෙළ පමණක් නොව මැද පෙළ නායකයන් පවා මුලිනුපුටා දැමීමෙන් පසු ජාතිවාදී බෙදුම්වාදී සටන යුදමය වශයෙන් මෙන්ම දේශපාලන වශයෙනුත් පරාජය වුණා තමයි. බෙදුම්වාදී මතවාදය ඉදිරියට ගෙනියන ඊට උඩගෙඩි දෙන බලවේගත් මුළුමනින් පරාජය කරන තුරු මෙය ඉදිරියට ගෙන යා යුතුයි.

සමහරු කියනවා කේ. පී. කියලා ටයිකෝට් ඇඳගත්තු හාදයෙක් ගැන. මේ වැඩේ ඔය ටයි කෝට් කාරයාට කරන්න පුළුවන් නම් පිරබාරහන් කොටි ඇඳුමක් ඇඳගෙන වන්නි කැලෑවේ දුක්විඳින්න ඕන නැහැනේ. ඒ නිසා එල්.ටී.ටී.ඊ.ය මිලිටරිමය වශයෙන් කිසිදා නැඟිටින්න බැරි විදියට පරාජය වෙලා ඉවරයි. දේශපාලන වශයෙනුත් එහෙමයි. බෙදුම්වාදය මතවාදී තලය තුළත් පරාජය වෙලා ඉවරයි.

ත‍්‍රස්තවාදය පරාජය කිරීම සඳහා වූ ගමනට සෑම අතින්ම අකුල් හෙළපු, ත‍්‍රස්තවාදයට අනුබල දුන් උදවියත් දැන් කියන්නේ මේ ජයග‍්‍රහණය තමන් නිසා ලැබූ බව නේද?

මේ සටන පරාජය වුණා නම් ඔය උදවිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට, ආරක්ෂක ලේකම්තුමාට, අපිට විරුද්ධව පෙළපාළි යයි. කාටුන් පිට කාටුන් අඳියි. පරාජයක් භාරගන්න ඉතුරු වෙන්නේ ටිකදෙනයි. හැබැයි ජයග‍්‍රහණයේදී පියවරු දහසක් ඉන්නවා. කියනවනේ ඉතින්, මේ කට්ටිය එක එක කියනවා. මේක වුණේ සටන් විරාම ගිවිසුම නිසාය කියනවා. ෆෙඩරල් මතවාදයේ ජයග‍්‍රහණයක් ගැන උදම් අනනවා. ඔය මොනවා කිව්වත් ඇත්ත රටට පේන්න තියනවා.

ආරක්ෂක හමුදා තමන් ගේ කාර්යභාරය සම්පූර්ණ කිරීමෙන් පසු මේ රටේ දේශපාලන නායකයන් ඉදිරියේ කාර්යභාරයක් තිබෙනවා. මේ වගකීම ඔබ තේරුම් කරන්නේ මොන විදියටද?

මේක හරියට රිලේ එකක් වගෙයි. වීරෝදාර ආරක්ෂක හමුදා පළමුවෙන් වේගයක් සහ විශාල පරතරයකුත් ඇතිව දේශපාලනඥයන්ට බැටන් එක භාර දුන්නා. ඔවුන් ඒ වේගයෙන්ම නැත්නම් ඊටත් වඩා වේගයෙන් ඉතිරි ටික දුවන්න ඕන. හමුදාව ජීවිත පරිත්‍යාගයෙන් රැකදුන් රට රැකගත හැක්කේ එහෙම වුණොත් තමයි. තිරසාර සාමයක් සඳහා වන අවකාශය නිර්මාණය වී ඇති මේ ඓතිහාසික අවස්ථාව පැහැර නොහැරිය යුතුයි. රිලේ ඉතිරි ටිකත් ජයගැනීම සම්පූර්ණ කරන එක මේ රටේ දේශපාලන තන්ත‍්‍රයට ජයගත නොහැකි අභියෝගයක් නෙවෙයි.

මොකද අසීරුම අභියෝගය දිනාදී ආරක්ෂක හමුදා දැනටත් ආදර්ශයක් දීලයි තියෙන්නේ. අවංකව කැපකිරීම් සහගතව, වංචාවෙන්, දූෂණයෙන් තොරව ඉදිරියට යාමයි කළ යුතු වෙන්නේ. එහිදී ඔවුන් මකුළු දැල් බැඳුන ෆෙඩරල් මතවාදවලට යට නොවීමත් අවශ්‍යයයි. ඒවාට යටවෙන්න නම් ආරක්ෂක හමුදාවල 5000 ක් විතර දිවිපුදලා 25,000 ක් විතර තුවාල ලබලා මේ ජයග‍්‍රහණය දිනාදෙන්න ඕන නැහැනේ. ඊට නිගරු නොකළ යුතුයි. මේ රටේ නීතියට හා විධානයට එකඟව ජාතික සමගිය තහවුරු කරමින් රට ගොඩනැගිය යුතුයි.

නිර්මාණය වී ඇති නව අවකාශය තුළ සමාජයට පැවරෙන වගකීම කෙබඳුද?

හුදෙක් ජාතික ධජ ලෙළවමින්, ජයවේවා! ජයවේවා! කියමින්ම බලා නොසිට, රණවිරුවන් දිනා දුන් ජයෙන් උද්දාම වී නිකම් නොසිට මෙතැනින් ඔබ්බට දේශපාලන, සමාජ, ආර්ථික පරිවර්තනයක් සඳහා යොමුවිය යුතුයි. එක්තරා අන්දමකට හෝ 56’ දී එසේ වූ නිසා තමයි ජාතික ඇඳුමට වෙදමහත්තයාට, ගොවියාට තැනක් ලැබුණේ. මේ 2009 විජයග‍්‍රහණයෙන් පසුවත් පුළුල් සමාජ විපර්යාසයක් සඳහා පෙළගැසීම අවශ්‍යයි. ජාතික ධජය තව ටික දවසකින් බිමින් තියලා පරණ විදියටම ගියොත් ඒක කරන්න බැහැ. කොඩිය අතින් අරන් වැඩකරමු. රණවිරුවන්ට උපරිම කෘතවේදීත්වය පිරිනැමිය හැක්කේ එතකොටයි.


සබැඳි පුවත්