ලක්මව සිනාසෙය

ලක්මව සිනාසෙයි යුද ගිනි දැල් නිවිලා
 

යුද ගිනි පතුරවා සිරිලක් දෙරණපුරා
දුක් සෝ සුසුම් පතුරා හද පත්ල කරා
සාමය සතුට සැනසුම යන වදන් මරා
පිරබා ගෙන ගියා ලක් දන සොහොන් කරා
 

රණ ගොස නංවමින් දිවි පරදුවට තබා
රට දැය සමය රැකි සවිබල බවින් නොබා
රණ විරු සොයුරු දරුවනි රැඳි රුසිරු සොබා
ඔබ වේ ලක් දෙරණ සරසන එළිය පබා
 

තිස්තුන් වසක් මරබිය විඳි මිනිසුන්ට
අද දින සිට හැකිය සැනසී හිනැහෙන්ට
ලක්මව් කුසින් ඉපදී ඇය රැකගන්ට
හැකිවිය අපේ අතිගරු ජනපතිඳුන්ට
 

සුවසෙත සදන රිසියෙන් දන වෙත බැඳුණු
රුපුසෙන් පරදවන්නට බල මුළු යැවුණු
පිරබා පැරද නිදහසෙ රන් මල් පිපුණු
දිනයක් උදාකළෙ ජනපති දුටු ගැමුණු
 

ජනපතිඳුන් දිනේවා
ඇමති මැතිවරු සැරදේවා
රණවිරු කැල රැකේවා
සැමට සාමයෙ මල් පිපේවා

- විජිත පොඩි නිළමේ

දැරණියගල


 

අවසරදෙන්න විරුවනි පා නමදින්න

මාවිල් ආරුවෙනි පළවෙනි වෙඩි මුරය
පිරිබාහරන් මරු වෙත ගොස් හමාරය
හිමි වූ දිනු දැයේ පුද දෙන හරසරය
ඉතිහාසයට යන රණවිරු පරපුරය

බිය සැක තුරන් කරමින් ඔබ ගිය ගම න
බාධක සිය දහස් ඇති බව දැන දැන ම
පෙරටම ගමන් කළ නුඹ විරුවෙකි සොබ න
බිව් කිරිවලට ණය නෑ නුඹ කවදා ම

මගෙ ලක් මවට හිමි සාමය ගෙන දුන්න
පතනවා ඔබට විරුවනි, දෙව් ලොව යන්න
ශක්තිය හා දිරිය නුඹලට ලැබ දුන්න
ජනපති ඇතුළු සෙන්පතියනි, මේ පින් ලැබ ගන්න

සාමය සමාදානය මගෙ හෙල දිවට
ගෙනදුන් සෙබල විරුවනි, නිති අප ඔබට
මතු භවයන්හිදිත් සැම ණය ගැති බවට
අමතක වෙන්නෙ නැහැ කවදාවත් අපට

- ආර්.ඒ.අමාලි

ඉරෝෂිකා රත්නායක


උපහාර

ජාතික හැඟුම් ඇඟ මස් ලේ නහර පිරූ
ජනපති තුමනි, හද එඩිතර බවින් සරූ
අපෙ මවු බිම අපට රැකදුන් මැතිද විරූ
අප ඔබහට ණයයි මේ කප තිබෙන තුරූ

තම දිවි පරදුවට තබමින් මහ සයුර
එඩියෙන් යුද කළේ බිඳිමින් කොටි පවුර
ගුවනින් බලය පෙන් වූ රණවිරු සොයුර
ඔබටයි පිපෙන සැම බැති මල් උපහාර

උරුමය රැකගන්න මවු බිම අපට සතූ
රණ බිම දිවි පිදූ දහසක් සෙබළ පුතූ
නිදහස් තුටු කඳුළු වගුරයි සැමගෙ නෙතූ
උරුමය අපටමයි මවුබිම මෙයින් මතූ

ලෙලවා ගුවන් තල එඩියෙන් සිහල දජ
ජය ගොස නගා පෙන්වා මුළු ලොවට තෙජ
නිදහස රකින්නට අප මේ බිමෙහි නිජ
යුගයේ උපන් ජනපති අපෙ ගැමුණු රජ

- නාලනී එස්. ගෝනගල


දෙවියොත් සතුටු වෙලා

අහසින් සමන් මල් දහසින් බිමට හැලේ
එක කොඩියකින් දැන් තුන් සිංහලය දිලේ
පිරිසිදු කළා ලේ ගංගා පිරුණ ජලේ
ඔබ මහ රජෙකි ශ‍්‍රී ලංකා දරනි තලේ

හැම ගෙදරක්ම සුබ මගුලක නිමිති බලා
අතිරස කැවුම් සහ කිරිබත් එකතු කළා
ඉටුකළ නිසා සිය කාරිය නොපිරි හෙළා
මහ වැසි වස්සවති දෙවියෝ සතුටු වෙලා

- සේන සේවක ආරච්චිගේ


අලුත් ඉරක්

තෙමඟුල් සිරිය සමරණ අති උතුම් මහේ
ලකිසුරු තුමා හට පළවෙයි ලොවම සහේ
සිංහල දෙමළ මුස්ලිම් අප එකම රැහේ
එක සේසතක් යට අද මුළු රටම වැහේ

රුපු බල මඩින්නට ලැබගෙන ජන සරණ
හරියට අකුරටම කළ මෙහෙයුම කිරණ
ජනතා අභිසේක ලැබ දැය රැක වරණ
ජනපති තුමාටයි මුල් උපහාරය දෙරණ

තම දිවි නොතකමින් මවුබිම රැක ගන්න
කළ මහ සටන් අමතක නැත ජය ගන්න
වීරෝදාර සෙබළුනි දැය දිවි දුන්න
ඇරයුම ඔබට නැවතත් මෙහි උප දින්න

අලුත් ඉරක් නිල් ගුවනේ දිදු ලනවා
අලුත් රටක් උපදින්නට සැර සෙනවා
තුර නැගෙනහිර දකුණට එක් වෙනවා
එකම රටක එකවර ජය පැන් බොනවා

- පියසිරි පී. මීගොඩ


ජය රණ පුතු

විඳ නෙක දුක
සිඳ රුපු තෙද
බිඳ කොටි බල
බැඳ ජය දද

වට මහ වැසි
කොට මල් වැසි
රට දිනු හැටි
මට සතුටකි

එක ලේ රත
ලක සැම එක
රැක ගත් විරු
නෙක දෙවි රැක

හෙළ අද දිලී
බළ මුළු බැඳී
කළ විකුමකී
බල එහි රුසී

 

- සමන් හේරත්


චිරං ජයතු

අපට රටක් නැතිවෙයි මතු කිසිදාක
හිරුට හොරෙන් අපි ඇඬුවා හැමදාම
කඳුළු බිඳුව කර ඉන්දිය සයුරේම
ගිල්වා දමන්නට දැඟලු අය බෝම

ඇඬූ කඳුළු එක් කෙරුවොත් වැවක් පුරා
ගැලු රුහිරු එක් කෙරුවොත් ගඟක් පුරා
ඇවුලුනු ගිනිදැල් හිත් දස දහස් පුරා
ඔහුට දැවෙන්නට ඇති කප් කෙළක් පුරා

නැමුණු හිස කෙළින් කර දෙපයින් ඉන්න
වැසුණු මුව අගුල් ඇර පෙරටම යන්න
අපට ඉඩ හසර සැලසු විරුවාන
චිරං ජයතු ! අප ජනපති රජිඳ්‍රන

රජෙක් නැතැයි දුක් ගී ලිව් කවියාන
දුකින් එපද ගී කළ කෝකිලයාන
අපට රටක් ඇත රජෙකුත් ඇතිදාක
දෑ බැතියෙන් රැව් පිළිරැව් දෙමු අහස...

පද්මිණි ශ‍්‍රියාලතා


දකුණට හඳ හිනැහෙනවා

පෙන්වා රණවිරුවන් සිත ගත තුළ එඩිය
යාපා පටුනෙ ලෙළදෙයි සිංහල කොඩිය
දකුණේ මී කිරට රසතල් පැණි වඩිය
ලද සාමය වටී අප පණටත් වැඩිය

ළඟදීම යාල් දේමිත් කොළඹට එනවා
යාපා පටුනෙ නෑයන් එහි වැජ ඹෙනවා
සිංහල හාලේ බත්,මී කිරි කනවා
තල්වැට උඩින් දකුණට හඳ හින හෙනවා

- පී.එච්.මෙරිල් යහම්පත්


නව යුගයක් කරා

බෙදනට නොහැක ලක්බිම තුන හතරකට
නිදහස ඇත ඉන්න ඕනම කෙනෙකුහට
වද දී මරාලන යුගයක් නිමා කොට
අද පිය තබා ඇත රට නව යුගේ කට

මස් ලේ පිපාසිතයා අවි අතේ දරන්
හිස් බිම දිගා වී නිහඬය පබාකරන්
තිස් වසරක් පැවති යුද බිය නිමාකරන්
ලස්සන උනා රට සාමය උදාකරන්

සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් ආදී
වෙන් වී නොඉඳ අත්වැල් එකිනෙක ඈදී
ලංකා මවගෙ දරුවනි ජනහිත වාදී
ඉන්නට හදමු හෙට සමගියෙ මල් පූදී

දුවන්නට නොගොස් මරවා මරන්නට
එවන් විපත් යළි මෙහි ඇති නොවන්නට
සවන් යොමා පැන විසඳමු ගෙයින් ගෙට
නිවන් සැපක් නැහැ බැලුවම මෙයින් පිට

පොදුය බඩගිනි හීතල උස්නේ
කාගෙත් ඇඟේ ඇත්තේ එක ලේ මස් නේ
මේ රට දැන් ඉතින් අවියෙන් නිදහස් නේ
කෝකද බලමු හරිදේ කොතනද ප‍්‍රශ්නේ

නැංවූ අඳෙ¤නා කඳුලැලි පිස දැමුණු
තුන් සිංහලය සිහ ධජයට පිරි නැමුණු
මං මාවත් තනා බැන්දා වැව් අමුණු
පිංකඳ මහින්දය නූතන දුටුගැමුණු

ආරියදාස නැඳුන්ගොඩ

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්