නිර්මාණකරුවෝ සිය දෑත් රැකගන්න වසර විසිදෙකකින් ටජ්මහල ඉදිකරති

නිර්මාණකරුවෝ සිය දෑත් රැකගන්න
වසර විසිදෙකකින් ටජ්මහල ඉදිකරති

ජ්මහල පේනතෙක්මානයේ සිටම මැවෙන්නේ විෂ්මය ජනක දසුනකි. ටජ්මහලය කියන්නේ සොහොනකි. ඒ සොහොන කෝටි ගණන් වැය කොට සාජාහන් රජු නිර්මාණය කළේ තම ආදර වන්තියගේත් තමාගේ හා මෑණියන්ගේ මළසිරුරු තැන්පත් කර තැබීමටය.

මෙම නිර්මාණය වසර විසි දෙකකින් නිර්මාණය කරන්නට හැකි වන සේ සාජහන් අධිරාජයා අපූරු තීරණයක් ගත්තේය. ඔහු නිර්මාණකරු කැදෙව්වේය.

“මේ වැඩේ අවසන් කරන්න අවුරුදු විසි දෙකක් දෙනවා. හැබැයි ඒ කාලය තුළ වෙනත් කිසිම වැඩක් භාර ගන්න බෑ. දිවා, රෑ වැඩකරන්න ඕනෑ. හැබැයි වෙනත් වැඩක් භාරගෙන ගියොත් අත් දෙක කපනවා” සාජහන්ගේ නියෝගය විය. නියෝගය අකුරට කි‍්‍රයාත්මක විය. අවුරුදු විසි දෙකෙන් බාස්ලා විසිදෙදාහක් අතින් නිමැවූ ඒ මාලිගය ගැන විස්තර දැන් කියවමු.

අපූරු තීරණය

ටජ් මහලය මෝගල් ගෘහනිර්මාණ ශිල්පයේ විශිෂ්ටතම නිර්මාණය ලෙස සැලකේ. මේ නිර්මාණය ඉන්දීය, පර්සියානු සහ ඉස්ලාමීය ගෘහ නිර්මාණ ශිල්පයේ සංකලනයක ප‍්‍රතිඵලයකි.

1983 දී ටජ්මහලය යුනෙස්කෝව ලෝක උරුමයක් වශයෙන් ප‍්‍රකාශයට පත් කෙරුන අතර එය “ඉන්දියාවේ මුස්ලිම් කලාශිල්පයේ මානික්‍ය සහ ජාත්‍යන්තර ආකර්ශනයට ලක්වූ විශිෂ්ටතම ලෝක උරුමයක්” වශයෙන් නම්කරන ලදී. ටජ්මහලේ සුදු මාබල් බාහිර නිර්මාණයේ සුප‍්‍රකට අංගය වුවද, එය ඇත්ත වශයෙන්ම ඒකාබද්ධවූ නිර්මාණ සංකීර්ණයකි.

ටජ්මහලයේ ඉදිකිරීම් 1632 දී පමණ ආරම්භවී 1653 දී එය සදා නිමකරන ලදී. මෙය නිර්මාණය කරන ලද්දේ කලා ශිල්පීන් සහ සෙසු ශිල්පීන් දහස් ගණනක සහභාගිත්වයෙනි. ටජ් මහලය ඉදිකිරීමේ කටයුතු ගෘහනිර්මාණ ශිල්පී මණ්ඩලයකට පවරන ලදී. එකී කටයුතු අධීක්ෂණය කළේ, අබ්දුල් කරීම් ම’මුර් ඛාන්, මක‍්‍රමට් ඛාන් සහ පර්සියානු ජාතික උස්ටඩ් අහ්මඩ් ලහව්රිය. ලහව්රි ටජ් මහලේ ප‍්‍රධාන සැළසුම්කරු ලෙස සැලකේ.

තම තුන්වන භාර්යාව වූ මුම්ටාස් මහල්, සිය 14 වන දරුවා ප‍්‍රසූත කිරීමේදී 1631 දී මියයාම නිසා, එවකට මෝගල් අධිරාජ්‍යයාවූ ෂාජහාන් ඉම්හන් ශෝකයට පත් වූයේ ය. මුම්ටාස් මහල් සිය මරණ මංචකයේදී, මෙතෙක් ලොව නුදුටුවීරූ ඉතාම අලංකාර ස්මාරකයක් තමන්ගේ නමින් ඉදිකරන ලෙස සාජහාන් රජුගෙන් ඉල්ලා සිටියාය.

තම දේවියගේ අවසන් ඉල්ලීමට ගෞරව කරමින් සාජහාන් රජු ඇය ගේ මරණයෙන් වසරකින් අනතුරුව ටජ් මහල තැනීම ආරම්භ කළේ ය. ශෝකයෙන් මුසපත්වූ සාජහාන්ගේ ආදර කථාව ටජ් මහලයේ මූර්තිමත්කර ඇත. මෙම ස්මාරකයේ මූලික නිර්මාණ කටයුතු 1648 දී නිමකරන ලදී. අවට ඇති පරිවාර ගොඩනැඟිලි සහ උද්‍යානය නිමකිරීමට තව අවුරුදු පහක් ගතවිය.

සාජහාන් අධිරාජ්‍යයා ටජ් මහලය විස්තර කර ඇත්තේ “ටජ් මහලයේ පර්සියානු සම්ප‍්‍රදායික ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ සහ පැරැණි මෝගල් ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ අන්තර්ගතය. මේ නිර්මාණය කෙරේ නිශ්චිත වශයෙන් බලපෑවේ ටිමුරිඩ් සහ මෝගල් නිර්මාණ ශිල්පයයි. මෝගල් රාජ්‍ය පරම්පරාවේ සමාරම්භකයාවූ සමාකාන්ඩ්හි ටිමුර් අධිරාජ්‍යයාගේ සොහොන (ගුර් - ඊ - අමීර්) හසුමයුන් සොහොන් කොත ඉට්මඩ් - උඩ් – ඩැලාගේ සොහොන් කොත (කුඩා ටජ්මහලය වශයෙන් හැඳින්වෙන) සහ දිල්ලියේ ඇති සා ජහාන්ගේ ජමා මුස්ජිඩ් සොහොන් කොත යන නිර්මාණයන් මුල්ම මෝගල් ගොඩනැඟිලි ඉදිකරන ලද්දේ රතු - වැලිගල් වලිනි. බාල මැණික් එබ්බවූ මාබල් භාවිතය හඳුන්වා දුන්නේ සාජහාන්ය. ඔහුගේ අනුග‍්‍රහයෙන් තැනවූ ගොඩනැගිලි ඉතා සූක්ෂම ලෙස නිමකළ ඒවා විය.

සොහොන් කොත

ටජ්මහල් සංකීර්ණයේ මූලික අවධානය යොමු කොට ඇත්තේ සොහොන් කොතටයි. මේ සුවිශාල මාබල් නිර්මාණය සතරැස් පීඨයක් මත ඉදිකර තිබේ. ඊට ඇතුල්වන දොර ආරුක්කුවක හැඩයට තනා තිබේ. එය මත විශාල කේතුවක් නිර්මාණයකර තිබේ. බොහෝ මෝගල් සොහොන් කොත්වල මෙන් මෙහිද දකින්නට ඇත්තේ පර්සියානු සම්භවයකින් යුත් මූලික ලක්ෂණයි.

පාදම නිර්මාණය විශාලවූවකි. එහි කොත් බහු කුටීර ලෙස නිර්මාණයකර ඇත. මීටර 55 ක් දිග පැති හතරකින් මූලික නිර්මාණය සමන්විතය. මේ සෑම පැත්තක ආරුක්කු ස්වරූපත් දොරවල් සහ සඳලුතල තනා තිබේ. ගොඩනැඟිල්ලේ සෑම පැත්තක්ම ඒකාකාර ලෙස නිමකර තිබේ. සොහොන් කොතවටා මිනරේට් හතරක් ඇත.

ප‍්‍රධාන කුටීරයෙ මුම්ටාස් මහල්ගේ සහ සා ජහාන්ගේ සොහොන්කොත්වල ව්‍යාජ ප‍්‍රතිරූප නිර්මාණය කර ඇත. සැබෑ සොහොන් කොත් ඇත්තේ ඊට පහළ මට්ටමකයි.

සොහොන් කොත වටා මාබල් වලින් තැනූ නිර්මාණය ඉතාම ආකර්ශනීය වේ. එහි උස මීටර 35 පමණය. මෙය පාදමෙහි දිගට සමානය. මෙය මීටර 7ක් පමණ උස සිලින්ඩරාකාර කොටසක් මත නිර්මාණය කර තිබේ. මෙහි හැඩය අනුව, “ශ්වාවා කේතුව“ ලෙස හැඳින්වේ.

ඉහළ කෙළවර නෙළුම් මල් හැඩය ආකාරයට අලංකාර ලෙස නිමකර තිබේ. මෙමගින් එහි උස වඩාත් කැපී පෙනේ. “තිඩක්ස්” ලෙස හඳුන්වන තවත් කුඩා කේතු හතරක් ද මේ අවට නිර්මාණය කර තිබේ. කේතුවේ ආකෘතියටම මේවා තනා තිබේ. සොහොන් කොතේ වහළය තුළින් ආලෝකය පතිතවන ආකාරයට මේවා තනා තිබේ.

පාදම බිත්තිවල කොන්වල සිට විසිතුරු ලෙස අලංකාර කළ කොටස් කිහිපයක් ද දක්නට ලැබේ. මේවායේ ඉහළ කෙළවරද නෙළුම් මලින් අලංකාර කර තිබේ. මේවා නිර්මාණය කර ඇත්තේ පර්සියන් සහ හින්දු ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ සංකලනය කිරීමෙනි.

උඩින් පිහිටි කොත මුලින්ම නිර්මාණය කර තිබුණේ රත‍්‍රන් වලිනි. 19 වන ශතවර්ශයේ මුල් භාගයේ දී ඒ වෙනුවට ලෝකඩ ආලේපිත ආකෘතියක් යොදා ඇත. මෙහි සම්ප‍්‍රදායික පර්සියානු සහ හින්දු කැටයම් ශිල්ප ක‍්‍රමවල පැහැදිලි සංකලනයක් දක්නට ලැබේ.

මුදුනේ හැඩය සාම්ප‍්‍රදායානුකූල හින්දු සිව සංකේතය සිහිපත් කරවයි. මීටර 40කට වැඩි උසින් යුත් කුළුණු ඉස්ලාමිකයන්ට යාඥාවට කැඳවීම සඳහා උපයෝගී කරගන්නා උපාංග සංකේතවත් කරයි.

හින්දු කැටයම්

මේ එක් එක් මිනරේට් කුලුන සඳුලු තල දෙකකින් සමාන කොටස් තුනකට බෙදා තිබේ. කුළුණේ මුදුනේම ප‍්‍රධාන සඳලුතලය පිහිටා තිබේ. මේවායේ සවිකොට ඇති චාට්රි නමින් හැඳින්වෙන කොටස් වලින් සොහොන් කොතේ ප‍්‍රතිබිම්බය දැකගත හැකිය. මේවාද නෙළුම් මල් මෝස්තරයකින් අලංකරණය කර තිබේ.

යම් අවස්ථාවක මේවා කඩා වැටුණහොත් සොහොන් කොතට හානි නොවන ආකාරයට තනා තිබීම විශේෂත්වයකි. ටජ් මහලයේ තනා නිමවු වහාම, ඔරන්සෙබ් නම් සාජහාන් ගේ පුත‍්‍රයා රජකමින් පහකරන ලදී.

ඔහු අග‍්‍රා බළකොටුව අසල නිවාස අඩස්සියේ තිබ්බේ ය. සා ජහාන් ගේ මරණින් පසු තම බිරිය මුම්ටාස් මහල් ගේ සොහොන් කොත ආසන්නයේම ඔහු භූමදානය කරනු ලැබීය.

19 වැනි ශත වර්ෂයේ අගභාගය වනවිට මේ ගොඩනැගිල්ලේ කොටස් කඩා වැටෙන්නට පටන් ගත්තේය. 1857 දී සිදුවූ ඉන්දීය කැරැල්ලේ දී බි‍්‍රතාන්‍ය සොල්දාදුවන් සහ රජයේ නිලධාරීන් විසින් ටජ් මහලය විරූපී කරන ලදී. නියන් වලින් හාරා ගොඩනැගිල්ලේ බිත්තිවලට විශාල ලෙස හානි සිදුකරන ලදී.

විරූපි ටජ්මහලය

19 වන ශත වර්ෂයේ අගභාගයේ දී බි‍්‍රතාන්‍ය ජාතික කර්සන් සාමි විසින් මෙම ව්‍යාපෘතිය ප‍්‍රතිසංස්කරණය කිරීමට විශාල ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී. එහි කටයුතු 1908 දී නිම විය.

කෛරෝවේ මුස්ලිම් පල්ලියක දක්නට ඇති විශාල පහනක් ද අභ්‍යන්තර කුටීරයේ සවිකරවීමට ඔහු කටයුතු කළේ ය. අද ද දක්නට ලැබෙන ආකාරයට බි‍්‍රතාන්‍ය විලාසයට අවට පරිසරය නිර්මාණය කරන ලද්දේ ද මේ කාලයේ දීය.

1942 දී ජර්මනියෙන් හෝ ජපානයෙන් ප‍්‍රහාරයක් එල්ල වෙතැයි යන සැකයෙන් මේවටා පලංචි බඳීන ලදී. ඉන් පසුව 1965 සහ 1971 ඉන්දු පාකිස්තාන් යුද්ධ සමයේ දීත් ප‍්‍රහාරක යුද ගුවන් යානා මංමුලා කිරීම සඳහා, නැවත වරක් ටජ් මහල වටා පලංචි බඳීන ලදී.

ටජ් මහලයේ ආරක්ෂාව

යමුනා ගඟ ආශ‍්‍රිත පරිසර දූෂණය සහ වතුර තෙල් පිරිපහදුව නිසා ඇතිවන ආම්ලික වැසි නිසාත් වර්තමානයේ දී ටජ් මහලට තර්ජන එල්ල වී ඇත. ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මීට විරෝධය දක්වමින් නියෝග පනවා තිබේ.

පරිසර දූෂණය නිසා ටජ් මහලය කහ පැහැ ගැන්වෙමින් තිබේ. මේ නිසා ටජ් මහල වටාවූ වර්ග කී. මී 10,400 ක ප‍්‍රදේශයක් පුරා වායු විමෝචනය තහනම් කිරීමේ ප‍්‍රබල කි‍්‍රයාමාර්ග ගැනීමේ අරමුණු ඇතිව ටජ් ට‍්‍රැපීසියම් කලාපයක් ඉන්දිය රජය විසින් පිහිටුවා තිබේ.

ටජ් මහලය බැලීම සඳහා වසරකට සංචාරකයන් මිලියන 2- 4 ක් පැමිණෙන බව වාර්තා වේ. මොවුන් අතුරින් 200,000 පමණ විදෙශික සංචාරකයන්ය. සංචාරකයන් වැඩියෙන් පැමිණෙන්නේ ඔක්තෝම්බර් , නොවැම්බර් , පෙබරවාරි මාස වලය. ස්මාරකය අසලට වාහන වලින් පැමිණීම තහනම්ය.

ඔවුන්ගේ පහසුව සඳහා විදුලියෙන් කි‍්‍රයාකරන බස් රථ යොදවා ඇත. එසේ නැතහොත් පයින් යා හැකිය. කබාස්පුර , නව සංචාරක මධ්‍යස්ථානයක් වශයෙන් දියුණු කරගෙන යනු ලැබේ.

සංචාරක ආකර්ෂණය

සිකුරාදා දිනයන්හි හැර සතියේ දිනවල පෙ. ව. 6 සිට ප. ව 7.00 දක්වා සංචාරකයන්ට ටජ් මහල දැක බලාගැනීමට පැමිණිය හැකිය. සිකුරාදා දහවල් 12 සිට ප. ව. 2.00 දක්වා යාච්ඥා පැවැත්වේ. පසළොස්වක දිනට ටජ් මහලය රාති‍්‍රයේ නැරඹීමට ඉඩකඩ සලසා තිබේ. ඊට පෙර සහ පසුදින දෙකෙදීත් රාති‍්‍රයේ දී නැරඹීමට අවසර තිබේ. සිකුරාදා දිනයන් සහ වෙසක් කාලයේ දී රාතී‍්‍රයේ නැරඹීමට ඉඩ ලබා දෙන්නේ නැත.

(තව කොටසක් හෙට පත‍්‍රයේ)

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා