ත‍්‍රස්තවාදය පරාජය කිරීමට රාජපක්ෂවරුන් හවුල් වුණා

ත‍්‍රස්තවාදය පරාජය කිරීමට රාජපක්ෂවරුන් හවුල් වුණා

- අධිනීතිඥ දයා ශ‍්‍රී ගෝමින්ද

කොටින් සම්පූර්ණයෙන්ම පරාජය කිරීමෙන් ශී‍්‍ර ලංකාවත්, ශී‍්‍ර ලංකාවේ ති‍්‍රවිධ හමුදාවත් කලාපීය මෙන්ම ලෝකයේ ආරක්ෂාව හා ස්ථාවරය සඳහා විශාල දායකත්වයක් සපයා ඇත. කොටින් විනාශ කිරීම හා ජාත්‍යන්තරයෙන් ශී‍්‍ර ලංකාවට නැගුණු විවිධ චෝදනා ජයගැනීම පිළිබඳ අධි නීතිඥ දයා ශී‍්‍ර ගෝමින්ද මහතා සමඟ කළ සාකච්ඡාවකින් සැකසූ ලිපියකි මේ.

තිස් අවුරුද්දක් පුරා පැවති යුද්ධය නිමාකිරීමට හැකියාව ලැබුණේ ඊට අවශ්‍ය නියම නායකත්වය ලැබී තිබූ නිසයි. නැතිනම් මෙම යුද්ධය මීට හුඟ කලකට පෙර ජයගන්න තිබුණු යුද්ධයක්. යුද්ධය දීර්ඝ වීමට ප‍්‍රධානතම හේතුව නම් කොටි හිතවාදීන් හා මාධ්‍ය මාෆියාව විසින් කොටින් ගේ තරමට වඩා අධික පිම්බීමත් ඊට සමාන්තරව දේශපාලන නායකත්වය කොටින්ව යුදමය වශයෙන් පරාජය කිරීමට නොහැකියි බවට සිතා සිටීමත්ය. මෙයට හොඳම නිදසුන වන්නේ කොටින්ව මෙල්ල කරගත හැක්කේ ඔවුන්ගේ අවශ්‍යතාවන් සපයමින් සාකච්ඡා මේසයට ගෙන සාකච්ඡා කිරීමෙන් පමණක් බව දේශපාලනඥයන් සිතා සිට ඇති බව ඉතිහාසය සාක්ෂි දරයි. මහින්ද රාජපක්‍ෂ මහතා හැර අනෙක් සියලුම රාජ්‍ය නායකයන් කොටින්ට අවශ්‍යදේ සපයමින් ඔවුන්ව මෙල්ල කිරීමට උත්සාහ කළා.

මෙහිදී අප හමුදාව අවතක්සේරු කළ අතර කොටින් අධිතක්සේරුවට ලක් කළා. 2005 මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති නොවන්නට අද කොටි සිටින්නේ පොළව යට නොව අහස් තලයෙනි. කොටින්ට තිබුණු එකම ශක්තිය නම් අපගේ විදේශ තානාපති සේවයේ දුර්වල කම මත ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කරගැනීමයි. විදේශගත දෙමළ ජනතාව විදේශගත සිංහල ජනතාවට වඩා ඉදිරියෙන් සිටිමින් එල්. ටී. ටී. ඊ. සංවිධානය ශක්තිමත්වීමට බලපෑවා.

මෙහිදී මා දකින්නේ ප‍්‍රභාකරන්ට වඩා එල්. ටී. ටී. ඊ. සංවිධානය මුදුන් තලයට ගෙනඒමට කි‍්‍රයා කළේ කුමර පද්මනාදන් හෙවත් කේ. පී. බවයි. මෙයට හොඳම උදාහරණය වන්නේ අවසන් අවස්ථාවේදී කොටින් අත තිබුණු අවි ආයුධ ප‍්‍රමාණය දෙස නෙත් යොමුකළ විට පෙනී යන්නේ එම ආයුධ උපයෝගී කරගැනීමට තරම් හමුදා ශක්තියක් ප‍්‍රභාකරන්ට නොතිබීමයි. මෙයින් වැටහෙන්නේ කේ. පී. විසින් ප‍්‍රදානය කරනු ලැබූ අවි ශක්තියට සමාන්තර මිනිස් ශක්තියක් ප‍්‍රභාකරන්ට නොතිබීමයි.

මෙයින් තවත් වැටහෙන්නේ විදේශගත දෙමළ ජනතාව එල්. ටී. ටී. ඊ. ය සමඟ සිටි අතර ලංකාවේ සිවිල් දමිළ ජනතාව ප‍්‍රභාකරන්ට සමීපව නොසිටීමයි. එල්. ටී. ටී. ඊ. විදේශගත සංවිධානයකට සීමාවූ අතර දමිළ ශී‍්‍ර ලාංකීය වැසියන් ශී‍්‍ර ලංකා රජය යටතේ පෙරට වඩා නිදහසේ ජීවත්වීමේ හැකි වරම ලබා ඇති බව පෙනී යෑමයි.

වන්නියේ සටන් සිදුවන අවස්ථාවේදී යාපනේ හෝ කොළඹ හෝ වෙනත් ප‍්‍රදේශයක සිටි අතිවිශාල දෙමළ ජනතාව සන්සුන්ව යුද මෙහෙයුම් කිරීමට හමුදාවට මග සැලසූ අතර, විදේශගත දමිළ ජනතාව දෑස් අයාගෙන යුරෝපයේ වීථිවලට බසිමින් විරෝධතා රැලිවලට එක්වූහ. ඇත්තෙන්ම කොටින්ට විශාල අවි සම්භාරයක් ප‍්‍රදානය කරනු ලැබුණේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ පිටොම්ස් (PTOMS) ව්‍යාපෘතිය මගින් හා රනිල් වික‍්‍රමසිංහ මහතා ගේ අවබෝධතා ගිවිසුම මගිනි. පිටොම්ස් (PTOMS) නීතිමාර්ගයෙන් කඩාකප්පල් නොකළා නම් මොනතරම් ආයුධ ප‍්‍රමාණයක් හා මුදල් කන්දරාවක් එල්. ටී. ටී. ඊ. හිමිවීමට අවස්ථාව තිබුණා. අපේ ජයග‍්‍රහණය කල්යාමට ප‍්‍රධානතම හේතුව වූයේ එල්. ටී. ටී. ඊ. යේ දක්ෂතාව නොව අප දේශපාලනඥයන්ගේ නිවට හා අත්භූත මත ධාරාවයි.

මෙයට තවත් වගකිවයුත්තන් වන්නේ ජී. එල්. පීරිස් හා නීලම් තිරුවෙල්වම් හරහා ගෙනඑන ලද දේශපාලන විසදුම් මණ්ඩලයයි. මෙය චන්ද්‍රිකා කුමාරතුංග රජයේ ප‍්‍රධාන ආයුධයක් කරගෙන එය මගින් සුදුනෙළුම, තවලම වැනි ව්‍යාපාර හරහා හමුදාවේ හා ජනතාවගේ යුද ජයග‍්‍රහණ හැකියාව මිත්‍යාවක් බවට පත් කළා. මෙහිදී ජනතාවගේ මනස සුද්දකිරීමක් ද සිදුකළා.

මෙයට හාත්පසින් වෙනස් කි‍්‍රයාදාමයක් මහින්ද රාජපක්‍ෂ මහතා හා ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිදු කළා. “අපි වෙනුවෙන් අපි” වැනි ව්‍යාපාර ආරම්භ කර ජනතාව හමුදාව හා යුද්ධය සියල්ලන්ගේ අභිප‍්‍රාය වශයෙන් සකස් කළා. හමුදාව සාමාන්‍ය ජනතාව එකම පවුලක වගේ ඉඳලා මේ යුද්ධය සාර්ථකව නිමා කරන්න හැකිවුණේ එම නිසයි.

ශී‍්‍ර ලංකාවට අගෞරව කිරීමට හා කොටින් පෝෂණය කිරීමට සිටි පිරිස් අද ද සිටිති. ඔවුන්ගේ කටහඬ නිහඬ වූවත් ඔවුන් කි‍්‍රයා කරන්නේ වක‍්‍ර ආකාරයෙන් නැවත බෙදුම්වාදයට රට ගෙන යාමට ය. අද යුද ජයග‍්‍රහණයට මේ ගෝත‍්‍ර දේශපාලනඥයින් හා වෙනත් මතධාරීන් එකතුවී පෙළගැසෙන්නේ ෆෙඩරල්වාදය සඳහා රට ගෙනයාමට ය. මෙය දේශපේ‍්‍රමින්ගේ අනාගත අභියෝගයක් වන්නේය. ජනාධිපතිතුමා සෘජුවම ඒකීය රාජ්‍යයක් තුළ පමණක් කි‍්‍රයාකරන නිසා ඔවුන් වක‍්‍රආකාරවලින් ජනාධිපතිතුමා සතු බලය දුර්වල කිරීම වෑයම් කරන ලක්ෂණ ඇත. රටේ පවතින මැතිවරණ ක‍්‍රමය නිසා ශක්තිමත් රජයක් පාර්ලිමේන්තුව තුළ ගොඩනැගිය නොහැක. සෑමවිටම සභාග රජයක් සඳහා යාමට අපේ ව්‍යවස්ථාව නිර්මාණය කර තිබේ.

එවැනි දුර්වල රජයකින් යුද්ධය ජයග‍්‍රහණය කිරීමට නොහැකි නමුත් ජනාධිපතිතුමා ඔහු සතු ව්‍යවස්ථාවෙන් ප‍්‍රදානය කරන විධායක බලය භාවිතා කරමින් ආරක්ෂක හා විදේශ වැඩපිළිවෙළ සකස් කිරීම ජයග‍්‍රහණයේ ප‍්‍රධානතම ලක්ෂණය වන්නේය. යුද්ධය ජයගත්තේ ජනාධිපතිතුමා සතු විධායක බලය නිසාය. එවැන්නක් නොවන්නට අද අප සිටින්නේ පරාජිතයන්ගේ තීරුවේ ය.

යුද්ධයට විරුද්ධ වූ පිරිස් වෙස්මුහුණු දමාගෙන ජනාධිපතිතුමා ගේ බලය දුර්වල කිරීමට ප‍්‍රයත්න දැරීම ගැන තියුණු ඇසකින් අප බලාසිටිය යුතුයි. එම බලතල දුර්වල කළහොත් නැවත බෙදුම්වාදය හා ත‍්‍රස්තවාදය සඳහා පහසුම මගක් නිර්මාණය වේ. ජවිපෙ හා කරුණාගේ ත‍්‍රස්තවාදය මර්දනය කර ඔවුන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාවතට යොමුකිරීම ජාත්‍යන්තරයට ලබාදිය හැකි හොඳම ආදර්ශයයි. ඒ සඳහා ඔවුන්ට ත‍්‍රස්තවාදී කාර්යන් සම්බන්ධව සමාවක් දී තිබේ. එල්. ටී. ටී. ඊ. ත‍්‍රස්තවාදීන්ව යහමගට යොමුකර පුනරුත්ථාපනය කර ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යුහයට ගෙනඒම කළයුතු කාර්යක් වුවත්, ඔවුන්ට සම්පූර්ණ සමාවක් දිය යුතු නොවේ. එයට හේතුව නම් අද වුවද නවදහසක එල්. ටී. ටී. ඊ. කි‍්‍රයාකාරීහු හමුදා භාරයේ සිටිති. එල්. ටී. ටී. ඊ. නව නායක කේ. පී. ජාත්‍යන්තර අපරාධකරුවකු වශයෙන් ඉන්ටර් පෝල් සංවිධානය සොයන අතර, ඉන්දියාව රජීව් ගාන්ධි මහතා ගේ මරණය සම්බන්ධව අවශ්‍ය පුද්ගලයකු බවට ප‍්‍රකාශ කර ඇත. එම නිසා මෙම සමාවෙන් වාසිය ලබාගෙන කේ. පී. වැනි අය නැවත ලංකාවට පැමිණ මෙහි නිහඬව සිටින එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් දිරිගන්වා නැවත ත‍්‍රස්තවාදය කරා රට ගෙනයාමට ඉඩ ඇත.

ජවිපෙට හා පිල්ලෙයාන්ට එවැනි විදේශගත සම්බන්ධතා තිබුණේ නැත. අද ජාත්‍යන්තරයේ පරාජිතවූ සුළුතරයක් වන සුදු ජාතිකයන් හා නව ලිබරල්වාදීන් ජාත්‍යන්තර මාධ්‍ය හරහා වෑයම් කරන්නේ අප ගේ හමුදාව ලත් ජයග‍්‍රහණය අවම කිරීම පිණිස ඔවුන්ව යුද අපරාධ කරුවන්ලෙස හංවඩු ගැසීමට ය. මෙය පුදුමාකාර ස්ථාවරයකි. අද ඇමරිකාව හා යුරෝපය එක්ව තලෙයිබානු ත‍්‍රස්තවාදීන්ට විරුද්ධව පකිස්ථානයේ හා ඇෆ්ගනිස්ථානයේ සටන් කරති. ඉරාකයේ සයිට් ත‍්‍රස්තවාදීන්ට එරෙහිව කි‍්‍රයා කරති. පෙරදී වියට්නාමයේ වියට්කොන් ලෙස නම්කර ඝාතනය කිරීමත් ලාහෝස්හි පාට්ඔෆ් ලාහෝස් ලෙස නම්කර ඔවුන් ඝාතනය කිරීමත් සිදු කළහ. නමුත් එවැනි ත‍්‍රස්තවාදී කි‍්‍රයාවලට විරුද්ධව ගත් කි‍්‍රයාමාර්ගවලදී ඇමරිකන් හෝ යුරෝපීය හමුදාවන් යුද අපරාධකරුවන් ලෙස සඳහන් කරන්නේ නැත.

ප‍්‍රභාකරන් කරන ලද ඝාතන සම්බන්ධයෙන් ජාත්‍යන්තරය කිසිවිටක යුද අපරාධකරුවකු වශයෙන් ඔහු නම් නොකළේය. ප‍්‍රභාකරන් ජයගත් යුද සටන්වල කිසිදිනක යුද අපරාධයක් පිළිබඳ වචනයක්වත් කථා කළේ නැත. එල්. ටී. ටී. ඊ. ය පරාජයට පත්වූ අවස්ථාවකදී පමණක් ඔවුන් සඳහන් කරන්නේ මෙය යුද අපරාධ බවයි. මෙයට කදිම උදාහරණයක් නම් ත‍්‍රස්තවාදීන්ට විරුද්ධව ප‍්‍රථමයෙන් මෙහෙයවූ මුතූර් සටනයි. පැය හතළිස් අටක් ඇතුළත එය ජයගැනීමට යුද හමුදාපති ජෙනරල් සරත් ෆොන්සේකා, නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක යන නායකයන් ඇතුළු අපගේ වීරෝදාර රණවිරුවන්ට හැකිවිය. මෙහිදී එල්. ටී. ටී. ඊ. ය පත්වූ අන්ත පරාජය ඉදිරියේ ජාත්‍යන්තරය කියා සිටියේ අපගේ ජයග‍්‍රහණය ගැන නොව මුතූර් හි රාජ්‍ය නොවන සංවිධානයක දාහත්දෙනෙකු ඝාතනය වීම ගැනයි. මානව අයිතිවාසිකම් අපේ හමුදාව උල්ලංඝනය කළ බවටද ජාත්‍යන්තරය චෝදනා කළා. මෙහි කථිකයා වූයේ අද ශී‍්‍ර ලංකාව පිළිබඳ ජාත්‍යන්තරයටම මානුෂීය අයිතීන් උල්ලංඝනය කළ බව කියන ප‍්‍රංශ විදේශ ඇමැති කව්ච්නයර් ය. ඔහු එදා ලංකාවේ මුතූර් ඝාතනය පිළිබඳ නිරීක්ෂණ කමිටුවේ සිටි අතර, මහේස්ත‍්‍රාත්වරුන් ගේ නිල කාමරවලට කඩාවැදි පුද්ගලයෙකි. මෙහි විශේෂිත ලක්ෂණය නම් එල්. ටී. ටී. ඊ. ය පරාජයවූවිට ඒ ගැන ඊර්ෂියාව දක්වන ත‍්‍රස්තවාදීන් කිසි දිනක පරාජය කිරීමට නොහැකිවූ සුදු ජාතික සුළු කොටස ඒ පරාජය විඳ ගැනීමට නොහැකි හෙයින් අපගේ හමුදා යුද අපරාධකරුවන් ලෙස පත් කිරීමට උත්සාහ ගනිමින් සිටිනවා.


සබැඳි පුවත්