69 හන්දියේ ආරි මුදලාලිගෙන් අමතක නොවන උදව්වක්

69 හන්දියේ ආරි මුදලාලිගෙන් අමතක නොවන උදව්වක්

නුරගේ මාධ්‍ය මෙහෙයුම ආරම්භ වන්නේ තොප්පිගල මෙහෙයුමේ බිහිසුනුම අවස්ථාවේ ය. තොප්පිගල මෙහෙයුම කියන්නේ මුළු නැඟෙනහිර පළාතම නිදහස් කර ගැනීමේ අවසාන අවස්ථාව 2006 ජුලි 25 පටන් ගත්ත මාවිල්ආරු නිදහස් කර ගැනීමේ මෙහෙයුම ඔක්. 13 වෙනකොට අවසාන වුණා.

වාකරේ, සාම්පුර්, කට්ටපරිච්චාන් හැම එකක් ම සාර්ථකව ඉස්සරහට යනවා දැක්කා. නැඟෙනහිර ඉතුරු වෙච්ච කොටි තොප්පිගලට කොටුවෙලයි හිටියේ. අපි එහෙට යනකොට තිබුණේ සටනේ දරුණුම හරිය.

අම්පාර මහඔය A - 27 පාරේ කොහොඹගස්තලාවෙන් තමයි තොප්පිගල මෙහෙයුම ආරම්භ වුණේ. ආමි එකේ අයත් එක්කම යන්න ඕන. අපේ ජීවිත පිළිබඳ වගකීමත් ඔවුන්ට දෙනවා. ඒ නිලධාරීන් සමඟ හිතවත් වෙලා අපේ රාජකාරිය ගැන පහදලා දීලා, ප‍්‍රවෘත්තියේ වටිනාකම පහදලා දීලා තමයි යවන්නේ.

පුළුවන් උපරිම ආරක්‍ෂාව ඒ ගොල්ලෝ සපයනවා. ඉස්සෙල්ලාම ගියේ මින්නේරිය නැඟෙනහිර ආඥා මූලස්ථානයට. එතනින්, වැලිකන්ද බල සේවා මූලස්ථානයට මාව යොමු කළා.

එවකට වැලිකන්දේ හිටියේ බි‍්‍රගේඩියර් දයා රත්නායක. එතුමා තමයි අපට උපදෙස් දුන්නේ. එතනින් යොමු කෙළේ මෙහෙයුම කි‍්‍රයාත්මක වෙන තැනට එතන හිටියේ බි‍්‍රගේඩියර් චාගි ගාල්ලගේ. යුද හමුදාවේ කීර්තිමත් චරිතයක්. එයා යටතේ තමයි මෙහෙයුම කි‍්‍රයාත්මක වුණේ.

මේ ගමනේ දී සිත්තන්ඩි කඳවුර ඉස්සරහින් යනකොට කඳවුරේ තිබුණු කාලතුවක්කු අවියකින් ප‍්‍රහාර එල්ල කළා. ඒ තොප්පිගල කොටින්ට. ඒ තමයි වෙඩි සද්දයක් ඇහිච්ච පළමු අවස්ථාව. බයටම රියදුරු අතින් වාහනය නතර වුණා. අපි හිටපු හරියටත් උණ්ඩයක් වැටුණා. වටපිට බලනකොටයි දැක්කේ කඳවුරෙන් තමයි ගහන්නේකියලා. ඇත්තට ම මේ අවස්ථාවේ ගොඩක් බය හිතුනා. අපි හිතුවේ කොටි අපට ගහනවා කියලා.

කොහොම හරි රෑ වෙනකොට කෑම්ප් එකට යන්න පුළුවන් වුණා. අපි නතර වුණේ තොප්පිගල මෙහෙයුම කි‍්‍රයාත්මක කරන ප‍්‍රදේශයේම යි. එතන ඉඳලා තොප්පිගලට කි. මී. 20 ක් විතර ඇති. අපි ගියේ ඉලුක්පඩිවේන කඳවුරට. එතනින් තමයි මෙහෙයුම කි‍්‍රයාත්මක කළේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිල නිවාස වගයක් එතන තිබුණා. ඒවා පාවිච්චි කරලා තිබුණේ කොටි.

ඔවුන්ගේ උසාවි, පොලිසි ඒ ගොඩනැගිලිවල පිහිටුවලා තිබුණා. අපි නතර වුණේත් ඒ ගොඩනැගිලිවලම යි. පහුවදා මෙහෙයුමේ දර්ශන රෑ හතේ ප‍්‍රවෘත්ති වලට එවන්න නම් හවස තුන වෙන කොටවත් අපේ වැඩ ඉවර කර ගන්න ඕන. අපි ගන්න දර්ශන කොළඹට එවන්න අම්පාර ටවුන් එක කිට්ටුවට එනකම් එනවා. එතන තමයි තිබුණේ අන්තර්ජාල පහසුකම්. පන්සලක තිබුණා නැණසල මධ්‍යස්ථානයක්.

අපි ගත්ත දර්ශන එවන්න ආපු පළවෙනි දවසේම මධ්‍යස්ථානය වහලා වැඩ කරන කෙනා ගෙදර ගිහිල්ලා. පොඩි හාමුදුරුනමක් විතරයි හිටියේ. අපි ඒ හාමුදුරුවන්ට පැහැදිළි කරලා දුන්නා අපේ ප‍්‍රශ්නය. හාමුදුරුවෝ තේරුම් ගත්තා මේ වගකීම මොකක්ද කියලා.

හාමුදුරුවොත් ආවා අපිත් එක්ක වැඩ කරන කෙනාව හොයා ගන්න. එයා ඉන්න තැනට කි. මී. 10 ක් විතර ආපහු යන්න ඕන. එයාටත් තේරුම් කරලා දීලා ආපහු එක්කරගෙන ආවා නැණසල මධ්‍යස්ථානයට. කොහොම හරි මෙච්චර මහන්සිවෙලත් එදා අපේ දර්ශන හතේ ප‍්‍රවෘත්තිවලට යවන්න බැරි වුණා. 9.30 ප‍්‍රවෘත්තිවලට තමයි දුන්නේ.

අපි ආපහු අම්පාරෙන් එන්න පිටත් වුණේ රෑ 8.30 ට විතර. නතරවෙලා හිටිය ඉලුක්පඩිචේන කඳවුරට යන්න 69 හන්දියට ඇවිත් හැරිලා යන්න ඕන. මේ හන්දියේ පොලිස් මාර්ග බාධකයක් තිබුණා.

එතන හිටපු පොලිසියේ අය කිව්වා යන්න දෙන්න බැහැ එල්. ටී. ටී. ඊ එකෙන් යන වාහනවලට ක්ලේමෝ ගහනවා කියලා. මම කිව්වා මම මේ අවදානම ගන්නම්, ලියුමක් දෙන්නම් මගේ කැමැත්තෙන් යන්නේ යන්න දෙන්න කියලා. ඒත් ඔවුන් අපට යන්න දුන්නේ නෑ. පහුවදා උදේ මෙහෙයුමේ වැඩත් පටන් ගන්නවා. කොහොම හරි අපට යන්න දුන්නේම නැහැ.

මේ නිසා අපට ප‍්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න සිදු වුණා. නතර වෙන්න තැනක් නැහැ. ඇඳන් හිටපු ඇඳුම් විතරයි. ඒවායේ දූවිලි පිරිලා. අඳින්න ඇඳුම් නෑ, කන්න කෑමක් නෑ, කෝල් එකක් ගන්න ටෙලිෆෝන් එකක්වත් නෑ. අපි මොකද කරන්නේ කිය කියා ඉන්නකොට අපේ නිශාන්ත ඈත ගෙදරක ජනේලයකින් ලයිට් එකක් පත්තුවෙනවා දැක්කා. අපි එතනට ගිහිල්ලා ජනේලයෙන් කතා කළා.

ගමන දුෂ්කරයි

එතන හිටියේ ආරි මුදලාලි කියලා කෙනෙක්. අපේ ප‍්‍රශ්නය ඔහුට කිව්වා. අපි ඇඳලා හිටියෙ ITN ටී ෂර්ට් ඒ හින්දා සැකයක් හිතුවේ නෑ.

ආරි මුදලාලි අපට කරුණාවෙන් කතා කරලා හොඳට සැලකුවා කන්න බොන්න අඳින්න දුන්නා. නවාතැන් පහසුකම් දුන්නා. ඒ අවස්ථාවේ ආරි මුදලාලි අපට කළේ ලොකු උදව්වක්.

වහපු පාරවල් අරිනකොට පහුවදා 8.30 විතර වෙනවා. ඒ වෙලාවට කෑම්ප් එකට ගිහිල්ලා අපේ වැඩේ කර ගන්න බැරි බව මට තේරුනා. ආරි මුදලාලිගෙන් අහගත්තා ආමි කෑම්ප් එකක් තියන තැන.

අපි එතනට ගිහිල්ලා කිව්වා අපි මේ වගේ තත්ත්වයකට පත්වෙලා ඉන්නේ. පරක්කු වෙලා ගිහිල්ලා අපේ රාජකාරිය කර ගන්න බැහැ කියලා. ආමි එකේ අය අපව ආදරෙන් පිළිගත්තා.

කෑම්ප් එකෙන් 69 හන්දියේ පොලිසියට කතා කළා. අපේ රාජකාරිය මොකක්ද කියලා ඔවුන්ට පැහැදිලි කරලා දීලා ඕන වේලාවක එතනින් යන්න එන්න දෙන්න කියලා කිව්වා.

එතනින් පස්සේ අපට පොලිසියෙන් කිසිම ප‍්‍රශ්නයක් වුණේ නැහැ. මේ විදිහට උදේට මෙහෙයුමේ දර්ශන ගන්නවා. දවාලට අම්පාරට යනවා කොළඹට වීඩියෝ දර්ශන එවන්න. රෑ අටට විතර තමා අම්පාරෙන් යන්නේ කෑම්ප් එකට.

දවසක් රෑ අම්පාරේ ඉඳලා කෑම්ප් එකට යද්දි බෝක්කුවක් යට රතු එළියක් තිබුණා. නිශාන්ත කිව්වා රතු එළියක් පත්තු වෙනවා කියලා කියනවා විතරයි මට උත්තරයක් දෙන්න ලැබුණේ නෑ.

අපේ රියැදුරු මහත්තයා බෝක්කුව උඩින් වාහනය අරගෙනත් ඉවරයි. ක්ලේමෝ ගහන හින්දා වාහනය පුළුවන් තරම් ඉක්මනට යනවා. ක්ලේමෝ වලින් බේරෙන්න තියන එකම ක‍්‍රමය තමයි වේගය.

100 ට වගේ වේගෙට යනවා. කි. මී. 85 පැය 1 1/2කින් විතර යනවා. ඒ බෝක්කුව යට ඉඳලා තියෙන්නේ ආමි එකෙන්. ඒගොල්ලෝ ටෝච් එකක් හරි මොනවා හරි පත්තු කරලා වාහන චෙක් කරලා එවන හින්දා ඒගොල්ලෝ බයත් නැහැ. රෑ දහයට විතර කෑම්ප් එකට ගිහිල්ලා කාලා බීලා නිදාගන්නකොට 11.00 විතර වෙනවා. පතොරොම් පෙට්ටි ලී ඇඳන් තමයි තියෙන්නේ. ආමි එකට දෙන්න පුළුවන් පහසුකම් අපට දෙනවා.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා