රණවිරුවා ජීවමාන දෙවියෙකි

රණවිරුවා ජීවමාන දෙවියෙකි

පාර්ලිමේන්තු මන්තී‍්‍ර අතුරලියේ රතන හිමි

අපේ රට අවුරුදු තිහක් තිස්සේ දෙකඩ වුණු රටක් විදිහටයි තිබුණෙ. ඒත් අද වනවිට බෙදුණු රට එක රටක් බවට පත් කිරීමට අපේ රණවිරුවන් සමත්වෙලා තිබෙනව. මේ ගැන ඔබ වහන්සේට මූලික විග‍්‍රහයක් කරන්න පුළුවන්ද?

මේ විජයග‍්‍රහණය රටට ලබා ගැනීමට පුළුවන් වුණේ ති‍්‍රවිධ හමුදාවලට නිසි යුද නායකත්වයකුත් සෘජු දේශපාලන නායකත්වයකුත් ලැබුණු නිසයි. අපේ හමුදාවලට ඩෙන්සිල් කොබ්බෑකඩුව වගේ දක්‍ෂ යුද සෙනෙවියන්ගෙ නායකත්වය මඟපෙන්වීම ලැබුණ. ඒත් මෙතෙක් කාලයකට යුද්ධයට සෘජු එඩිතර අවංක දේශපාලන නායකත්වයක් ලැබුණෙ නැහැ. හැමදාම වුණේ යුද ජයග‍්‍රහණ ලබමින් රණවිරුවන් ඉස්සරහට යද්දි දේශපාලන නායකත්වය විසින් යුද්ධය නවත්වන්න කියල හමුදාවලට අණ දෙනු ලැබීමයි.

ඒ නිසා අවුරුදු තිහක්ම යුද්ධය හොඳ නොවන තුවාලයක් වගේ පැසව පැසව තිබුණ. කිසි ප‍්‍රතිකාරයක් ලැබුණෙ නැහැ. ඇත්තටම පසුගිය අවුරුදු තිහේදී කොටි සංවිධානය යම් ජයග‍්‍රහණයක් ගත්තනම් ඒ ගත්තෙ අපේ දුර්වලකම් හින්ද මිසක් ඔවුන් ගේ දක්‍ෂතා හින්දා නෙමෙයි. ඒක එහෙමයි කියල අද වෙද්දි තේරෙනව. මා අපේ වැරැදි කියල කියන්නෙ හමුදාවල වැරැදි නෙමෙයි අපේ හිටපු දේශපාලන නායකත්වයේ වැරැදියි. අවුරුදු තුනක් ඇතුළතදී ඒ වැරැදි නිවැරැදි කොට දේශපාලන නායකත්වය නිවැරැදි විදිහට ලබාදෙන්න රජයට පුළුවන්කම ලැබිල තියෙනව. ඒක මේ ජයග‍්‍රහණයට විශේෂයෙන්ම බලපෑව.

අපේ රණවිරුවන් ලෙයින් දහදියෙන් ජීවිතවලින් උපන් බිමට මහත් කැපවීමක් සිදුකළා. ඔවුන් ගේ මේ උතුම් පරිත්‍යාගය ගැන ඔබවහන්සේගේ දැක්ම මොන වගේද?

අද අපිට කොළඹ නගරය ඇතුළු රටේ හැම තැනකම නිදහසේ ඇවිදින්න පුළුවන් වෙලා තියෙන්නෙ රණවිරුවන් ගේ ඇති උදාර කැපවීම හින්දයි. ඔවුන් රට වෙනුවෙන් සිදුකළේ සිදු කරමින් ඉන්නෙ අති උතුම් කාර්යයක්. මේ සේවය මෙපමණයි කියල මුදල්වලින් මනින්න බැහැ.

