අපි සියලු දෙනා ජාතික හැඟීමෙන් බැඳුණා

අපි සියලු දෙනා ජාතික හැඟීමෙන් බැඳුණා

ගිනි අවිය අත දරාසිටි පමණින් කිසිවකුටත් යුද්ධයකින් ජයග‍්‍රහණය කළ නොහැකිය. දෑතේ රැඳුන ගිනි අවියට යුද සෙබළාගේ බුද්ධිය සතුරා පරාජය කළ හැකි යුද උපක‍්‍රම මේ ආදී සියල්ලක්ම අවශ්‍ය වේ. මේ සියලු දෑ එකට කැටිවූ තැන ජයග‍්‍රහණය නියතය. එවැනි ජයග‍්‍රහණයක් ලැබූ එකම මෙහෙයුම උතුරු නැගෙනහිර මානුෂීය මෙහෙයුමයි.

දශක තුනක මෙරට ත‍්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ඉතිහාසය තුළ මානුෂීය මෙහෙයුමක් කිසි දිනෙක සිදු කෙරුනේ නැත. එවැනි මානුෂීය මෙහෙයුමක් සිදු කෙරුණ පළමු අවස්ථාව උතුරු නැඟෙනහිර මානුෂීය මෙහෙයුමයි. මෙම එකම මානුෂීය මෙහෙයුම අනිවාර්ය සුවිශේෂී ජයග‍්‍රහණයක් බවට පත්වූයේ එම මෙහෙයුමට නායකත්වය දුන් පිරිසගේ කැපවීම තුළින්ය.

යුද හමුදාපති, නාවික හමුදාපති, ගුවන් හමුදාපති සහ ති‍්‍රවිධ හමුදාපති වරුන්ට අමතරව පොලිස්පතිවරයාත් විශේෂ කාර්ය බළකායේ අණ දෙන නිලධාරී සහ සිවිල් බළකායේ අණ දෙන නිලධාරි වරයාද එම ජයග‍්‍රහණයේ පිටුපස සිටින දැවැන්ත ශක්තීන්ය.

යුද හමුදාපති ජෙනරාල් සරත් පොන්සේකා උතුරු නැගෙනහිර මානුෂීය මෙහෙයුමේ ගොඩබිමේ සිදු වූ දැවැන්ත කාර්ය සැලසුම සකස් කළ නියමුවා විය.

වසර හතළිහකට ආසන්න කාලයක් උතුරු නැගෙනහිර කි‍්‍රයාන්විත සේවයේ යෙදී සිටිමින් ලබාගත් අත්දැකීම් සම්භාරයක් සමඟ එතුමා තුළ වූ යුද උපක‍්‍රම සහ එතුමාගේ කැපවීම කෙසේ විග‍්‍රහ කළ හැකිද?

වසර තිහකින් නිමා කළ නොහැකි වූ යුද්ධය වසර තුනකින් නිම කිරීමට හැකි හමුදාපතිවරයෙක් මෙලොව තවත් බිහිවී නැත. බිහිවෙන්නේද නැත. එතුමා තුළ වූ දැවැන්ත ශක්තියක් තිබුණේද ඒ සම්පූර්ණ ශක්තියම ත‍්‍රස්තවාදීන් පලවා හැරීමේ මානුෂීය මෙහෙයුමට යොදා තිබුණි. එපමණක් නොව එතුමාගේ ජීවිතයේ සියලු සැප සම්පත් පමණක් නොවේ මූලික අවශ්‍යතා පවා කැපකර සිටියේය.

එතුමා මේ කැපවීම කළේ එතුමා යුදහමුදාපති ධූරයට පත්වීමෙන් පසු කි‍්‍රයාත්මක කළ මානුෂීය මෙහෙයුමට පමණක් නොවේ. වසර 40 පුරාම කි‍්‍රයාන්විත සේවයේ යෙදී සිටියදී සෙසු හමුදා නායකයන් යටතේ කි‍්‍රයාත්මක වූ හමුදා මෙහෙයුම්වලදීද තමාට පැවරී තිබූ කාර්යය ඉතා සාර්ථකව සිදු කිරීමට මේ හමුදා නිලධාරියා ගෙන් ලැබී තිබුණේ අපිරිමිත කැපවීමකි. එම මෙහෙයුම් සාර්ථක වුවත් නැතත් අවසානය ජයග‍්‍රහණය කළත් නැතත් තමාට පැවරුන කොටස සාර්ථකව ඉටු කිරීම මෙම කාර්ය ශූර රණවිරුවාගේ අරමුණ විය. කැපවීම විය. සෙසු හමුදා නායකයන් කුමක් කළත් කීවත් සතුරා පරාජය කරමින් සටන් පෙරමුණේ ඉදිරියට යාමක් මිස ආපසු හැරීමක් නම් මේ රණවිරුවාගේ හමුදා ජීවිතය තුළ දක්නට නොලැබුණි.

මේ දක්ෂ නිලධාරියා බොහෝ දෙනකුගේ කැපිල්ලට ලක්විය. සුදුසු තැන ඔහුට හිමිවීම වෙනුවට පැත්තකට කර වෙනත් පුද්ගලයන්ට එම තැන් හිමිවිය.

අවසානයේ විශ‍්‍රාම ගැනීමට දින 12 ක කාලයක් තිබියදී මෙම හමුදා නිලධාරියාට හමුදාපති ධූරය හිමිවූයේ දෙවි කෙනකු ජාතියේ වාසනාවට ඔහුට එම තනතුර හිමිකර දීමක් ලෙසය.

කෙසේ හෝ වේවා වසර තිස් හතක කාලයක් තුළ ගිනි අවිය අතදරාගෙන සතුරා පරාජය කිරීමට ඔහුගේ සිත තුළතිබූ සියලු සැලසුම් කි‍්‍රයාත්මක කිරීමට අවස්ථාව සැලසුණි. නිදහසේ ඔහුට එම කාර්ය කැමති ආකාරයකට සැළසුම් කර සිදු කිරීමටද අවස්ථාව සැලසුණි. සියල්ල සිදුවීමට ගියේ වසර තුනකි. වසර තිහක් තිස්සේ රට තුළ පමණක් නොව ලොවතුළම මුල් බැස ගෙන තිබූ එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම විනාශ වී ගියේ ලොවම මවිතයට පත් කරවමිනි. එපමණක් නොව මේ අභීත සෙන්පතියාගේ යුද උපක‍්‍රමවලට හසුවී සමස්ත කොටි නායකත්වයම සමූල ඝාතනය විය. ප‍්‍රභාකරන් නමැති නාමයත් සමඟ ත‍්‍රස්තවාදයම විනාශ වී යද්දී ලොවේ සෙසු ත‍්‍රස්තවාදී සංවිධාන පවා භීතියට පත්කරවීමට තරම් මේ විශිෂ්ට නායකයාට හැකිවිය. කේ.පී. හෙවත් පද්මනාදන් අද රටින් රට පැන යමින් ජීවිතය රැක ගැනීමට උත්සාහ කරන්නේ මේ හමුදා නායකයා තමා පිටුපස පැමිණෙනු ඇතැයි යන බිය නිසා ය.

උතුරු නැගෙනහිර මානුෂීය මෙහෙයුම ජයග‍්‍රහණය කිරීමට මහා පරිමාණයෙන් දායක වූ නාවික හමුදාව මෙතෙක් කාලයක් මෙරට නාවික හමුදා ඉතිහාසය වෙනස් මගකට හැරවීමට කටයුතු කළහ. නාවික හමුදාපති වයිස් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාගේ මඟ පෙන්වීම යටතේ සිදුවූ එම මෙහෙයුම්වල ප‍්‍රතිඵලයක් වශයෙන් ත‍්‍රස්තවාදීන්ට කොටි බෝට්ටුවක් නොව කොටියකුට දෙපා සෝදා ගැනීමට තරම්වත් මහ මුහුදට බැස ගැනීමට අවස්ථාවක් සැලසුනේ නැත. දිවා රෑ නොබලා මහා සප්තමහා සාගරය පුරා සැරිසරමින් රට රකිනා දෙවියන් මෙන් නාවික හමුදා වීර පුතුන් ආරක්ෂක වළලු ගණනාවක් යොදා රන් වැටක් යොදා මෙන් ආරක්ෂා කර තිබියදී සතුරාට සිදුවූයේ බංකරයටම වී ගිනි අවියක් අත දරාගෙන සැඟවී සිටීමට පමණි.

උතුරු මානුෂීය මෙහෙයුමේදී ප‍්‍රභාකරන් අවසන් මීටර් සියය දක්වාම කොටුවූයේ නාවික හමුදාවෙන් බේරී ඔහුට පලා යාමට ඉඩක් නොලැබුණ නිසාය. නාවික හමුදාව එසේ ශක්තිමත් නොවුනානම් ප‍්‍රභාකරන් මේ වනවිටත් වෙනත් රටක ආරක්ෂා වී සිටීමට ඉඩ තිබුණි.

කොටි නායකයා ගොඩබිමේ සිටිනවා ඔහුට පැන යන්නට කෙසේවත් ඉඩ ලැබෙන්නේ නැතැයි අද්මිරාල් කරන්නාගොඩ මහතා පැවැසුවේ දැඩි විශ්වාසයකිනි. දිගු කාලයක් පුරා නාවික හමුදා සේවයේ යෙදී සිටියදී මුහුණ දුන් අනන්ත අප‍්‍රමාණ දුෂ්කරතා මධ්‍යයේ වුවද තමා එම නාවික හමුදා ජීවිතයෙන් ලබාගත් අත්දැකීම් උපක‍්‍රම නාවික හමුදාපති ධූරයට පත්වූ පසු සතුරා විනාශ කිරීමට යොදා ගත්තේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම තමා වෙත පැවරී තිබූ කර්තව්‍ය, තමා පැවසූ වචනවල සත්‍යතාවය ලොවටම පෙන්වමිනි.

කොටින්ගේ ආයුධ නැව් දහයක් විනාශ කළ වකවානුවක් නාවික හමුදා ඉතිහාසයේ අප අසා නැත. එහෙත් මහා සප්ත සාගරයමැද යුද ගිනි දැල් මැද කොටි ගිනි අවි පිලිස්සී යද්දී නාවික හමුදාවේ කීර්තිය ලොව පුරා ප‍්‍රචලිතව ගියේ මේ ලොව කිසිදු බලගතු රටක නාවික හමුදාවකට මෙරට නාවික හමුදාව දෙවැනි නැති බව පෙන්වමිනි.

එවගේම අපේ ගුවන් හමුදාවේ වික‍්‍රමයන් ගැන තවත් අපට සටහන් තැබීමට තරම් දෙයක් තිබේද ? ඔවුන් මේ මහා ගුවන පුරා සැරි සරමින් කොටි බළකොටු සුණු විසුණු කරමින් ගොඩබිමෙන් යුද හමුදාවටත් නාවික හමුදාවටත් දැක්වූ සහයෝගය මෙතකැයි යැයි කිවනොහැකි තරම් වෙයි. ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහතා තම ගුවන් හමුදා සේවයේ ඉටු කළ හැකි විශිෂ්ටතම සේවය මේ රටේ ජනතාව වෙනුවෙන් ඉටු කර දුන්නේ උතුරු නැඟෙනහිර මානුෂීය මෙහෙයුමෙනි.

ඒ මහතා ගුවන් හමුදාවේ කණිෂ්ඨ නිලධාරියකු ලෙස කටයුතු කරමින් සිටියදී ලැබූ අත්දැකීම් සම්භාරය මෙම මානුෂීය මෙහෙයුමට යොදා ගනිමින් ලෝකයම විශ්මයට පත්කරවන ප‍්‍රහාර ගණනාවක් කොටි බළ කොටුවලට එල්ල කරමින් ලැබූ ජයග‍්‍රහණ තුළින් අපේ රටේ ගුවන් හමුදාවට ලබා දුන් කීර්තිය මෙපමණකැයි කිව නොහැකිය. ත‍්‍රස්තවාදී බළකොටු දෙදරා යන ප‍්‍රහාර ගුවනින් එල්ල වෙද්දී යුද හමුදාවත් ගුවන් හමුදාවත් නොබිදෙන සහෝදර බැම්මකින් කටයුතු කළ අවස්ථා ගණනාවකි. පොලිස්පති ජයන්ත වික‍්‍රමරත්න මහතා උතුරු නැගෙනහිර මානුෂීය මෙහෙයුමක් කි‍්‍රයාත්මක වන කාලය තුළ දකුණේ ආරක්‍ෂාව තහවුරු කිරීම එම මෙහෙයුමට ලබාදුන් සුවිශේෂී දායකත්වයකි.

උතුරේ මෙහෙයුම අඩපණ කිරීමට ත‍්‍රස්තවාදීන්ට බොහෝ දුරට අවශ්‍ය වූයේ එම මෙහෙයුම්වලට නායකත්වය දෙන හමුදා නිලධාරීන් ප‍්‍රභූවරුන් ඝාතනය කිරීමයි. ඔවුහු ඒ සඳහා අවස්ථා ගණනාවක්ම උත්සාහ කළහ. එවැනි අපරාධයක් සිදු කිරීමට අවශ්‍ය පුපුරණ ද්‍රව්‍යයද දකුණට ගෙනවිත් ගොඩ ගසාගෙන තිබුණි. එහෙත් පොලිස් ඇසට වැලිගසා කොටි ත‍්‍රස්තවාදියාගේ ඉලක්කය සපුරා ගැනීමට නොහැකි වූවා පමණක් නොව දකුණේ කොටි ජාලය සම්පූර්ණයෙන්ම දෙදරවා හැරීමට පොලිස්පති ජයන්ත වික‍්‍රමරත්න මහතාගේ උපදෙස් මත කි‍්‍රයා කළ රාජ්‍ය බුද්ධි අංශය, ත‍්‍රස්තවාදී විමර්ෂණ ඒකකය, රහස් පොලිසිය ඇතුළු සමස්ත පොලිස් නිලධාරීන්ට හැකිවිය. කොටියා එසේ අඩපණ කිරීම නිසා අද මේ වන විට දකුණේ කොටි ජාලය සම්පූර්ණයෙන්ම විනාශවී ගොස් ඇත.

එතැන් සිට සිවිල් ආරක්‍ෂක බළකායේ නව පිටුවක් පෙරලුනා යැයි කිවහොත් නිවැරැදි ය. තමා යටතේ සිටින සෑම සිවිල් ආරක්‍ෂක නිලධාරියකුගේම දක්‍ෂතා හඳුනාගෙන ඔවුන්ගෙන් ලබාගත හැකි උපරිම සේවය ලබාගනිමින් මෙතෙක් කාලයක් ග‍්‍රාමාරක්‍ෂක සේවයෙන් ඉටු නොවූ තරම් සේවයක් සිවිල් ආරක්‍ෂක බළකාය තුළින් ලබාදීමට අද්මිරාල් සරත් වීරසේකර මහතාට හැකිවිය. විනයගරුක දක්‍ෂ බළකායක් රටට ලබාදීමට කි‍්‍රයා කළ ඒ මහතාගේ උපදෙස් මත කි‍්‍රයා කළ නිලධාරීන් විසින් ත‍්‍රස්තවාදීන් මැඩපැවැත්වීමට සිදුකළ මෙහෙය අප‍්‍රමාණ ය.

මේ අතර විශේෂ කාර්ය බළකාය තුළින් විශේෂයෙන් නැගෙනහිර පළාත් මානුෂීය මෙහෙයුමට ලබාදුන්නේ විශේෂ දායකත්වයකි. කංචිකුඩිච්චිආරු, අම්පාර ඇතුළු ප‍්‍රදේශවල ආරක්‍ෂාව තහවුරු කරමින් කොටි ත‍්‍රස්තවාදීන් සතු කඳවුරු සමඟ සම්පත් විශාල ප‍්‍රමාණයක් සොයාගත්තේ කොටි දුර්වල කළේ විශේෂ කාර්ය බළකායයි. ත‍්‍රස්තවාදී කණ්ඩායම් නැඟෙනහිර මානුෂීය මෙහෙයුමට බාධා කිරීමට කළ උත්සාහයන් රැසක් විනාශ කිරීමට විශේෂ කාර්යය බළකායට හැකිවිය. විශේෂ කාර්ය බළකායේ හිටපු අණදෙන නිලධාරී නිමල් ලෙව්කේ මහතාගේ මෙන්ම වත්මන් අණදෙන නිලධාරී කේ. එල්. එම්. සරත්චන්ද්‍ර මහතාද එම මෙහෙයුම්වලට දායක වූහ.

විජයානි එදිරිසිංහ

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්