සිනමා ක්‍ෂේත‍්‍රයේ රැදී සිටීම මගේ එකම අරමුණයි

සිනමා ක්‍ෂේත‍්‍රයේ රැදී සිටීම මගේ එකම අරමුණයි

- උදයකාන්ත වර්ණසූරිය

සෞන්දර්යයාත්මක සිනමා ගමන් මගේ සොඳුරු නිමැයුම්කරු උදයකාන්ත වර්ණසූරියගේ නවතම සිනමා පටය ‘පායා එන්න හිරු සේ’ මේ දිනවල ‘සැවෝයි’ ප‍්‍රමුඛ ඡ්ඒර්‍ථ මණ්ඩලයේ සිනමා ශාලාවන්හි අති සාර්ථක ලෙස තිරගත වෙයි. මෙය ඔහුගේ දහහතර වැනි සිනමා නිර්මාණයයි. අධ්‍යක්‍ෂවරයෙකු ලෙස සිනමාවට එක්ව වසර දහහතරක් ඇතුළත වසරකට එක් චිත‍්‍රපටය බැගින් චිත‍්‍රපට 14ක් නිර්මාණය කරන්නට ලැබීම උදයකාන්ත ලැබූ භාග්‍යයකි. එක් අතකින් මෙය අසම සම වාර්තාවකි.

* සතුටු විය හැකි මට්ටමින් ඔබේ අලුත් චිත‍්‍රපටයට ප‍්‍රතිචාර ලැබෙනවා ද?

මම මේ වෙනකොට චිත‍්‍රපට 14ක් කරලා තියෙනවා. ඒ චිත‍්‍රපට අතුරින් කිහිපයක් සාර්ථක මට්ටමින් සහ බහුතරයක් අති සාර්ථක අන්දමින් සිනමා ශාලාවන්හි තිරගත වූ චිත‍්‍රපටයි. මුල ඉඳලම මගේ චිත‍්‍රපට පෙ‍්‍ර්ක්‍ෂකයා ප‍්‍රතික්ෂේප කළේ නැහැ. ඒ ප‍්‍රතිචාරය මේ චිත‍්‍රපටය තුළිනුත් මා දකිනවා. සරල විනෝදයක් ලබාදිය හැකි පවුලේ තේමාවක් මම මේ චිත‍්‍රපටයට පසුබිම් කරගත්තේ.

මම මේ චිත‍්‍රපටය දකින්නේ සරල සුන්දර චිත‍්‍රපටයක් හැටියටයි. කවුරුවත් මේ චිත‍්‍රපටය ප‍්‍රශ්නයක් කරගෙන නරඹන්නේ නැහැ. විනෝදයක් ලබාදෙනවා. විශාල මුදලක් වියදම් කරලා පේ‍්‍රක්‍ෂකයන් සිනමා ශාලාවට යන්නේ වියදම් කරන මුදලට ගැලපෙන විදියේ රසාස්වාදයක් ලබන්නයි. මේ චිත‍්‍රපටය තුළ ඒ රසය උපරිමයෙන් ලබාගන්නට පුළුවනි.

මම මේ චිත‍්‍රපටය නිර්මාණය කළේ පවුලේ හැමෝම එකට වාඩි වී විනීත රසාස්වාදයක් ලැබිය හැකි විදියටයි. පේ‍්‍රක්‍ෂකයින්ගේ ප‍්‍රතිචාර අනුව මට දැනෙන්නේ හොඳ සිනමා වින්දනයක් ලබන බවයි. ඒ නිසා මගේ උත්සාහය සාර්ථකයි. ඒ වගේම මේ කාරණයත් කියන්න ඕනේ.

රටේ දැන් පවතින නිදහස් බව නිසා පේ‍්‍රක්‍ෂකයෝ සිනමාශාලාවලට ඇදී ඒමේ ප‍්‍රවණතාවය වැඩිවෙලා තියෙනවා. සිනමා ශාලාවලට රොක්වීමේ ප‍්‍රවණතාවයක් තියෙනවා. මෙය මා දකින්නේ සුබ ලකුණක් විදියටයි.

* ඔබේ චිත‍්‍රපට ආකර්ෂණයයි. මනස විඩාවට පත් නොකරන නිර්මාණයි. එය සැබෑවකි. නමුත් ඔබේ චිත‍්‍රපට සියල්ලම පාහේ මුල මැද සහ අග පිළිවෙලින් යුත් විනෝදයට බර ඒකාකාරී රටාවකට ගලා යන චිත‍්‍රපටයි. මේ රාමුවෙන් ඔබ්බට ගොස් නෙත පිනවීමට පමණක් නොව හිතන්නටත් හැකි චිත‍්‍රපට කරන්නට තවමත් ඔබ උත්සහ නොගන්නේ ඇයි?

මම මුල් කාලේ කළ ‘ගිනිකෙළි සහ ගිනි අවි’, ‘රන්දිය දහර’, ‘රාජ්‍ය සේවය පිණිසයි’, ‘දියයට ගින්දර’, ‘ලේ කිරි කඳුළු’, ‘යකඩ පිහාටු’, ‘ බහු භාර්යා’ වැනි චිත‍්‍රපට විනෝදාත්මක ලක්‍ෂණවලට වඩා කලාත්මක හැඩරුවකට නැඹුරු වූ චිත‍්‍රපට විදියට හඳුන්වන්න පුළුවනි.

‘රෝස වසන්තය’, ‘බහු භූතයෝ’, ‘හිරිපොද වැස්ස’, ‘පායා එන්න හිරුසේ’, ‘ආසයි මම පියාඹන්න’ වගේ චිත‍්‍රපට ඊට වඩා විනෝදාත්මක සිනමාවට බරව හැදූ චිත‍්‍රපටයි. මම කලාත්මක ලක්‍ෂණයන්ගෙන් සහ විනෝදාත්මක ලක්‍ෂණයන්ගෙන් හෙබි මේ දෙවර්ගයේම චිත‍්‍රපට නිර්මාණය කර තිබෙනවා.

ඒවගේම මේ සත්‍යයක් අපි අනිවාර්යයෙන්ම පිළිගන්න වෙනවා. පේ‍්‍රක්‍ෂක සහභාගිත්වය අතින් වැඩි විනෝදාත්මක චිත‍්‍රපටවලට යි. මා වටා නිෂ්පාදකවරු රැදිලා ඉන්නේත් ඒ අරමුණින්. නමුත් මෑත කාලයේ සිනමාව දෙස බැලුවම මගේ නිර්මාණ රැදිලා තියෙන්නේ විනෝදාත්මක චිත‍්‍රපට එක්ක. ඒක මම පිළිගන්නවා. නමුත් මගේ එකම අරමුණ වී ඇත්තේ චිත‍්‍රපට ක්‍ෂේත‍්‍රයේ රැඳී සිටීමයි.

මගේ එකම ව්‍යායාමයත් එයයි. පුංචි කාලේ ඉඳලම මගේ ආසාව තිබුණේ චිත‍්‍රපට කරන්නයි. එහෙම නැතුව ටෙලිනාට්‍යයවත් වෙළඳ දැන්වීම්වත් වාර්තා වැඩසටහන් කරන්නවත් නෙමෙයි. එනිසා මම චිත‍්‍රපට කරන්න මේ ක්‍ෂේත‍්‍රයේ රැඳිලා ඉන්න ඕනේ. මට එහෙම රැඳී ඉන්න පුළුවන් වන්නේ නිෂ්පාදකවරු සහ පේ‍්‍රක්‍ෂකයන් සිටියොත් විතරයි. ඒ කාරණය මම හොඳින් තේරුම් අරගෙන ඉන්නේ.

* ඒ කියන්නේ ඔබත් ඉල්ලුමට අනුව සැපයුම න්‍යායයේ ගමන් කරන කෙනෙක් බව ද?

මම ආසයි; මගේ චිත‍්‍රපට වැඩි පේ‍්‍රක්‍ෂක පිරිසක් නරඹනවාට. එතකොට හදන්න වෙන්නේ විනෝදයට බර චිත‍්‍රපටයි. එහෙම කියලා මම පේ‍්‍රක්‍ෂකයන් ඉල්ලන විදියට බාල විදියට චිත‍්‍රපට හදන්නේ නැහැ. එයාලගේ සිතුම් පැතුම් සහ අවබෝධය ඇතිව සමාජයට ගැළපෙන විදියට චිත‍්‍රපට නිර්මාණය කරන්න මම උත්සහ කරනවා.

එහෙම නොවුණා නම් මට මේ අවුරුදු 14ට චිත‍්‍රපට 14ක් කරන්න ලැබෙන්නේ නැහැනේ. පේ‍්‍රක්‍ෂකයා ගැන නොහිතා චිත‍්‍රපට හදන්න ගියොත් අපට දුර ගමනක් යන්න බැහැ. ඒ සඳහා උදාහරණ ඕනෑතරම් ක්‍ෂේත‍්‍රය දිහා බලන විට දකින්න තියෙනවා. සමහරු ඉතාම දක්‍ෂ නිර්මාණකරුවන්. නමුත් එක චිත‍්‍රපටයකින්ම ඔහු හෝ ඇයගේ ගමන නැවැතිලා.

* එහෙනම් ඉදිරියටත් ඔබේ සිනමාව තුළ වෙනසක් දකින්නට නොලැබේවි?

නැහැ; අනිවාර්යයෙන්ම වෙනසක් සිද්ධ වෙනවා. නමුත් චිත‍්‍රපට ක්‍ෂේත‍්‍රයේ රැඳිලා ඉන්න එක අමාරු දෙයක්. තමන්ගේ මතිමතාන්තර සිනමා කෘතියට ඔබ්බවන්න ගිහින් සිද්ධ වූ ඛේදවාචකයන් අපි දැකලා තියෙනවා. එනිසා ඔවුන්ට පළමු සිනමා නිර්මාණයෙන්ම ගමන නතර කරන්න වෙලා තියෙනවා. මම එවැනි සිද්ධි පිළිබඳව සිහිකටයුතුව ඉන්නේ.

මම මේ ක්‍ෂේත‍්‍රයේ අවුරුදු දහහතරක් තිස්සේ අඛණ්ඩව නිර්මාණ සමඟ ගනුදෙනු කරන කෙනෙක්. එනිසා මට වගකීමක් තියෙනවා; යුතුකමක් තියෙනවා; මගේ අතිනුත් ඉහළ කලාත්මක භාවිතයෙන් යුත් චිත‍්‍රපටයක් කිරීම. ඒ ගැන මම නොසිතනවා නෙමෙයි.

ඒ වගේම මේ විනෝදාත්මක චිත‍්‍රපටත් අපේ රටට අවශ්‍යයයි. ඒ කාලේ මොරායස්, යසපාලිත වගේ අය අතින් ඒ චිත‍්‍රපට කෙරුණා. නමුත් අද එහෙම නැහැ. එදාට වඩා අද කාර්මික අතින් දියුණු යි.

ඒ තාක්‍ෂණික දැනුම උපයෝගී කරගෙන ලස්සන නිර්මාණ කරන්න අපි උත්සහ ගත යුතුයි. ඒ වගේම අපි චිත‍්‍රපට කරන්න ඕනේ පේ‍්‍රක්‍ෂකයා සිනමා ශාලාවට ගෙන්වා ගැනීමේ සංකල්පය හිතේ තියාගෙනයි. කෙල්ල - කොල්ලා ගැනම හැමදාම හිතලා බැහැ; වෙනස් තේමාවන් ගැන අපි හිතන්න ඕනේ.

මම වඩාත්ම තෘප්තියක් ලබන්නේ මනුෂ්‍ය ජීවිතයේ වඩාත් විනිවිද දකින... හොඳ ජීවන දෘෂ්ටියක් ලැබෙන නිර්මාණ කරන්නටයි. මම තීරණයක් අරගෙන තියෙන්නේ.

මේ එක පැත්තකටවත් බර නොවී සමබරව ඉන්නයි. ඉදිරියේදී විනෝදාත්මක සිනමාවෙන් ටිකක් අයින් වෙලා මීට වඩා මිනිස් සබඳතා ගැන කියැවෙන කලාත්මක නිර්මාණයකට යොමුවීමට සූදානමකුත් තියෙනවා.

* ඔබගේ නිර්මාණ ජීවිතයට යම් බලපෑමක් පවුල හරහා සිද්ධ වෙනවාද?

මම පළමුව හිතන්නේ මම සහ මගේ පවුල ගැන. මගේ බිරිඳ... දූ දරුවෝ, ගෘහ ජීවිතය පළමු තැනයි. දෙවනුව තමා ‘සිනමාව‘ ගැන හිතන්නේ. මගේ ගෘහ ජීවිතය... දූ දරුවෝ... බිරිඳ අමතක කරලා මම කවදාවත් සිනමා නිර්මාණයක් කරන්නේ නැහැ.

මම කාලයක් ළමා චිත‍්‍රපට කළා. ‘බහුභාර්යයා’ වගේ චිත‍්‍රපටත් කළා. නමුත් මම පවුල ආරක්‍ෂා කර ගත යුතුයි කියලා සිනමාව තුළ වාරණයන් පනවා ගෙනත් නැහැ. එතැන ගැටලුවක් නැහැ. නුමුත් මම හැමවිටම පළමු තැන දෙන්නේ මගේ බිරිඳ දූදරුවන් ඇතුළු ගෘහ ජීවිතයටයි. දෙවනුව තමා සිනමාව. මොකද මට ගෙදර ඇවිත් කෑම ටිකක් කාලා නිදහසේ නිදාගන්න බැරි නම් ඒ සිනමාවෙන් වැඩක් නැහැ. මට සතුටක් නැතිනම් මම කොහොමද අනෙක් අය සතුටු කරන්නේ.

සිනමාව පැත්තෙන් මගේ හිතේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. අතීතයේ යම් සිද්ධි දාමයක් අළලා චිත‍්‍රපටයක් කරන්න. ඇත්තටම මම හුඟක් සතුටු වෙනවා ජැක්සන් ‘අබා’ වගේ චිත‍්‍රපටයක් කිරීමත් ජයන්ත Qදුටුගැමුණු’ වගේ චිත‍්‍රපටයක් කිරීමට මුල පිරීමත් ගැන. මෙය අපේ සිනමාවේ යම් ප‍්‍රබෝධයක්. ඒ වගේ නිර්මාණ කිරීම තුළින් තමා අපට සිනමාවක් තියෙන බව දැනෙන්නේ. මෙය ඉතාම සුබවාදී දෙයක්.

* ඔබේ චිත‍්‍රපට අන්තර්ජාතික සිනමා උළෙලන් නියෝජනය නොවන්නේ ඇයි?

‘රන් දිය දහර’, ‘රාජ්‍ය සේවය පිණිසයි’ වැනි චිත‍්‍රපට ජාත්‍යන්තර උළෙලක් නියෝජනය කළා. නුමුත් ඇඟට දැනෙන විදියේ ලොකු සම්මානයක් ලැබුණේ නැහැ. කොහොමටත් මම වැඩිපුර ජාත්‍යන්තර සම්මාන උළෙලක් ගැන හිතන්නේ නැහැ. ජාත්‍යන්තර සම්මාන බලා ගෙන චිත‍්‍රපට හදන්න ගියොත් ලංකාවේ පේ‍්‍රක්‍ෂකයන් අමතක කරන්න වෙනවා.

මෙය ප‍්‍රශ්නයක්. ඒ නිසා ලංකාවේ පේ‍්‍රක්‍ෂකයන් අමතක කරලා ජාත්‍යන්තර උළෙලවලට චිත‍්‍රපට හදන බව දෙවරක් හිතන්න වෙනවා. මම හුඟක් වෙලාවට චිත‍්‍රපටයක් අවසන් වුණහම හිතන්නේ එය ලංකාවේ පේ‍්‍රක්‍ෂකයන්ට පෙන්වා ගන්න මිසක් පිටරට විවිධ උළෙලවල් නියෝජනය කරන්නේ කොහොමද කියලා නෙමෙයි. මම හිතන්නේ ඊළඟට කරන චිත‍්‍රපටය ගැනයි.

මට අවශ්‍ය කරන්නේ අවුරුදු තුන හතරකට එක චිත‍්‍රපටයක් කරන්න නෙමෙයි. මට මේ ක්‍ෂේත‍්‍රයේ කි‍්‍රයාකාරී කෙනෙකු ලෙස රැඳීම අවශ්‍යයයි. එහෙම කියලා මම ඒ ලැබෙන සම්මාන අවතක්සේරුවට ලක් කරන්නේ නැහැ. අපේ සිනමාකරුවන් එවැනි ජාත්‍යන්තර උළෙලන් නියෝජනය කිරීමෙන් ලබන සම්මාන අපගේ සිනමා කර්මාන්තයට ලොකු ශක්තියක්.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා