රජතුමාට ඔබාමාත් පරාදයි

රජතුමාට ඔබාමාත් පරාදයි

ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ ජනාධිපති, මහින්ද රාජපක්ෂ මැතිතුමනි, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ශ‍්‍රී ලංකාව අද නිදහස් නිවහල් ස්වෛරී රාජ්‍යයක් බවට පත්ව ඇත. එහි නියමුවා වූයේ ඔබ ය. සැලසුම්කරු වූයේ ඔබ ය.

එදා 2005 දී, “මහින්ද චින්තනයෙන්” සපථ කළ ආකාරයෙන්ම, ඒකායන පරමාර්ථයෙන් හා අධිෂ්ඨානයෙන් යුතුව “නොබෙදුණු රටක්, බහුතර සම්මුතියක් සහ ගෞරවනීය සාමයක්” ශ‍්‍රී ලංකාව තුළ ඇතිකිරීමේ අවසාන ඉලක්කය ඉෂ්ට කරගත් විජයග‍්‍රාහී රාජ්‍ය නායකයා ඔබ ය.

2009 මැයි 19 දිනය ලක්වැසි ජනතාව අතිශයින් උද්දාමයට පත් වූ දිනයකි. දශක තුනකටත් වැඩි දීර්ඝ කාලයක් තිස්සේ ඔඩු දිව ගිය, කුරිරු හා අති බිහිසුණු යුද්ධයෙන් පීඩා විඳි සමස්ත ජනතාවම, එම යුද්ධයේ නිමාව දැකීමෙන් සැනසුම් සුසුම් හෙලූහ. බොහෝ දෙනා පවසන්නේ මෙදින සිය ජීවිතයේ බෙහෙවින්ම සතුටට පත්වූ අමරණීය දිනයක් බව ය. ලංකාවේ ජීවත්වන ජනතාව පමණක් නොව, විදේශයන්හි ජීවත්වන ශ‍්‍රී ලාංකිකයෝද යුද්ධයේ නිමාව දැකීමෙන් අමන්දානන්දයට පත්ව සිටිති. මේ සතුට නියමාකාරයෙන් විඳීන්නට හා සිය සහෘදයන් හා බෙදා හදාගන්නට මේ අවස්ථාවේ ලංකාවේ සිටින්නට නොහැකිවීම ගැන ඔවුහු කනගාටු වෙති.

ඇමෙරිකා එක්සත් ජනපදය, ඕස්ටේ‍්‍රලියාව, කැනඩාව, එංගලන්තය වැනි රටවලට සංක‍්‍රමණය වී ස්ථිර ව පදිංචි ව සිටින ශ‍්‍රී ලාංකිකයන් මෙන්ම මැද පෙරදිග හා වෙනත් රටවල රැකියාවන්හි නියුක්තව සිටින අපේ ශ‍්‍රමිකයන් ද, මෙම කණ්ඩායමට අයත් වෙති. සිතක් පපුවක් නැති ත‍්‍රස්තවාදීන් ගේ බිහිසුණු කි‍්‍රයා නිසා කොයි මොහොතේ ලංකාවෙන් දුක්මුසු ආරංචියක් ලැබේවි දෝයි යන සැකය මෙතෙක් ඔවුන්ගේ සිත් තුළ නිරන්තරයෙන් පැවතිණි.

එහෙත් අද එම බියසැක මුළුමනින්ම පහව ගොස් ඇත. ජනපතිතුමනි, එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදයට සම්බන්ධව සිටි ඉතා සුළු පිරිසක් හා ත‍්‍රස්තවාදයෙන් සිය බඩවියත රැකගත් පිරිසක් හැර, ජාති, ආගම්, භේදයකින් තොරව සමස්ත ජනතාවම අද මෙම හේතුවෙන් ඔබතුමාට පින් දෙති. දීර්ඝායුෂ පතති. ඔබහැර වෙනත් කිසිම නායකයෙකු මෙම විජයග‍්‍රහණය ලබා ගැනීමට සමත් නොවන බව අද පසක් වී හමාරය.

2005 නොවැම්බර් මස ජනාධිපතිවරණයට ඔබ ඉදිරිපත් වූ අවස්ථාවේදී, බොහෝ දෙනෙකු ඔබ ගේ ශක්තිය, පෞරුෂය හා කුසලතාවන් දෙස බැලුවේ වපර ඇසිනි. පක්ෂය තුළින්ම, (නායකත්වයද ඇතුළුව), ඔබට දැක්වූයේ කුඩම්මාගේ සැලකිලි ය. ඔබ ජනාධිපති අපේක්ෂකත්වය (ඊට පෙර අගමැති ධූරය) ලබාගත්තේ නිහඬ සටනක් කර ඔබේ නොපසුබස්නා අධිෂ්ඨානය හා ආත්ම විශ්වාසය පෙරදැරි කරගෙන බව නොරහසකි. නිර්භයව, අසාධාරණය යටපත් කිරීමට හා සිය අදහස මුදුන්පත් කර ගැනීමට ඕනෑම කඩුල්ලක් පැන ඉදිරියට යාමට ඔබට පන්නරයක් ලැබී ඇත්තේ සහජයෙන්ම යැයි සිතමි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේම ඇතැම් බලවත් සාමාජිකයන් මෙන්ම, එක්සත් ජාතික පක්ෂය හා අනිකුත් සුළු පක්ෂවල ඇතැම් අයද, රටෙහි නායකත්වය ලබාගැනීමේ මාර්ගයට ඔබ අවතීර්ණ වන විට එයට නොයෙක් අයුරින් බාධා කළහ. සැක සහිත ප‍්‍රකාශ නිකුත් කළහ. මෙයට හේතු කීපයක් විය. එක් හේතුවක් නම්, ඔබ, සුපිරි පැලැන්තියකින් බිහිවුණු බමුණු කුලයේ අයෙක් නොවීමයි. ගිරුවාපත්තුවේ ඈත පිටිසර ගමක උපන්, ශ‍්‍රී ලාංකික සිරිත් විරිත්වලට මුල්තැන දෙන, ජන ජීවිතය හොඳින් හඳුනන ගැමියෙකු වන ඔබ රටේ නායකයා වනු දැකීමට සුපිරි පැලැන්තියේ, ඔක්ස්ෆර්ඩ්, සෝර්බෝන් කේම්බි‍්‍රජ් විශ්ව විද්‍යාලවල උගත්, ඉංග‍්‍රීසියට මුල්තැන දෙන බටහිර පන්නයට හැඩ ගැසුණු අයවලුන් අකමැති වීමයි.

තමන්ට හෝ තම පරම්පරාවනට මුදුන්පත් කරගත නොහැකි වූ අරමුණු හා ඉලක්ක, මැදමුලන ගමින් මතුවූ, ගොවි පවුලකින් පැවත එන, මේ සාමාන්‍ය මිනිසා කවදා හෝ ඉටු කරනු ඇතැයි ඔවුන් සිත් තුළ පැවති බිය තවත් හේතුවකි. සමහරෙකුගේ මතය වූයේ දේශීය වශයෙන් ඔබ දක්ෂ දේශපාලන නායකයෙකු විය හැකි මුත්, ජාත්‍යන්තර වශයෙන් ඔබ එවැනි ප‍්‍රතිරූපයක් ගොඩ නගාගෙන නැති බව ය.

එමෙන්ම ඔබට එවැනි සන්නිවේදන හැකියාවක් නැතැයිද, එනිසා කිසි දිනක ඔබ ජාත්‍යන්තර වශයෙන් ශ‍්‍රී ලංකාව නියෝජණය කළ හැකි රාජ්‍ය නායකයෙකු නොවන බවටද ඔවුහු අනාවැකි පළ කළහ. ඔබ ජනාධිපති පදවියට පත් වුවහොත් මෙතෙක් ශ‍්‍රී ලංකාව ලෝකයේ ගොඩ නගාගෙන ඇති ප‍්‍රතිරූපය විනාශ වී යනු ඇතැයිද, ඔවුහු සැක පහළ කළහ. විරුද්ධ පාක්ෂිකයන්ගෙන් පමණක් නොව, ඇතැම් රාජ්‍ය නිලධාරීන්, වෘත්තිකයන් හා ව්‍යාපාරිකයන්ගේ මුවින්ද මෙම අදහස් පිට වුණි. එහෙත් ජනාධිපතිතුමනි, අද මුනිවත රකින ඔවුනට කට උත්තර ද නැත.

