මවුපියන් දරුවන්ගේ ළමා කාලය උදුරාගෙන යන්ත‍්‍ර සූත‍්‍ර බවට පත් කරලා

මවුපියන් දරුවන්ගේ ළමා කාලය උදුරාගෙන යන්ත‍්‍ර සූත‍්‍ර බවට පත් කරලා

- ඇමැති ජීවන් කුමාරතුංග

දරුවන්ගේ ජීවිතවල සුන්දරත්වය විනාශ කර ඔවුන්ගේ අනාගතය අන්ධකාරයට ඇද දමා තිබුණු කොටි සාපය අවසන් කළ සේනාධිනායක ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අපේ දරු පරපුරේ මුරදේවතාවා යැයි ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමැති ජීවන් කුමාරතුංග මහතා පැවැසීය.

ඇමැතිවරයා එසේ පැවැසුවේ මහරගම යොවුන් රඟහලේ පැවැති කොට්ටාව ආනන්ද මහ විදුහලේ වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවයේ දීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද පැවැසීය.

අද ලෝකයම පිරී ඇත්තේ තරඟවලිනි. සමහර මවුපියන් දරුවන් ගේ ළමා කාලය උදුරාගෙන ඔවුන් යන්ත‍්‍ර සූත‍්‍ර බවට පත්කර තිබෙනවා. අද බොහෝ දරුවන්ට කෙළිපිටිය තහනම්. නැටුම, ගැයුම, වැයුම තහනම්. පැය 24 ම ටියුෂන් පන්තිවලට යන්න වෙලා. අද සමාජය අසංවේදී ආත්මාර්ථකාමීන් පිරි සමාජයක් බවට පත්වෙලා.

දක්‍ෂතම චිත‍්‍ර ශිල්පියාට හිමි ත්‍යාගය අටවැනි ශ්‍රේණියේ සහන් දිවිශ්ක ජීවන් කුමාරතුංග මහතා අතින් ලබාගත් අවස්ථාව. විදුහල්පති නන්දන සිල්වා මහතා ද මෙහි සිටී.
ඡායාරූපය – මහරගම විශේෂ - වේහැල්ලේ පියතිලක

වසර තිහක් ජාතිය – රට අඳුරු කළ ජීවිත දහස් ගානක් රටට අහිමි කළ කෝටි ප‍්‍රකෝටි මුල්‍ය විනාශයක් ඇති කළ ම්ලේච්ඡ කොටි විනාශ කර තිබෙනවා.

උගත්, නැණවත්, පරිත්‍යාගශීලී දේශපෙ‍්‍ර්මී දරු පරපුරක් දායාද කිරීම අද පාසලේ කාර්යභාරය වී තිබෙනවා.

දරුවා උගතෙක් කිරීම ප‍්‍රමාණවත් නොවේ. ඔහු නිර්මාණශීලි අයෙක්ද විය යුතුයි.

පළාත් සමුපකාර, ග‍්‍රාම සංවර්ධන සංස්කෘතික හා කලා කටයුතු පිළිබඳ ඇමැති උපාලි කොඩිකාර මහතා,

ජනපි‍්‍රය පාසල් පමණක් නොව සෑම පාසලක්ම එක සමාන තත්ත්වයට ගෙන ඒමට මහ ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතාගේ වැඩපිළිවෙළක් තියෙනවා.

සුපිරි පාසලට පොල්කටු හැන්දෙන් බෙදා දුප්පත් පාසල්වලට කන් හැන්දෙන් බෙදීම නැවැත්වීම මෙවර පළාත් සභාවේ අරමුණයි.

දරුවන්ගේ කලා හා සෞන්දර්ය හැකියාවන් පෝෂණය කිරීම සඳහා පාසල් අතර වාර්ෂිකව කලා උලෙළක් පැවැත්වීමට සැලසුමක් තියෙනවා.

වෛද්‍යවරයා, ඉංජිනේරුවා, පාලකයා, ගණකාධිකාරීවරයා සෞන්දර්ය වාදියෙක් වූ විට ඔහුගේ රාජකාරිය වඩාත් පලදායී ලෙස ඉටු කළ හැකියි.

පළාත් පරිසර ඇමැති උදය ගම්මන්පිල, ශී‍්‍ර ජයවර්ධනපුර කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂිකා පී. ඩබ්ලිව්. ඩබ්ලිව්. සී. අල්ගම, පළාත්සභා මන්තී‍්‍ර තිලංග සුමතිපාල යන මහත්වරු අදහස් දැක්වූහ.

විදුහල්පති නන්දන සිල්වා මහතා පිළිගැනීමේ කතාව කළ අතර විදුහලේ 2008 ප‍්‍රගති වාර්තාව ද ඉදිරිපත් කළේ ය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා