ජැක්සන් උපන් බිම ඉන්ඩියානාවේ ගැරී නගරයේදී පවුලේ ඥාතීන් අනුස්මරණ දේව මෙහෙයක

ජැක්සන් උපන් බිම ඉන්ඩියානාවේ ගැරී නගරයේදී
පවුලේ ඥාතීන් අනුස්මරණ දේව මෙහෙයක

මරණය පිළිබඳ විමර්ශන කඩිනම් කරන පියවර

මයිකල් ජැක්සන් දේහය මිහිදන් කෙරෙන ස්ථානය පිළිබඳ අබිරහස තවත් තීව‍්‍ර කැරෙමින් ඔහුගේ උපන් බිම වන ඉන්ඩියානා ප‍්‍රාන්තයේ “ගැරී” නගරයේදී ඊයේ පවුලේ ඥාතීන්ගේ සහභාගිත්වයෙන් අනුස්මරණ දේව මෙහෙයක් පැවැත්වෙන බව ප‍්‍රකාශ වී තිබිණි.

මේ අතර ඔහුගේ මරණය පිළිබඳ විමර්ශන කටයුතු කඩිනම් කෙරෙමින් පරීක්ෂකයන් අදාළ වෛද්‍යවාර්තා කැඳවමින් පෙරේදා සිතාසි නිකුත් කැර තිබිණි.

මේ අනුව පැවැත්වෙන මරණ පරීක්ෂණයේ කොටසක් ලෙස, අදාළ විකිරණ විද්‍යාත්මක හා මනෝචිකිත්සක වාර්තා ඇත්නම් ඒවා ඉදිරිපත් කරන ලෙස මරණ පරීක්ෂකයන් දන්වා ඇත.

මේ අතර පසුගිය වසර ගණනාව තිස්සේ ඔහු හමුවූ වෛද්‍යවරුන් විසින් නියම කරන ලද. ඖෂධ පිළිබඳ වාර්තාවක් විමර්ශනය කෙරෙමින් පවතින බව ලොස් ඇන්ජලිස් පොලිස් ප‍්‍රධානී බිල් බ‍්‍රැටන් කියා තිබේ.

ඔහු සීඑන්එන් පුවත් සේවය හමුවේ ප‍්‍රකාශ කැර ඇත්තේ අප සොයායන්නේ මිනීමැරුමක් ගැනැද? නැත්නම් වෙනයමක් ගැනද යන්න පැහැදිළි නැති බවය.

කෙසේ වෙතත් ජැක්සන්ගේ නිවහනේ තිබී හමුවූ “ඩිප්රිවන්” නම් ප‍්‍රබල වේදනානාශකය භාවිතා කළේද යන්න පිළිබඳ පරීක්ෂණ දැන් කෙළවරකට පැමිණ ඇත.

මෙය සැත්කම්වලට භාජනයවන රෝගීන්ට නිර්වින්දන වේදියකුගේ උපදෙස් මත ලබා දෙන්නක් වන අතර ජැක්සන් අතීතයේදී එය භාවිතා කළ බව තමා දන්නේ යැයි ඔහුගේ දිකුකාලීන චර්ම වෛද්‍යවරයා වු ආනෝල්ඩ් ක්ලෙයින් පවසා තිබේ.

ජර්මන් සංචාරයකදී ඔහු එම ඖෂධය භාවිතා කළ අතර නින්දයාම සඳහා නිර්වින්දන වේදියකු ගේ උපදෙස් මත එය ගන්නා බව කීවේ යැයිද එහිදී ඔහු වියරුවෙන් කටයුතු කරන බවට තමා දොස් කීවේ යැයිද ආනෝල්ඩ් පැවසීය. ඒ සමගම තමා ජැක්සන්ට කිසිවිටෙකත් එම ඖෂධය නියම නොකළ බවද ඔහු කීවේය.

ජැක්සන් මියයාමට තෙදිනකට පෙර ඔහුට ප‍්‍රතිකාර කළ බව පවසන ආනෝල්ඩ් ඔහුට ප‍්‍රබල වේදනා නාශක නියම කළ වෛද්‍යවරුන්ට එරෙහිව චෝදනා ගොනුකළ යුතු බව පැවැසීය.

මේ සියල්ල මැද ජැක්සන්ගේ උපන් බිම වන ගැරි නගරයේ නගාරාධිපතිවරයා ජැක්සන්ගේ පියා ඇතුළු ඥාතීන්ගේ සහභාගිත්වයෙන් ඊයේ අනුස්මරණ දේව මෙහෙයක් පවත්වන බව ප‍්‍රකාශ කැර තිබිණි.

මේ අනුව ඔහුගේ දේහය තවමත් මිහිදන් කොට නැති බවට සැකසංකා මතුව තිබේ. ලෝස් ඇන්ජලිස් ටයිම්ස් පුවත්පත පවසා ඇත්තේ සිරුර තවමත් ආරක්ෂිතව තබාගෙන ඇති අතර මිහිදන් කිරීමේ වේලාවක් හෝ තැනක් තවම නියම කැරගෙන නැති බවය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා