කියවීමෙන් දැනුම ලබන තැනැත්තා මුදලින් පිරිපුන් කෙනෙක් වගෙයි

කියවීමෙන් දැනුම ලබන තැනැත්තා මුදලින් පිරිපුන් කෙනෙක් වගෙයි

- ඇමැති ෆීලික්ස් පෙරේරා

කියවීම සම්පූර්ණ මිනිසෙකු තනන බවත්, කියවීමෙන් හැම දෙනෙකුටම යමක් ඉතිරි වන්නේ මුදල් ළඟ තිබෙන පුද්ගලයකු හා සමාන ලෙස බවත් ධීවර හා ජලජ සම්පත් ඇමැති පීලික්ස් පෙරේරා මහතා පැවැසීය. ඒ මහතා එසේ පැවැසුවේ ජාඇළ ප‍්‍රාදේශීය සභාව මගින් කුඩහකපොළ ජයසුමනාරාම පුරාණ විහාරස්ථානයේ ආරම්භ කළ මහජන පුස්තකාලය විවෘත කිරීමේ උත්සවයකට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීවේය. විවිධ සභාවලට යන අපටත් කියවීම අවශ්‍යය යි. පන්සල්වල පුස්තකාලවල හොඳ හික්මීමක් විනයක් තියෙනවා.

මගේ දේශපාලනයට අතදුන් මේ විහාරස්ථානයට මම කවදත් ගරු කරනවා. අද විහාරාධිපති වී සිටින පොඩි හාමුදුරුවො උන්වහන්සේ ගේ ලොකු හාමුදුරුවන්ගේ පසු පස ගොස් නව ගොඩනැගිලි හදල විහාරස්ථානය දියුණු කර තිබෙනවා.

ජා-ඇළ ප‍්‍රාදේශීය සභාව මගින් කුඩහකපොළ ජයසුමනාරාම පුරාණ විහාරස්ථානයේ ලක්ෂ 30 ක් පමණ වැයකොට නව පුස්තකාලය ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පීලික්ස් පෙරේරා මහතා විවෘත කිරීමෙන් අනතුරුව පාසල් ශිෂ්‍යයකුට ඇමැති පොතක් පිරිනැමූ අවස්ථාව. ප‍්‍රාදේශීය සභාවේ සභාපති ලලිත් නිශාන්ත අබේවික‍්‍රම මහතා ද මෙහි සිටී. ඡායාරූපය – ජා-ඇළ සමූහ ඩබ්ලිව්. විල්ප‍්‍රඩ් සිල්වා

පැරැණි ධර්මශාලා ගොඩනැගිල්ල ගැනත් පුස්තකාලය ගැනත් ජාඇළ ප‍්‍රාදේශීය සභාවේ සභාපති නිශාන්ත අබේවික‍්‍රම මහතා මේ කටයුතු ගැන කිව්වාම මම දේශපාලන අධිකාරිය දැනුවත් කර ප‍්‍රතිපාදන ලැබෙන්නට සැලැස්සුවා.

උදම්මිට ඥානීස්සරතිස්ස හිමි - මේ විහාරය අපේ ප‍්‍රදේශයේ පැරැණි විහාරයක්.

අපවත්වූ විහාරාධිපති ඥානාවාස තිස්ස හිමියන් සහ පීලික්ස් පෙරේරා ඇමැති අතර තිබුණෙ ලොකු සම්බන්ධයක්. ඇමැතිවරයා උන්වහන්සේගේ අනුශාසනා අවවාද ඇතිවයි කටයුතු කෙළේ.

අද ඇමැති අතින් විවෘත කළ මේ පුස්තකාලය අපේ නායක හිමියන් අනුස්මරණය කළ සේවාවක් වශයෙන් හැඳින්විය හැකියි.

ජා-ඇළ ප‍්‍රාදේශීය සභාවේ සභාපති වශයෙන් ගමේ හොඳ කෙනෙක් පත්කර තිබෙනවා. සභාපති දායක සභාවත් සමඟ සම්බන්ධවී ධර්මශාලාවක් පුස්තකාලයක් ගොඩ නගන්න හැම උත්සාහයක්ම ගත්ත.

ඒ මහතා ගම වෙනුවෙන් කරන සේවාව ද අගේ කරන අතර ලස්සන පන්සලේ හොඳ පුස්තකාලය විනය ගරුකව ආරක්ෂා කර දෙනවා මෙන්ම කිසිදු භේදයක් නැතිව පරිහරණය කරන්නට අවකාශ සලසා දෙනවා.

දෙහියාගාත මීසම් පාලක ටෙරන්ස් බොධියාබදුගේ පියතුමා - පොත – පත කියවනවට වඩා දරුවො උනන්දුවෙලා තිබෙන්නේ රූපවාහිනිය බලන්නයි. පොත – පත කියවන දරුවො සොයන්න වෙලා තියෙන්නේ කළුනික සොයනවා වාගෙයි.

රාතී‍්‍ර 6.30 – 7 වනවිට ගෙදර රූපවාහිනිය දාල එක එක චැනල් මාරු කර කර නෙයියාඩගම් බලනව. දරුවො පොත්පත් කියවන්නෙ නැහැ. බිරියට සැමියා සමඟ කතාකරන්නවත් දරුවන්ට අම්ම තාත්ත සමග කතාකරන්නවත් බැහැ. රාති‍්‍ර 10.30 වනතුරුත් මේක තමයි බොහෝ ගෙවල්වල දක්නට ලැබෙන්නේ.

ජා-ඇළ ප‍්‍රාදේශීය සභාවේ සභාපති දේශබන්දු ලලිත් නිශාන්ත අබේවික‍්‍රම මහතා - ජා-ඇළ ප‍්‍රාදේශීය සභාව අප බාරගන්නා විට මුළු වත්කම තිබුනෙ රු. 4000 යි. ඇමැතිට මේ ගැන කිව්වාම අභියෝගය බාරගන්න මට කිව්ව. ඇමැතිතුමාගෙ ප‍්‍රතිපාදන යටතේ අපි ටිකෙන් ටික ඉදිරියට ඇවිත් අද ශක්තිමත් අඩියක ඉන්නව.

ජා-ඇළ ප‍්‍රාදේශීය සභාවේ තිබූ පුස්තකාල හතම කඩා වැටිල පාලු අම්බලම් වගෙයි තිබුණේ. මේ වන විට ඒවාට පණ දීල පුස්තකාල සාමාජිකත්වය 8000 ඉක්මවල තියෙනවා.

බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර නිහාල් ජයවර්ධන, ජා-ඇළ ප‍්‍රාදේශීය සභාවේ ලේකම් සුනිල් පෙ‍්‍ර්මදාස යන මහත්වරු ද මෙහිදී කතා කළහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා