සෙබළකු ගේ පතිනිය

සෙබළකු ගේ පතිනිය

කාකි නිල ඇඳුම, හිස් පළඳනාව හා බර සපත්තු ඇගේ ආත්මය හා තරව බැඳී පවතී. ඒ සාධක පදනම් ව හැඟෙන හැඟුම් සමුදාය විසින් ඇගේ දෙනික ජීවිතය හසුරවනු ලැබේ. ඉන් නො නැවතී ඇගේ සිතිවිලි ගැඹුරු අගාධයක් වෙත ගමන් කරවනු ලැබේ. වරෙක අතීත නටබුන් අතර යනෙන ඈ පෙ‍්‍ර්මයේ ආස්වාදය උපරිමයෙන් විඳගනී. තව වරෙක අනාගත ගංගාව දිගේ උඩු ගං බලා යාත‍්‍රා කරන ඈ වීරත්වයක අභිමානය හදවතින් වැලඳගනී.

මේ සාංසාරික ඇබ්බැහිය ඇය උභතෝකොටිකයක් කරා තල්ලු කරමින් සිටී. එක්කෝ ඔහු පෙරළා පැමිණිය යුතු ය. නැතහොත් මව්බිම වෙනුවෙන් මරණය වැළඳ ගත යුතුය. “ මව්බිම නැත්නම් මරණය !” (ඔහු කුමන මාවතක් තෝරා ගනිත් ද?)

“ස්වාමීනි,

ඔහු ආරක්ෂා කරනු මැනවි,

ඔහුට ජීවය දෙනු මැනවි!”

ඈ එක සිතින් යාඥා කරන්නට වූවා ය. ඇගේ එකම ප‍්‍රාර්ථනය ද එක ම පිළිගැනීම ද එකම ඉලක්කය ද ඔහු ම වන්නේ ය. ඔහු නැතොත් ඇය ද මියෙනු ඇත.

බර සපත්තු හඬට ඇගේ සිත විවිධාර්ථවත් ලෙස ප‍්‍රතිචාර දක්වයි වරෙක ගෞරවය හා ආදරය යි. වරෙක බිය හා සංකාව යි. තව වරෙක ශෝකය හා උපේක්ෂාවයි. කුමක් වුව බර සපත්තු හඬ කැටුව ඔහු පැමිණිය යුතු ය. පෙරළා පැමිණිය යුතු ය.

ඇයට බටර් වැනි මෘදු හා තෙතමනය සහිත දිළිසෙන මුහුණක් තිබේ. දෑස් ඉතා දීප්තිමත් ය. කිසිකලෙක කඨෝර අත්දැකීමකට මුහුණ දී නැතැ’ යි කියන්නට මෙන් ඇගේ ශරීරය සර්ව සම්පූර්ණ ව නොකිලිටි ව තිබිණි.

අවුරුදු විසි දෙක නොඉක්ම වූ මේ සුන්දර කාන්තාව ගේ මුව කමල තරමටම ඇගේ හදවත අහිංසක නො වන බව කියාපාන්නේ ඇගේ හැසිරීම ය. ඈ යකාටවත් බය නැත.එලෙස ම හිතුවක්කාරකම ඉහ වසා ගොසිනි. මාස දෙකක් වයසැති ඇගේ විවාහය ඊට කදිම සාක්ෂ්‍යය ලෙස පවතී. හිතුවක්කාර විවාහය නිසා ම මහා ගාම්භීර ඥාති පරපුරක් ඇයට අහිමි විය.

මධ්‍යම කඳුකරයට අයත් අඩි එක්දහස් පන්සියයේ සමෝච්ච රේඛාවෙන් ඉහළ පිහිටි හුදෙකලා කොත් කන්දක් මුදුනෙහි ඇගේ මනරම් කුඩා නිවස ඉදිකර තිබිණි. සෑම රාති‍්‍රයක ම එහි ඉස්තෝප්පුවේ කණුවක රතු ලන්තෑරුමක් එල්ලා තිබිණි. ඈ මේ සිරිත නොකඩවා පවත්වාගෙන ගියා ය.

කොත් කන්ද පාමුලින් ප‍්‍රධාන මාර්ගය දිවයයි. වංගු සහිත ඒ මාර්ගයේ හන්දියකින් හැරෙන පටු මාවත ඇගේ නිවස දක්වා ම කන්ද දිගේ සර්පයකු මෙන් ඉහළට ඇදෙයි. නිවසෙහි කුඩා මිදුලට අයත් ඕකිඩ් මල් පාත්ති අසලට කන්ද පාමුල මාර්ගය ඉතා පැහැදිලි ව පෙනේ.

එක් ඉරිදාවක උදෑසන කුරුල්ලන් ගේ කෑගෑමත් කැටුව මිදුලට පිවිසි ඈ අත් මුල්ලුවක් ගෙන මල්පාත්තිවල පස බුරුල් කරමින් සිටියාය. තනිකම, පාළුව හා විරහව විසින් හෙම්බත් කරන ලද ඈ පොළොවට මුල්ලු පහර දෙමින් හඬන්නට වූවා ය.

තම හැඟීම් පාලනය කරගැනීම සඳහා වරින්වර මිදුලේ වටයක් ඇවිදින ඇයට එකවර අමුතු දර්ශනයක් දන්නට ලැබිණි. හමුදා නිලධාරීහු හතර දෙනෙක් කොත් කන්ද නඟිමින් සිටියෝ ය. ඒ අතර තම ආදරවන්තයා නැති බව ඇයට පෙනිණි. ඈ තිගැස්සුණා ය. ශරීරය අප‍්‍රාණික වී ගියේ ය. කුමක් කළ යුතු ද?

සුරූපී කාන්තාව අත් මුල්ලුව ගෙන ඉතා වේගයෙන් පොළොව හාරන්නට වූවා ය. එහි කිසිදු පිළිවෙළක් හෝ කිසිඳු විනයක් හෝ නොතිබිණි. ඇතැම් ශාඛ මුල්ලු පහරින් ගැලවී ගියේ ය. ගණනක් නැත. ඈ ඉතා වේගයෙන් පොළොවට අනී.

හමුදා නිලධාරීහු ඉතා ඉක්මනින් මිදුලට කඩාවැදී කාන්තාව දෙස බලාගෙන සිටියෝ ය. ඔවුන් ගේ මුහුණුවල සටහන් වූයේ ශෝකය හා අවිනිශ්චිත බව ය. කිසිවකු ළඟ සතුටක සේයාවක් නැත.

“මං දන්නවා !

මට තේරෙනවා

ඔය ලියුම තියල

ආපහු යන්න!”

කරුණාකරලා යන්න !

ඈ තව - තවත් වේගයෙන් මුල්ලු පහර දෙන්නට වූවා ය. ඇගේ විලාසය දුටු හමුදා ප‍්‍රධානියා ඉතා සන්සුන් ව ගැහැනිය සමීපයට ම පැමිණ කිසිවක් කීම සඳහා වචන තෝරා ගත්තේ ය.

අපට ටිකක් කතා කරන් පුළුවන් ද ?”

“කිසි දෙයක් එපා....!

ලියුම තියල යන්ට

කරුණාකරල පිට වෙන්ට

ගැහැනිය අත්මුල්ලුව ගෙන ඈතට වීසි කළේ ය. ඈ ඉන් හමුදා නිලධරයකුට පහර නොදී ම ගැන කව්රුත් පුදුම විය යුතු ය.. නිලධාරීහු රාජ්‍ය මුද්‍රාව සහිත ලිපියක් කනප්පුව මත තබා කන්දෙන් පහළට බසින්නට වූහ.

ඈ වෙව්ලන දෑතින් යුතුව ලිපිය අතට ගෙන එය විවෘත නොකර ම වීසි කළාය. සයනය වෙත ගොස් මුළු පළාත දෙවනත් වන සේ මොර දුන්නා ය. ඇගේ වචන ඉතා තියුණු විය. දෑසින් නොනවත්වා ම උණු කඳුළු කැට ගලා හැලිණි.

අවට මිනිස්සු ගෙදරට රැස්වූහ. රණවිරුවකුගේ මළගමක දක්නට ලැබෙන සියලු විශේෂතා එකිනෙක පිරිපුන් වන්නට විය. බොහෝ දෙනා ගේ අදහස වූයේ බිරියක ලෙස ඈ ඉතා සන්සුන් විය යුතු බවය. තවත් අය යුද්ධයට ශාප කළහ. සමහරු ත‍්‍රස්තවාදියා ගේ අවසානය අත ළඟැයි කියූහ. තවත් සමහරු ඔහු වීරයකු කිරීමේ වැඩසටහන් කි‍්‍රයාත්මක කළ හ. වෙනසක් නැත. ඇයට සියල්ල විසැඳීමේ උපායමාර්ග සොයා යන්නට ඉඩක් නැත.

හැබෑවට ම මරණය යනු කුමක් ද? ප‍්‍රාණ වායුව නික්ම යෑම ද,, හදවතෙහි කි‍්‍රයාකාරිත්වය හදිසියේ ම නැවතී ම ද ? ස්නායු පද්ධතිය අකී‍්‍රය වීම ද? කිසිවක් නිශ්චය කළ නො හැකිය.

ඒ කුමක් වුව ඔහු නැවත නො එන්නට ම ගොස් තිබේ. මේ මොහොතේ ඉතා සන්සුන් ව හා තැන්පත් ව ඉතිරි අවස්ථා කෙරෙහි යොමු වන්නට ඈ ඉටා ගත්තා ය.

ඔහු කනත්ත වෙත ගෙන යන්නට පෙර මිනී පෙට්ටියට එබුණු ඈ සිය ආදරවන්තයාගේ මුහුණ සිපගත්තා ය. එහි මළානික බව ද දැඩි බවද ඇයට දැනිණි.

“හිතුවක්කාර නො වී

මහ ගෙදර වරෙං!

ඇගේ අප්පච්චී යෝජනා කළේ ය. ඥාතීන් ගේ ඉල්ලීම ද එය ම විය.

සුන්දර කාත්නාව දෑස් පියාගෙන කල්පනා කරන්නට වූවා ය. ඇයට ඔහු හමු වූයේ එක්තරා නෘත්‍ය ශාලාවක දී ය..ඔහු ප‍්‍රභූ ආරක්ෂක සේවාව සඳහා ගිනි අවියක් සමඟ පැමිණ සිටියේ ය.

ආරෝහ පරිණාහ දේහය, ප‍්‍රතාපවත් බව, මඳ සිනහව, කාකි නිල ඇඳුම යන සියලු සාධකවලට ඈ ආදරය කළා ය. ක්ෂණික ව ඔහු වෙත ගිය ඈ තම සිතැඟි පළ කළා ය. දින කිහිපයකට පසු ඔවුන් ගේ සම්මුඛය සිදු විණි.

“මට තේරුම් ගන්ට බෑ

මං ආදරේ රටට!”

“මට තේරුම්ගන්ට පුළුවන් මං ආදරේ ඒ වගේ මිනිහෙකුට!”

“ඒත් අපි දෙන්න වෙනස් !”

“සමතුලනය කරන්න පුළුවන්”

සිය ආදරවන්තයා හෙවත් ස්වාමියා ගේ මරණයෙන් අවුරුද්දකට පසු ඈ බෙහෙවින් හෙම්බත්ව සිටියා ය. කරදර හා බලපෑම් දිගින් – දිගට ම එල්ල වෙමින් තිබිණි. ඒ හැරෙන්නට ගැහැනියකට තනිව ජීවත් විය නොහැකි බව ඇයට එත්තු ගොස් තිබිණි.ඒ යථාර්ථයට මුහුණ දෙන්නට ඇයට සිදු විණි.

දෙවන මංල්‍යය ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. මනාලයා වෙළෙඳ සමාජයට අයත් ප‍්‍රකට ව්‍යාපාරිකයෙක් විය. සංගීතය, ඔල්වරසන් හඬ, ප‍්‍රීති ඝෝෂා, මල්වරුසා මැද ඔව්හු මංගල යහන වෙත ගිය හ. එය තරමක් අමුතු රාති‍්‍රයෙකි. ඔහුට ඉස්පාසුවක් නැත. ඈ කරබාගෙන ඔහුට අවනත වූවා ය.

පසුදාට පහන් වෙද්දී ඈ නැගී සිටියේ දිවි නසාගැනීම සඳහා ය. සියලු සිදුවීම් කෙරෙහි බලවත් කලකිරීමක් ඈ ළඟ තිබිණි. තමන් මහා පාපයකට සම්බන්ධ වී ඇති බව ද, තම පෙ‍්‍ර්මවන්තයාට ද්‍රෝහී වී ඇති බවද ඇයට දැනිණි.

“ස්වාමීනි මට ක්ෂමා කරන සේක්වා!”

ඇය යාඥා කරන්නට වූවා ය. සිය දෙවන මනාලයාගේ අප‍්‍රසන්න හා නිවට මුහුණ දෙස බැලූ ඈ බිමට කෙළපහරක් ගැසී ය. ඉනික්බිති ඈ ඉතා කෙටි ලිපියක් ලියා තබා නිවසින් පිට වූවාය.

2009 – 01 - 17

හිතවත,

ඔබ අපහසුවට පත් කළේ යැයි මට වෙර නො කරන්න. ඔබ කෙරෙහි කිසිදු ඇල්මක් මා ළඟ නැත. මගේ හදවත ඇත්තේ ඔහු ළඟ ය. එහෙත් ඔහු අද නැත. ඔහුගේ අපේක්ෂා ඉටුකිරීම මගේ වගකීම වේ. මම ඒ මඟට යොමු වෙමි.

ස්තූතියි

ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය උත්සන්න තත්ත්වයක පැවැති අතර හමුදාවට නවක සාමාජිකාවන් බඳවා ගන්න.

පෝලිමක ඇය සිටිනු දක්නට ලැබිණි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්