ත‍්‍රස්තවාදය සහමුලින්ම මර්දනය කිරීම සඳහා ඔබ කි‍්‍රයාත්මක කළ ප‍්‍රතිපත්තිය වෙනස් කරන්නට, ත‍්‍රස්තවාදීන් ගලවා ගැනීමට සාම දූතයන් ලෙසින් බලවත් විදේශ රටවල් ගණනාවකින්ම නියෝජිතයන් පෞද්ගලිකව පැමිණ ඔබට අනේකවිධ බලපෑම් කළ බව අපි දනිමු. එහෙත් ඒ සියලු බලපෑම් හමුවේ ඉන්ද්‍රඛීලයක් සේ ඔබ නොසෙල්වී සිටියේය. ඉතා නිර්භීතව වාග් ප‍්‍රති ප‍්‍රහාර දෙමින් ශ‍්‍රී ලංකාව තව දුරටත් කිසිදු අධිරාජ්‍යයක යටත් විජිතයක් නොවන බවත්, අපගේ ස්වෛරී භාවයට කිසිවෙකුටත් ඇඟිලි ගැසිය නොහැකි බවත් ඔබ ඔවුනට පෙන්වා දුන්නේ ය.

මෙහිදී ඔබ ප‍්‍රතිචාර දැක්වූ ආකාරය සුදුසු නොවේ යැයි ද,, එයින් ශ‍්‍රී ලංකාවේ අන්තර්ජාතික මිත‍්‍ර සබඳතා කඩතොලු විය හැකි යැයිද, විරුද්ධවාදීන් විවේචනය කළද, අද ශ‍්‍රී ලංකාව ත‍්‍රස්තවාදය මුළුමනින්ම විනාශකිරීමට සමත් වූයේ එම විදේශ බලපෑම්වලට ඔබ නතු නොවූ නිසාම ය. අද රාජ්‍ය නායක ධූරයේ සිටින්නේ ඔබ නොවන්නට, වෙනත් ඕනෑම අයෙකු එම විදේශ බලපෑම් වලට යටත් වනවාට කිසිදු සැකයක් නැත. එනිසා ජනපතිතුමනි, ශ‍්‍රී ලංකාවේ වාසනාවට ජාතියේ පිනට පහළ වූ ඔබතුමා ගේ කි‍්‍රයා කළාපය වර්තමාන නායකයින්ටද, අනාගත රාජ්‍ය නායකයින්ට ද පරමාදර්ශයකි.

කුරිරු යුද්ධයෙන් පීඩාවට පත්වූ තම ළබැදියන් අහිමි කරගත් සිවිල් වැසියන් පමණක් නොව හමුදා පවුල්වල සාමාජිකයන්ද, අද පවසන්නේ ඔබතුමා මීට පෙර රටේ නායකයා වූයේ නම් ඔවුන්ගේ පවුල්වල මියගිය සාමාජිකයන් අද ජීවතුන් අතර සිටීමට ඉඩ තිබුනු බවයි. යුද්ධයෙන් විනාශ වී ගිය සාමාන්‍ය ජීවිත අනන්තය, අප‍්‍රමාණ ය. යුද්ධය වෙනුවෙන්, තම මවුබිම වෙනුවෙන් ඇස්, හිස්, අත් පා සහ මුළු ජීවිතයම දන් දුන් වීරෝදාර රණවිරුවන් අප‍්‍රමාණ ය. ඔබ මීට කලින් මෙම වගකීම භාර ගත්තේ නම්, මෙම ව්‍යසනයන් අවම වීමට ඉඩ තිබුණි.

කෙසේ වුවද, අද ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැමීම නිසා මේ සියල්ල නිමාවී අපි සැනසුම් සුසුම් හෙළමු. මෙම විශ්මිත ප‍්‍රාතිහාර්යය සිදුකිරීම ගැන අපි ලක්වැසි සමස්ත ජනතාවම ඔබටත්, ආරක්ෂක ලේකම් සහ හමුදා හා පොලිස් ප‍්‍රධානීන්ටත්, රණවිරුවන්ටත් සදා ණය ගැති වෙමු.

මැයි 19 වැනිදා ඔබ විසින් පාර්ලිමේන්තුවේදී පවත්වන ලද ඓතිහාසික කථාවේදී ප‍්‍රකාශ කළ පරිදි ඉදිරියේදී මහ ජාතියක් හෝ සුළු ජාතීන් නොමැත. සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර් මේ සියලු දෙනාම එකම ජාතියකි. ඔබ සඳහන් කළා සේම රටට ආදරය කරන සහ ආදරය නොකරන ජාතීන් දෙකක් ඇත. කුරිරු බිහිසුණු යුද්ධය නිමවීම නිසා බහුතර ජනකායක් අද භුක්ති විඳින සතුට, රටට ආදරය නොකරන එම සුළු පිරිස භුක්ති විඳින්නේ නැත. ඒ වෙනුවට ඔවුන් තර්ක විතර්ක ගෙන හැර පාමින් මෙම විජයග‍්‍රහණය අවතක්සේරු කිරීමට ඉඩ ඇත.

එම පිරිස අන් කිසිවෙකු නොව, දීර්ඝ කාලයක් මුළුල්ලේ යුද්ධයේ මුවාවෙන් සිය බඩ වියත රැකගත් ඊනියා එන්ජීඕ හා අයිඑන්ජීඕ කාරයන්ය. ජාත්‍යන්තර සංවිධානයන්ගෙන් යැපෙන ඔවුන්ගේ මඩිස්සල ඩොලර් , යූරෝ සහ පවුම්වලින් පිරෙන්නේ යුද්ධය පිළිබඳව හා මානව අයිතිවාසිකම් කඩකිරීම් පිළිබඳව රජයට විරුද්ධව සාවධ්‍ය කතන්දර නිර්මාණය කරන තරමට ය. එසේ නැත්නම් කිසිසේත් ප‍්‍රායෝගික නොවන, දෙවියන්ටවත් කි‍්‍රයාත්මක කළ නොහැකි විකල්ප ප‍්‍රතිපත්ති නිර්මාණ කරන තරමට ය. යුද්ධයක් නැති නිසා දැන් මොවුන් රැකියා විරහිත භාවයට පත්ව ඇත. ඒ නිසා එක් අතකින් ඔවුන් ඔබව විවේචනය කිරීම ගැන පුදුම විය යුතු නැත. ඔවුන් ගේ ඉදිරි කි‍්‍රයා කලාපය ගැන අපි විමසිල්ලෙන් බලා සිටිමු.

ජනාධිපතිතුමනි, ඔබ ශ‍්‍රී ලංකා වංශ කථාවේ නව පරිච්ඡේදයක් ආරම්භ කළේ ය. මතු දිනෙක අපේ අනාගත පරම්පරාව ඔබව තවත් එක් ජනාධිපතිවරයෙකු පමණක් ලෙස නොව රට බේරාගත් ත‍්‍රස්තවාදය විනාශ කළ බල සම්පන්න රජෙකු ලෙස හදුන්වනු ඇත. ශ‍්‍රී ලංකාවට ඉදිරියේදී ඇතිවන බලපෑම් වැළැක්වීමටත්, රට ආර්ථික සමෘද්ධියක් කරා ගෙන යෑමටත් ඔබ චිරාත් කාලයක් රටේ නායකයාව සිටිය යුතු ය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්