අත දරුවකු කරපින්නාගත් ගැහැනිය

අත දරුවකු කරපින්නාගත් ගැහැනිය

කොමාන්ඩෝ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් කි‍්‍රෂාන්ත කැබ් රථය පදවමින් සිටියේය. අප සිටියේ එහි පිටුපසය. ඇතැමෙක් සතුටු සාමිචියේ යෙදී සිටි අතර ඇතැමෙක් යුද්ධය පිළිබඳ සාකච්ඡා කරමින් සිටියහ. මගේ නෙත් යොමුව තිබුණේ පැතිරී ගත් වැලිතලාව දෙසටය. අප මේ යමින් සිටියේ චලෙයි ප‍්‍රදේශයට. එහි සටන් ඇවිලෙමින් තිබුණි. අපව එහි කැටුව යෑමට මේජර් කි‍්‍රෂාන්තට දැඩි ඕනෑකමක් තිබුණි.

සුදුවැල්ලේ එරුණු කැබ් රථයක්

දැන් අප ගමන් කරමින් සිටින්නේ, පෙර දින එල්.ටී.ටී.ඊ.යේ ප‍්‍රහාර එල්ල වූ ස්ථානයෙනි. එම මාර්ගය ආවරණය කර තිබේ. එබැවින් මේජර් කි‍්‍රෂාන්ත ඊට පිටතින් වූ වැලි සහිත ප‍්‍රදේශයකට කැබ් රථය ධාවනය කළේය. රථය එක්වරම වැල්ලේ එරී ගියේය. මේජර් කි‍්‍රෂාන්ත එරීගත් ටයරය ගලවා ගැනීමේ උත්සාහයක නිරතවත්ම පිටුපස ටයර් දෙකම වැලි පොළවේ යටටම එරුණි.

සියල්ලෝම කැබ් රථයෙන් ඉවතට පැන ගත්හ. එරී ගිය ටයර් ගොඩට ගැනීම සඳහා අපි නොයෙක් නොයෙක් අත්හදා බැලීම් කළෙමු. ඒ අතර වැලි අත්වලින් ඉවත් කිරීමත්, එතැනට පොල් අතු දැමීමත් වඩාත් සාර්ථක බව කාට කාටත් හැඟිනි. උත්සාහය සාර්ථකය. නැවැතත් කැබ් රථය ධාවනය වන්නට පටන් ගත්තේය.

අප ගමන් කරමින් සිටින අතරතුර, මාර්ගය දෙපස කැලෑවේ අපූරු යමක් සිද්ධ වෙමින් තිබුණි. මාර්ගය දෙපසත්, කැලෑව තුළත් යුද හමුදා සෙබළු බිම දිගාවී ඉදිරියට ගමන් කරමින් සිටියහ. කැබ් රථයේ ගමන් ගත් අය දෙස, ඔවුන් බැලුවේ විශාල කරගත් ඇස්වලිනි. ඔවුහු ඉදිරි මෙහෙයුමට සහාය දැක්වීම පිණිස සෝදිසි මෙහෙයුම්වල නිරත භට පිරිස් වෙති.

ඊට මීටර් 400 ක් 500 ක් පමණ දුරින් සටන් පැවතෙමින් තිබුණි.

බෝනික්කා සහ ගැහැනිය

ගැහැණිය පැමිණෙමින් සිටියේ තම අත දරුවාද කරපින්නාගෙනය. චලෙයි ප‍්‍රදේශයේ දරුණු සටන් ඇවිලී යමින් තිබුණි. 7 වැනි විජයබා රෙජිමේන්තුව සමඟ පළමුවැනි කොමාන්ඩෝ බළකාය මෙහෙයුම් සිදුකරමින් සිටියහ.

ඇය සැරසී සිටියේ බාල වර්ගයේ සාරියකිනි. තම කෙස් වියළි සුළඟට මුසුව තිබුණි. භට පිරිස්ගේ උකුසු ඇස්වලට ගැහැණිය හසුවූහ. කාන්තාව සරණාගත එකියකද නොඑසේ නම් මරාගන මැරෙන එල්.ටී.ටී.ඊ. සාමාජිකාවකද යන්න හරිහැටි සොයා බැලීමට කාලවේලා තිබුණේ නැත. එහෙත් ඇය මරාගෙන මැරෙන්නියක්ය යන බව පළපුරුදු භට පිරිස දැන සිටියහ.

අත දරුවාද කරපින්නාගෙන උමතු කාන්තාවක සේ ඇය පැමිණෙමින් සිටියාය. හමුදා පිරිස් ඉදිරියට පැමිණෙන කාන්තාවගේ උමතු ගමන නතර විය. 7 වැනි විජයබා රෙජිමේන්තුවත් පළවැනි කොමාන්ඩෝ බළකාය ඉදිරියට යමින් සිටියහ.

සුදුවැලි මත බූට් සපත්තු අඩි සළකුණු තැබුණු අතර ක්ෂණයකින් ඒවා මැකී යයි. ඒ එහිම තවත් සෙබළකුගේ බූට් සපත්තු සළකුණු වැටෙන බැවිනි.

වැල්ලේ පසෙක අත දරුවකු වඩාගෙන පැමිණි ගැහැණිය වැටී සිටියාය. පසෙක දරුවාද සිටි අතර ඒ දරුවකු නොව රෝස පැහැති බෝනික්කකු බව එය වාර්තා කිරීමට ගිය අපි දුටුවෙමු.

එල්.ටී.ටී.ඊ.යේ මරාගෙන මැරෙන සාමාජිකාවගේ සිදුවීම අපි වාර්තා කළෙමු. යුද භූමියේදී එහි සිිටි භට පිරිස හා ඉතා සමීපව හිඳ වාර්තා කිරීමටත්, මාධ්‍ය සඟයන්ටත් හුරුපුරුදු කටයුත්තක් බවට පත්වෙමින් තිබුණි. අපට තිබූ එකම හා භයානකම ගැටලුව වූයේ එල්.ටී.ටී.ඊ.ය විසින් අටවා තිබූ පුද්ගලනාශක බෝම්බ සහ මර උගුල් අටවා තිබීමයි.

දූවිලි මිනිස්සු

අප ගමන් ගත් වෑන් රථයේ ඉතා තදින් වීදුරු කවුළු වසා තිබිණි. ඒ අධික දූවිල්ලෙන් ගැලවීම සඳහායි. එහෙත් කුඩා සිදුරු තුළින් දුඹුරු පැහැ දූවිල්ල ඇතුළතට කාන්දුවෙමින් තිබේ. අප සියල්ලන්ම අධික දූවිලි තට්ටුවකින් වැසී ගොසිනි.

58 වැනි සේනාංකය චලෙයි දකුණුපස වූ විශ්වමඩු ප‍්‍රදේශය දෙසින් ඉදිරියට මෙහෙයුම් සිදුකරමින් සිටියහ. දෙපැත්තකින් එල්ල වන ප‍්‍රහාර හමුවේ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට කළ හැකිව තිබූ එකම කාර්යය වූයේ යුද හමුදාවට ප‍්‍රති ප‍්‍රහාර එල්ල කරමින් පළා යෑමය.

විශ්වමඩු ප‍්‍රදේශය තම අණසකට නතුකර ගත් 58 වැනි සේනාංකය ඉදිරියට ගමන් කිරීමත් සමඟ පරන්තන් හන්දියේ සිට මුලතිව් දෙසට, චලෙයි ඔස්සේ වැටී ඇති මාර්ගය විවෘත කර ගැනීමට ඔවුනට හැකිවිය.

ලද අවසරයෙන් අප රථය එම මාර්ගය ඔස්සේ චලෙයි ප‍්‍රදේශයට පැමිණීමට හැකිවිය. මිරුසුවිල් සිට අලිමංකඩ පසු කරමින් පරන්තන් දක්වා ඒ 9 මාර්ගයේ පැමිණ ඒ-35 මාර්ගයෙන් චලෙයි දක්වා ගමන් කිරීමට අපට දීර්ඝ කාලයක් ගතවුණි.

එහෙත් එය කළපු දිය තරණය කරමින් ට‍්‍රැක්ටර් රථයක නැගී ගමන් කිරීමට වඩා පහසුවක් ගෙන දෙන්නකි.

වෑන් රථය පැදවීම අතිශය දුෂ්කර කටයුත්තක්ව තිබුණි. ඒ යුද ටැංකි ධාවනය කිරීමෙන් පාර අබලන් තත්ත්වයක පැවතීමයි.

අප දැන් හොඳින් දුඹුරු පැහැගෙන සිටියි. එහෙත් මාර්ගය දෙපස වූ කරල් බරව ගිය විශාල කුඹුරු යායවල් සරු කෙත්වතු ගමන් විඩාව පළවා හරිමින් තිබුණි.

කිලෝමීටර් 60 කට ආසන්න ගමන බොහෝ වෙහෙසකරය. අපගේ බලාපොරොත්තුව වූයේ 53 වැනි සේනාංකය රැඳී සිටින සීමාවේ සිටම පේ‍්‍රක්ෂක ඔබට වාර්තා කිරීමටය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා