‘පිය සෙනෙහසක’ අගය කියන ‘සිව්පත් රෑන’

‘පිය සෙනෙහසක’ අගය කියන ‘සිව්පත් රෑන’

අධ්‍යක්ෂණය ප‍්‍රවීණ නිළි ශ‍්‍රියානි අමරසේනගෙන්

ප‍්‍රවීණ සම්මානනීය නිළි සහ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරියක වන ශ‍්‍රියානි අමරසේනගේ නවතම ටෙලි නිර්මාණය ‘සිව් පත් රෑන’ ජුලි මස අගදී විකාශයට වීමට නියමිත ටෙලි නාට්‍යයකි. පියකු සිත ඇති වන දාරක පෙ‍්‍ර්මයේ උත්තරීතරභාවය පාදක කර ගනිමින් නිර්මාණය වූ ‘සිව්පත් රෑන’ කොටස් 32 කින් යුත් ටෙලි වෘත්තාන්තයකි.

විවිධ අනුභූතීන් ඇසුරින් ටෙලි නාට්‍ය නිර්මාණය කළ ශ‍්‍රියානි අමරසේනද පිය සෙනෙහස පාදක කර ගනිමින් තැනූ ප‍්‍රථම ටෙලි නාට්‍ය වන්නේ ද ‘සිව් පත් රෑන’ ටෙලිනාට්‍යයයි.

මව, පියා, දුව, පුතා කේන්ද්‍රීයව ගලා ගෙන යන මෙම ටෙලි නාට්‍යයෙන් නොගැලපීම් නිසා පවුලේ සිදුවන ගැටලු ආරවුල් නිසාවෙන් අතරමං වන දරුවන් සහ පියෙකු මුහුණ දෙන තත්ත්වය අධ්‍යක්ෂවරිය නෙතට කඳුලක් නැගෙන ලෙස අපූරුවට නිර්මාණය කොට ඇත.

මව් සෙනෙහස ගැන කොතෙකුත් විදහා පාමින් ටෙලි නාට්‍ය නිර්මාණය වුවද පිය සෙනෙහසේ ප‍්‍රබලත්වය අගය සහ වටිනාකම කේන්ද්‍රීය නිර්මාණයන් ඇත්තේ ඉතාම අතළොස්සක් බැවින් සිව්පත් රෑන පෙ‍්‍ර්ක්ෂකයන්ට ද ආකර්ශණීය සංවේදී නිර්මාණයක් වන බව නොඅනුමානයි.

ක්ලිටස් මෙන්ඩිස්, පබෝධා සංදීපනි, ධනංජය සිරිවර්ධන, මංජුල මොරගහ, ගීතා කාන්ති ජයකොඩි, රෙබෙකා නිර්මලී, ජානකී විජේරත්න, උදේනි චන්ද්‍රසිරි, අයි. ඩී. අනුර, නිලුකා රේඛානි, නිහාල් ගමගේ, සමන්ති ලැනරෝල්, මාදිනි මල්වත්ත, අජිත් වීරසිංහ, රාජසිංහ ලෝලුවාගොඩ, ධම්මික අලුත්ගෙදර, ලලිත් රාජපක්ෂ ඇතුළුව රැසක් රඟන මෙහි ගරු රඟපෑමකින් ප‍්‍රවීණ සම්මානනීය රංගධර සතිස්චන්ද්‍ර එදිරිසිංහ දායක වෙයි.

තිලක් කුඩාහෙට්ටි පිටපත් රචනය කළ ‘සිව්පත් රෑන’ හි කැමරා අධ්‍යක්ෂණය සංජීව කුමාරගෙනි. යු. කේ. මහින්ද කලා අධ්‍යක්ෂණයෙන් ද ක්ලිටස් මෙන්ඩිස් සටන් උපදේශක ලෙසින්ද චමින්ද හේවාවසම් සමග සුසන්ත හේමචන්ද්‍ර සහය අධ්‍යක්ෂණයෙන් ද ප‍්‍රියංක තිලක් රත්නායක සමග සුපිපි දොඩම්ගොඩ අංග රචනයෙන් ද එක් වන මෙහි නිෂ්පාදන කලමනාකරණය වසන්ත ද අල්විස් ගෙනි.

කුලවංශ අරියරත්නගේ හැඟුම්බර පද මාලාව සමන්ත පෙරේරාගේ හඩින් ගැයෙනුයේ දිනේෂ් සුබසිංහගේ සංගීතයට ය. ‘ඩෙන්මාර්ක්’ හි වෙසෙන අයි. ඩී. අනුර ගේ කතා සංකල්පයක් අනුව ඔහු විසින්ම නිෂ්පාදනය කළ ‘සිව්පත් රෑන’ ප‍්‍රවීණ නිළි ශ‍්‍රියානි අමරසේන ගේ අධ්‍යක්ෂණයකි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා