සේරුවිල නායක හාමුදුරුවන්ගේ මාවිල්ආරු උපවාසය

සේරුවිල නායක හාමුදුරුවන්ගේ මාවිල්ආරු උපවාසය

සේරුවිල මංගල රජමහා විහාරාධිකාරී මුංහේනේ මෙත්තාරාම හිමියෝ සිය අත්දැකීම් විස්තර කරති.

නිදහස් නිවහල් දේශයක සාමයේ අරුණලු සමගින් සියලු ජාතීන්ගේ බලාපොරොත්තු මල්ඵල ගැන්වෙන අවධියට මාතෘභූමිය පිවිස ඇත. දශක තුනකට ආසන්න කාලයක් මේ රටේ පැවැති එල්. ටී. ටී. ඊ. ත‍්‍රස්තවාදී ගැටලුව සම්පූර්ණයෙන්ම අවසන් කොට උතුරත්, දකුණත්, නැඟෙනහිරත්, බටහිරත් එකම ධජයක සෙවණට පැමිණ තිබේ.

මේ පුණ්‍යවන්ත භූමියේ වෙසෙන සියලු ජනකොටස්වලට සාමයෙන් සමගියෙන් ජීවත් වීමට අවශ්‍ය ඉඩකඩ මේ වන විටත් ලැබී තිබෙන අතර මේ ලද සුවිශේෂී ජයග‍්‍රහණය පිළිබඳ සේරුවිල මංගල රජමහා විහාරාධිකාරී දොම්පේ පාලුගම භාවනා අසපුවේ ප‍්‍රධාන අනුශාසක සහ රුවන්පුර ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ කථිකාචාර්ය මුංහේනේ මෙත්තාරාම හිමියන් “දිනමිණ” ට දැක්වූ අදහසයි මේ.

ම ජීවත් වුණේ සේරුවිල මංගල රජමහා විහාරයේයි. එහි ඉන්න කොටි ත‍්‍රස්තවාදීන්ගේ කි‍්‍රයාවලට පෞද්ගලිකවම මුහුණ දෙන්න සිද්ධවුණා. අපිට විශාල අභියෝගයක් ආවා. අපේ ප‍්‍රදේශයේ පමණක් 100 කට වැඩි සිවිල් වැසියන් ප‍්‍රමාණයක් කොටි ත‍්‍රස්තවාදීන් විසින් මරා දැම්මා. ඒ වෙලාවේ අපි ලොකු පීඩනයකට හසු වුණා.

ප‍්‍රදේශයේ හිමිනමක් හැටියට ඊට විරුද්ධව මැදිහත් වෙන්නට මට සිදු වුණා. දෙහිවත්ත ප‍්‍රදේශයේද මිනිස්සු විශාල ප‍්‍රමාණයක් මරා දැම්මා. ඒවා මගේ ඇස් දෙකින් දැක්ක දේවල්. සේරුවිල අවට ගම්මාන විශාල ප‍්‍රමාණයකට කොටි ත‍්‍රස්තවාදීන් පහරදුන්නා. මිනිස්සු විශාල ප‍්‍රමාණයක් අමුඅමුවේ මරා දැම්මා. වෙන කවුරුවත් නොදැක්ක ඒ අවාසනාවන්ත දේවල් මගේ ඇස් දෙකින් දැක්කා.

මේ අවස්ථාවට අපිට විශාල අසාධාරණයක් සිදුවුණා. සේරුවිල විහාරය තමයි ත‍්‍රස්තවාදීන්ගේ කි‍්‍රයාකාරකම් අඩපණ කිරීමේ උල්පත වුණේ මාවිල්ආරු සොරොව්ව වැසීමත් එක්කයි මේක මතුවුණේ. කොටි ත‍්‍රස්තවාදීන් විසින් මාවිල්ආරු සොරොව්ව වසා දැමීමත් සමඟ අහිංසක සිවිල් වැසියන් ගේ ජන ජීවිතය කඩා වැටුණා. ඒ අහිංසකයන්ගේ අක්කර දහස් ගණනක වගා බිම්වලට ජලය ලබා ගැනීමට නොහැකි වුණා.

ඒ වෙලාවේ අපගේ නායක හාමුදුරුවන් වන සේරුවිල මංගල රජමහ ෂහාරාධිපති නැඟෙනහිර තමන්කඩුව දෙපළාතේ ප‍්‍රධාන සංඝනායක සේරුවිල සරණකිත්ති නාහිමියන් මේ සම්බන්ධව බොහෝ කාලයක් ඉවසීමෙන් කටයුතු කළා. බැරිම තැන මාරාන්තික උපවාසයක් ආරම්භ කළා. ඒත් මම කිවුවා අපේ නායක හාමුදුරුවන්ට මේ උපවාසය කොටින් එක්ක හරියන්නේ නෑ කියලා. මට ලොකු බයක් තිබුණේ නායක හාමුදුරුවොත් එක්ක උපවාසයේ යෙදුනු දහසක පමණ පිරිසට කොටි ත‍්‍රස්තවාදීන් ප‍්‍රහාරයක් එල්ල කරයි කියලයි. මම ඒක අත්හරින්න කීවාට නායක හාමුදුරුවෝ ඇහුවේ නෑ.

ඊට පස්සේ මම මේ සිද්ධිය ගැන ඉක්මනින්ම බෙංගමුවේ නාලක හිමියන්ට පැවැසුවා. කඩිනමින් මේකට තීන්දුවක් ගන්න කියා ඉල්ලීමක් කළා. උන්වහන්සේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ඒ ගැන කිවුවා. ඒ වෙලාවේ උපවාසය නවත්වන්න කියන කොට මටත් චෝදනා ආවා. උපවාසය නැවැත්වූයේ ආරක්ෂක ලේකම්තුමාගෙන් මේ සඳහා සාර්ථක විසඳුම් ලැබුණ නිසයි.

මෙහි ප‍්‍රතිඵලයක් හැටියට එදිනම සවස් වන විට මාවිල්ආරු සොරොව්ව වසාගෙන සිටි ත‍්‍රස්තවාදීන් ඉලක්ක කර පළමු ගුවන් ප‍්‍රහාරය එල්ල වුණා. පාර්ලිමේන්තු මන්තී‍්‍ර අතුරලියේ රතන හිමියන්ගේද දායකත්වය විශාල වශයෙන් මේ සඳහා ලැබුණා.

අපිට හිතාගන්න බැරි විදියට වසර දෙකක් තුනක් වැනි කෙටි කාලයක් තුළ මේ රට වෙනසකට ලක්වුණා. අයෝමය ශක්තියක් ඇති නායකයෙක් දැන් අපිට ඉන්නවා. සෑම අංශයකින්ම දක්ෂ වචනවලට සීමා කළ නොහැකි තරම් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රේෂ්ඨ යුග පුරුෂයෙක් වෙනවා. අවංකව කියනවා නම් රටට පහළ වූ සැබෑම ජන නායකයෙක් වෙනවා.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහෝදරයන් මේ රටේ හෙට දවස වෙනුවෙන් විශාල කැපකිරීමක් කළා. චමල් රාජපක්‍ෂ ඇමැතිතුමා, ගෝඨාභය රාජපක්‍ෂ ලේකම්තුමා සහ බැසිල් රාජපක්‍ෂ මන්තී‍්‍රතුමා විශාල කාර්යභාරයක් ඉටු කොට තිබෙනවා. ඒ ගැන සිහිපත් කරන්න කැමැතියි. ඒ එකමුතුව තමයි මේ යුද ජයග‍්‍රහණයට එක් හේතුවක් වුණේ. ඒක හමුදාවට ද ලොකු ශක්තියක් වුණා. මීට කලින් එවැන්නක් තිබුණේ නෑ. ජනාධිපතිතුමාට පවුල්වලින් ප‍්‍රශ්න ආවෙත් නෑ.

ලංකා ඉතිහාසයේ නායකයන්ට පවුල් පසුබිමෙන් ලද සහයෝගය මෙවැනි ජයග‍්‍රහණයන්ට හේතු වුණා. සහෝදරයන්ගේ ශක්තිය ඉතාම වැදගත්. ඔවුන්ට වුවමනා වුණා තමන්ගේ සොහොයුරා ගෙන යන වැඩ පිළිවෙළට ශක්තිය ලබාදෙන්නට. මේ කරුණූ ඔක්කොම නිසා හමුදාව ශක්තිමත් වුණා. කිසිම තැනෙක ප‍්‍රශ්නයක් ඇති වුණේ නෑ. අවශ්‍ය කටයුතු සියල්ල ඉතාම පහසුවෙන් කරගෙන ගියා. බැසිල් රාජපක්‍ෂ මහතා ජනාධිපතිතුමා වෙනුවෙන් ඉන්දියාවේ ගොස් එරට අගමැති හමුවී කථා කළා.

අද වන විට මේ සියල්ල එක්ව නව ප‍්‍රබෝධයක් ඇතිවී තිබෙනවා. වසර 30 කට ආසන්න කාලයක් පුරා මේ රටේ පැවැති යුද්ධය වසර 3ක් වැනි කෙටි කාලයක් තුළ අවසන් කරන්නට හැකි වූයේ ඒ ආකාරයටයි. මේ කටයුත්ත සඳහා සංඝරත්නය හැටියට අපිත් හැකි පමණින් උදව් කළා.

ශී‍්‍ර ලංකාවේ විදේශ ප‍්‍රතිපත්තිය ඉතාම වැදගත්. රටේ නායකයා විදියට ජනාධිපතිතුමා දුරදක්නා නුවණක් ඇතිව කටයුතු කරනවා. එතුමා දේශපාලන වශයෙන් කළ යුතු සෑම දෙයක්ම නියම ආකාරයට කරනවා. ලෝකයේ සෑම රටක් සමඟම මිත‍්‍රශීලීව කටයුතු කළා. ලොව ප‍්‍රබලම ජාතීන් අපිට විවිධාකාරයේ බලපෑම් එල්ල කළත් ඒ කිසිවකට එතුමා සැළුණේ නෑ.

ලංකාවේ ත‍්‍රස්තවාදය තුරන් කිරීමට කිසිවෙක් සහයෝගය ලබාදුන්නේ නෑ. එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි තැන්වලින් අපිට සහයෝගය දෙන්න තිබුණා. ඒත් එහෙම කළේ නෑ. ලෝක ත‍්‍රස්තවාදය තුරන් කරන්නට කටයුතු කරන ඇමෙරිකාව, එංගලන්තය වැනි රටවල් අද ශී‍්‍ර ලංකාව ත‍්‍රස්තවාදය අවසන් කරන්නට උත්සාහ ගනිද්දී අපිට බලපෑම් එල්ල කරනවා.

ජනාධිපතිතුමා ඒ කිසිවක් සඳහා සහාය දුන්නේ නෑ. එතුමා එඩිතරව තීන්දු තීරණ ගත්තා. ඒ අනුව ජාත්‍යන්තර වශයෙන් අපේ රටට එල්ල වුණු බලපෑම් සියල්ල ද පරාජයට පත් කරමින් ත‍්‍රස්තවාදය අවසන් කරන්නට හැකිවී තිබෙනවා. ඉදිරියේදී ද එවැනි බලපෑම් ඇතිවීමට තිබෙන ඉඩකඩ අඩුයි. අපි ආර්ථික වශයෙන් ශක්තිමත් තත්ත්වයකට පැමිණෙන විට එවැනි බලපෑම් එල්ල වන්නට පුළුවන්.

ජාත්‍යන්තර වෙළෙඳ පොළ තුළ අපේ ආක‍්‍රමණකාරීත්වයත් ඇතිවෙයි කියා ඔවුන් බිය වන්නට පුළුවන්. මේකට මනා පාලනයක් අවශ්‍යයි. එවිට නිවැරැදිව ඉදිරියට යන්නට හැකිවෙනවා. අහිංසක දමිළ ජනතාවට ප‍්‍රමුඛත්වයක් දිය යුතුයි. ඔවුන් මේ රටේ දුක්විඳි ජනතාවක්. යළිත් වතාවක් එවන් අවාසනාවන්ත තත්ත්වයකට පත්වීමට ඉඩ ලබා නොදිය යුතුයි. ත‍්‍රස්තග‍්‍රහණයෙන් මිදී පැමිණි සාමාන්‍ය වැසියන් සියලු දෙනාම මේ වන විට තාවකාලික කඳවුරුවල රඳවාගෙන නැවත පදිංචි කරවීම හා ඔවුන්ව පුනරුත්තාපනය කිරීම කරගෙන යනවා.

මේ ප‍්‍රදේශවල සංවර්ධනයක් ඇති කිරීම සඳහා මම හිතන්නේ විශේෂයෙන්ම ඒ ඒ ප‍්‍රදේශයන්ට උචිත භෝග වගා කිරීමයි. උතුරු ප‍්‍රදේශයේ වැවෙන භෝග වර්ග තිබෙනවා. එවැනි භෝග වගාවන් සඳහා අවශ්‍ය කරන වෙළෙඳ පොළ නිර්මාණය කර දිය යුතු වෙනවා. 1977 මේ රටට හඳුන්වා දුන් විවෘත ආර්ථික ප‍්‍රතිපත්තිය රට සම්පූර්ණයෙන්ම වෙනස් කළා. උදාහරණයක් ලෙස යාපනයේ ඒ දවස්වල හොඳට මිදි තිබුණා. නමුත් ඊට පස්සේ වුණේ ඒ ප‍්‍රදේශවල වැසියන්ට මිදි වගාව වෙනුවට තුවක්කුව අතට ගැනීමයි.

මේ රටේ වැවෙන භෝගවලට නිසි තැන ලබාදී කටයුතු කළ යුතු වෙනවා. එහෙම නොවුණොත් ආයෙත් රට වෙනත් අතකට යොමු වේවි. ඒ සඳහා වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු වෙනවා.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්