වෙනත් කෙනෙකුගේ ආරක්‍ෂාව වෙනුවෙන් තමන් ගේ ජීවිතය කැප කරනව කියන්නෙ පුදුමාකාර පරිත්‍යාගයක්. පසුගිය අවුරුදු තිහේදී අපේ උදාර දූපුතුන් හෙළුෑ කඳුළු ලේ, ජීවිත පරිත්‍යාගවල සාමූහික උත්සාහයේ ප‍්‍රතිඵලයක් විදිහට තමයි අද අපිට නිදහසේ හුස්ම ගන්න පුළුවන් වෙලා තියෙන්නෙ. ඇත්තෙන්ම රටම ඔවුන්ට ණයගැතියි. මේ වගේ උදාර දූපුතුන් හැදූ මවුපියන් වගේම එවැනි දූපුතුන්ට දිරිය ලබාදුන් බිරින්දෑවරුන්ටත් සැමියන්ටත් ස්තුතිය පළකළ යුතුයි.

ඒ වගේම රණවිරුවන් ගොඩනැගූ රට ඉස්සරහට අරගෙන යන එක යළිත් රට ගොඩනගන එක රටේම වගකීම විදිහටයි මම දකින්නෙ. ඒ සඳහා අවශ්‍ය කරන දේශපාලන මගපෙන්වීම නායකත්වය ලබාදෙන්න අපි සූදානම්. මේ අවස්ථාවේදී මූලික වශයෙන් සිද්ධ කරන්න ඕනෑ රට ගොඩනැගීමයි. උතුරේ අවතැන් ජනතාවට සෙත සැලැසීම කියන්නේ එම ප‍්‍රදේශ සංවර්ධනය කිරීම මිසක් බලය බෙදීම වගේ යථාර්ථයෙන් බැහැර දේවල් ගැන කතා කරල කාලය කා දැමීම නෙමෙයි.

රණවිරුවන් රට වෙනුවෙන් විශාල කැපකිරීමක් කළ පිරිසක් ඔවුන් ගේ අනාගතය සුරක්ෂිත කර ගැනීමටත් අනාගත සුබසාධන කටයුතුවලටත් රජයේ අවධානය යොමු කරවීමට වැඩපිළිවෙළක් තියෙනවද?

සත්තකින්ම රණවිරුවාගේ වටිනාකම අද විතරක් නෙමෙයි, අනාගතයටත් ඒ විදිහටම තිබිය යුතුයි. ඒක අපිට ජාතියක් වශයෙන් ඉෂ්ට කළ යුතු වගකීමක් සහ යුතුකමක් විදිහට සඳහන් කරන්න පුළුවන්.

මේ වගකීම රජය විදිහට විතරක් නෙමෙයි සමාජගත වගකීමක් විදිහටත් මං දකිනවා. අපේ ජනතාවට ඕනෑම දෙයක් ඉතාමත් කෙටි කාලයකින් අමතක වෙනව. ඒත් අපිට මේ ජාතික වීරයො කළ කාර්යය ඒ විදිහට අමතක කරන්න බැහැ. ඒ විතරක් නෙමෙයි යුද්ධයෙන් ආබාධිත වූ රණවිරුවන්ට වගේම මියගිය රණවිරුවන්ගේ පවුල් අපි අමතක කරල කටයුතු කළ යුතු නැහැ. රණවිරුවො කියන්නෙ දිනය ආරම්භ වෙද්දි දිනය අවසාන වෙද්දි සිහිපත් කළ යුතු පිරිසක්.

රජයක් විදිහට රණවිරු සුබසාධනය ඔවුන් ගේ අනාගතය සුරක්‍ෂිත කරන්න සිදුකළ යුතු හැම යුතුකමක්ම ඉෂ්ට කරනව. අපි ජාතික හෙළ උරුමය වශයෙනුත් මේ යුතුකම් වෙනුවෙන් ඇප කැපවෙලා ඉන්නෙ. රණවිරුවො කියන්නෙ ජීවමාන දෙවිවරු කියල හඳුන්වලා දුන්නත් ඒකෙ වැරැද්දක් නැහැ.

රණවිරුවන් ලැබූ ජයග‍්‍රහණය එක් ජාතියක් එක් දේශපාලන පක්‍ෂයක් ලැබූ ජයග‍්‍රහණයක් විදිහට සමහරුන් අර්ථ ගැන්වීමට උත්සාහ කරනව. මේ උත්සාහයන් පිළිබඳ ඔබවහන්සේගේ අදහස මොනවගේද?

මං නම් ඔය කාරණය දකින්නෙ වෙනත් විදිහකට. අපි මේ ජයග‍්‍රහණයේදී වැඩ කරන්න ඕනෑ කල්පනාකාරීව. ත‍්‍රස්තවාදයෙන් සිංහල ජනතාව පමණක් නෙමෙයි දෙමළ, මුස්ලිම් ජනතාවත් විශාල පීඩනයකට පත්වුණා. ඔබ දැක්කනෙ පුදුමාතලන්වල හිරවෙලා හිටිය ජනතාව මුදා ගනිද්දි ඔවුන් දැක්වූ බලාපොරොත්තු සහගත ප‍්‍රතිචාරය අනුව පෙනෙනව මේක එක ජාතියක් ලැබූ ජයග‍්‍රහණයක් නෙමෙයි කියල.

මං දකින්නෙ මේ ජයග‍්‍රහණය ත‍්‍රස්තවාදයට විරුද්ධ සමස්ත රටම සමස්ත ලෝකයම ලැබූ ජයග‍්‍රහණයක් විදිහටයි.

මේ මානුෂීය සංග‍්‍රාමයේදී අපේ රණවිරුවො ඉතාමත් සංවරව කටයුතු කළා. ඒ වෘත්තිමය තත්ත්වය කෙතෙක්ද කියනවනම් ලක්‍ෂ තුනකට අධික ප‍්‍රාණ ඇපකරුවන් පිරිසක් බේරගත්ත වගේම කොටි සංවිධානයේ සන්නද්ධ ශක්තිය සහමුලින්ම විනාශ කරන්නත් පුළුවන් වුණා. ඒත් මෙහිදී සිවිල් ජනතාවට සිදුවුණේ අවම හානියක්.

යුද විශේෂඥයො විශ්වාස කළ දෙයක් තමයි ගරිල්ලා සංවිධානයක් සහමුලින් පරාජය කරන්න බැහැ කියන එක. ඒත් අපේ රණවිරුවන්ට ඒ සම්ප‍්‍රදායික මතය වෙනස් කරන්න පුළුවන්කම ලැබුණ. මේ වෙද්දි යුද විශේෂඥයන්ට අලුතින් පොත් ලියන්න වෙලා තියෙන්නෙ. ඒ තරමටම අපේ විරුවන් ගේ ශක්තිය ප‍්‍රබලයි කියන එක මේ දේවලින් තහවුරු වෙලා තියෙනව. මේක අපි රටක් විදිහට ලබපු ජයක් කියල මං අර්ථ ගැන්වූයේ ඒ හින්දයි.

මේ දේවල් අපි ජයග‍්‍රහණ රටේ යහපතට බලපාන දේවල් කියල පිළිගන්න ඕනෑ... කවුරුහරි කෙනෙක් මේ දේවල් පිළිගන්න ලෑස්ති නැතිනම් ඔහු රට දැයට ආදරය කරන කෙනෙක්ය කියල පිළිගන්න අමාරුයි.

රණවිරු ජයග‍්‍රහණය තම තමන්ගේ දේශපාලන න්‍යාය පත‍්‍රවලට අනුගත කර ගන්න සමහර දේශපාලඥයෝ උත්සාහ කරනව කියල චෝදනාවක් තියෙනව. මේ පිළිබඳව ඔබවහන්සේගේ නිගමනය මොකක්ද?

රණවිරු ජයග‍්‍රහණ දේශපාලන න්‍යායපත‍්‍රවලට ඇතුළත් වෙනවනම් ඒක පිළිගන්න අමාරු දෙයක්... ඒත් ජනාධිපතිතුමාටත් මේ විජයග‍්‍රහණයට දේශපාලන වශයෙන් උදව් කළ පිරිස්වලටත් අයිතියක් තියෙනව තමන් මේ ජයග‍්‍රහණයට සහභාගි වුණා කියන සතුට භුක්ති විඳින්න. මෙතැනදි ජනාධිපතිතුමා ඉතාමත් සෘජු හා නොසැලෙන නායකත්වයක් දේශපාලනික වශයෙන් ලබාදුන්න. මෙහිදී එතුමාට දෙස් විදෙස් වශයෙන් විවිධ බලපෑම් අනුව මේ සියල්ල අභිබවා කටයුතු කරන්න එතුමාට පුළුවන්කම ලැබුණා.


සබැඳි පුවත්