සිංහල-මුස්ලිම් එකාමෙන් හිනැහෙන හබුරුගල තුන්දූව

සිංහල-මුස්ලිම් එකාමෙන් හිනැහෙන හබුරුගල තුන්දූව

සිංහල රාජ සමයෙන් පසුව පෘතුගීසි ලංදේසි හා ඉංග්‍රීසි ආදී ආධිරාජ්‍යවාදී පාලනයන්ට යටත්ව වසර සියගණනක්ම ශ්‍රී ලංකාව පැවැතිණි. 1948 දී අප රටට නාම මාත්‍රයෙන් නිදහස ලැබීමෙන් පසුව වසර හැට එකක් තුළ අපේම යැයි කියන ජනාධිපතිවරුන් හයදෙනෙක් හා අගමැතිවරුන් දහතුන් දෙනෙකුගේ පමණ පාලන කාලයක් ශ්‍රී ලංකාවේ පැවැතින.

ජනතා අයිතියට පැවරීමට කටයුතු සූදානම් කොට ඇති තුන්දූව ජල යෝජනා ක්‍රමයේ ජල ටැංකිය. ජල ව්‍යාපෘතිය සඳහා රු. 5300000ක් වැය කොට තිබේ.

මෙම පාලකයන්ගෙන් නිතරම කියැවුනේ රට සංවර්ධනය කරා ගෙන යන වගය. එහෙත් රට සංවර්ධනය කළ හැක්කේ ගම සංවර්ධනය කළහොත් පමණක් යැයි සිතා කටයුතු කළේ වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පමණකි. එතුමාගේ මහින්ද චින්තන ප්‍රතිපත්ති මාලාවට ඇතුළත් ජාතික සවිය ගමනැගුම - මගනැගුම යටතේ ලංකාවේ ඈත ප්‍රදේශයන්හි පිහිටි හද්දා පිටිසර ගම්මානයන්ට අද නවෝදයේ හිරු උදාවෙමින් පවතී. අද මේ කථා කරන්නට බලාපොරොත්තු වන්නේ මහින්ද චින්තන වැඩපිළිවෙළින් ඉතිහාස ගත සංවර්ධනයක් සිදුවී ඇති ගම්මානයක් පිළිබඳවය.

බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැඩිපුරම මුස්ලිම් ජනතාවක් ජීවත්වන සිංහල ජනතාව සමඟ සතුටින් - සමාදානයෙන් - සමගියෙන් හා එකට දුක සැප බෙදා ගන්නා ගම්මානයක් හබුරුගල තුන්දූව යයි හැදින්විය හැක. එමෙන්ම මහින්ද චින්තනය යටතේ ලක්ෂ හාරසියයක් පමණ මුදලක් වැයකරමින් ජලය මාර්ග පහසුකම් හා කෘෂිකර්ම සංවර්ධනයක් ලබාදී ඇති එකම ගම්මානයත් තුන්දූවයයි සටහන් කළහොත් නිවැරැදිය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ එඩිතර නායකත්වය ජාතිය ගොඩනැගීමේ හා වතු යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අමාත්‍ය ගුණරත්න වීරකෝන් මහතාගේ මගපෙන්වීමත් – ප්‍රතිපාදන ලබා දීම හා සොයා බැලීමත් - ශ්‍රී. ල.නි.ප. බෙන්තර – ඇල්පිටිය සංවිධායක නොඑල් පද්මසිරි කාරියවසම් බෙන්තොට ප්‍රාදේශීය සභාපති ඇම්. කේ. ජැක්සන් - ප්‍රාදේශීය ලේකම් කේ.කේ.ගුණපාල මහත්වරුන්ගේ සහයෝගයත් හා ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඇල්.ඩබ්. රත්නපාල මහතාගේ අධිෂ්ඨානශීලි නොපසුබස්නා උත්සාහයත් නිසා ඉතිහාසයේ යෝධ සංවර්ධනයක් සිදුවී ඇතැයි තුන්දූව ජනතාව කෘතඥතා පූර්වකව ප්‍රකාශ කරති.

තුන්දූව ජනතාවට සිහිනයක් වී තිබූ පාණීය ජල ප්‍රශ්නයට විසඳුම් ලබාදී ඇත්තේ අමාත්‍ය ගුණරත්න වීරකෝන් මහතා දී තිබූ ජනපොරොනුවක් ඉටුකරමිනි. සුවහස් දියවර වැඩසටහන යටතේ තුන්දූවේ පදිංචි සිංහල - මුස්ලිම් පවුල් තුන්සියයක පමණ ජනතාවගේ සාපිපාසාව සංසිඳුවීමේ ප්‍රජා ජල ව්‍යාපෘතිය සඳහා අමාත්‍ය ගුණරත්න වීරකෝන් මහතා රුපියල් 20,00000 ද - ජල සම්පාදන අමාත්‍ය මහින්ද අමරවීර මහතා රුපිි. 3300000 ද මේ සඳහා ලබාදී තිබේ.

ග්‍රාමනිලධාරී - සමෘද්ධි සංවර්ධන නිලධාරී – කෘෂිකර්ම සහ පවුල් සෞඛ්‍ය සේවිකා ආදි නිලධාරීන්ගේ සේවය එකම වහලක් යටදී ලබාදීම සඳහා ගමට ඇතුළුවන තැනම ජනසභා ගොඩනැගිල්ලක් ඉදිකොට තිබේ. ජාතික සවිය ගමනැගුම යටතේ ඊට රුපියල් 2300000ක් වැයකොට ඇත.

බෙන්තොට ගඟ සහ මහා වෙල්යාය, අළුත්ගම හබුරුගල හරහා ඌරගහ ප්‍රධාන මාර්ගයට මායිම්ව පිහිටි තුන්දූව ගමමැදින් හබුරුගල ඌරගහ මාර්ගයට සම්බන්ධ වන සේ තුන්දූව - තොටකනත්ත ප්‍රධාන මාර්ගය පිහිටා තිබේ. මෙම මාර්ගය ආරම්භ කළ පසු කිසිම විටෙක කිසිම පාලනයක් යටතේ තුන්දූව - තොටකනත්ත පාරේ සම්පූර්ණ සංවර්ධනයක් සිදුවී නැත.

ගතවූ වසර හැත්තෑපහක පමණ කාලයක් තුළ පැලැස්තර දැමීමට අමතරව සංවර්ධනයක් නොවුණ බව වැඩිහිටියෝ පවසති. දිනපතා මගී බස් රථ 06 එහා මෙහා ගමන් කරණ තැන්දූව තොටකනත්ත මාර්ගය රුපි 26785464 ක මුදලකින් සම්පූර්ණ අළුත්වැඩියාවක් කිරීම සඳහා දකුණු පළාත් මහාමාර්ග අමාත්‍ය යූ.ජී.ඩී. ආරියතිලක මහතා මුදල් ලබාදී තිබේ. මේ වනවිට එහි වැඩ අරඹා ඇත.

තුන්දූවේ ජේ.ඩී. ධර්මසේන විද්‍යාලයේ දූ දරුවන්ගේ නැටුම් පුහුණුව සඳහා ගොඩනැගිල්ලක් ඉදිකර ඇති අතර විද්‍යාලයීය ක්‍රීඩාංගණයද සකස් කොට ඇත. ඒ සඳහා රුපි 10,00000ක් අමාත්‍යවීරකෝන් මහතා ලබාදී ඇති අතර ස්මායිල් මාවත කොන්ක්‍රීට් කිරීම සඳහා ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතා රුපි 10,00000ක් ලබාදී තිබේ.

තුන්දූව ගමමැදින් වැවී ඇති තුන්දූව - තොටකනත්ත මාර්ගය
මුළුමනින්ම සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භකොට ඇත.

මීට අමතරව ජාතික සවිය – මගනැගුම වැඩසටහන යටතේ කොටකනත්ත - ප්‍රගති මාවත (රු. 1350000) බේරතුඩුව පාර (රු. 780000) වියංදූව - කටුවත්ත පාර (රු. 1000000) ජන ශක්ති මාවත (රු. 1000000) අබ්දුල්බාරි මාවත (රු. 2,800000) සංවර්ධනය කොට ඇති අතර සමාජසේවා සමාජ සුබසාධන අමාත්‍ය ලයනල් ප්‍රේමසිරි මහතාගේ නිර්දේශය මත ලයනල් ප්‍රේමසිරි පදනම මගින් තුන්දූව මුස්ලිම් විද්‍යාලයේ හා ධර්මසේන විද්‍යාලයේ තෝරාගත් සිසුන් 200කට පාවහන් ලබාදීම හා තුන්දූව - වියංදූව - තොටකනත්ත පෙර පාසල් තුනේ දූ දරුවන්ට උපකරණ කට්ටල - පොත් බෑග් ලබාදී ඇත.

බෙන්තොට ගඟට සමාන්තරව පිහිටි තුන්දූව වෙල්යාය වසර තිස්පහක් පමණ පුරන්ව පැවැතින. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීම යටතේ ක්‍රියාත්මක කෙරුන වගා වැඩසටහනට සමගාමීව තුන්දූවේ වෙල්යායේ පුරන්කුඹුරු අක්කර 35 ක් නැවත සංවර්ධනය කර තිබේ.

ගම් 14000 ක් නගාසිටුවීමේ මහිනැඩිත්තන වැඩසටහන යටතේ තුන්දූව එකමුතු ගොවි සංවිධානය හා එක්ව සිදුකළ මෙම ව්‍යාපෘතිය සඳහා රුපි. 600000ක් වැයකොට තිබේ.

මහින්ද චින්තන වැඩ පිළිවෙළ යටතේ තුන්දූව ප්‍රදේශයේ සිදුවී ඇති සංවර්ධනය පිළිබඳව අදහස් දක්වන තුන්දූව සුධර්මාධාර පිරුවනේ ආචාර්ය පූජ්‍ය කලල් ඇල්ලේ ගුණසිරි හිමියෝ......තුන්දූව මිශ්‍ර ගම්මානයක්. සිංහල හා මුස්ලිම් ජනතාව මෙහි ජීවත්වනවා. දෙපාර්ශ්වය අතර සමගිය – ඔවුනොවුන් අතර හිතවත් කම තියනවා.

මෙහි ජීවත්වන්නේ දුප්පත් ජනතාවක්. මේ නිසාදෝ මෙතෙක් ගමේ දියුණුවක් සිදුවී නැහැ. මා දන්නා කාලයේ පටන්ම මේ පාර අබලන්. නමුත් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති පදවියට පත්වීමෙන් පසුව තුන්දූවේ සෑහෙන සංවර්ධනයක් සිදුවී තියනවා.

ප්‍රධාන පාර හදන්න පටන් අරගෙන - තවත් පාරවල් කීපයක්ම හදලා, ජල ප්‍රශ්නය විසඳී තිබෙනවා. මහින්ද චින්තනය යටතේ මෙවැනි සංවර්ධනයක් සිදුවුණේ ගුණරත්න වීරකෝන් ඇමැතිතුමාගෙත් රත්නපාල ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමාගේත් (ක්‍රියාකාරිත්වය නිසයි.

ඇම්.ටී. හසයිරා මහත්මිය

මගේ ජීවිත කාලයේ මම දුටු ප්‍රධාන ප්‍රශ්න තමයි පාණීය ජල ප්‍රශ්නය හා තුන්දූව තොට කනත්ත පාර හදා ගැනීම. ඒවා අපි දැකපු හීන. ඒ හීන දැන් ඇත්ත වෙලා. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති නොවන්න, ගුණරත්න වීරකෝන් මහතා ජාතිය ගොඩ නැගීමේ ඇමැති නොවන්න අපේ රත්නපාල මහතා උනන්දු නොවන්න මේ හීන හැබෑ වන්නෙ නෑ.

නියෝජ්‍ය විදුහල්පති ඇම්. ඇස්.ඇම්. ඉමිටියාස් මහතා

මහින්ද චින්තනය නිසා තුන්දූවේ ඇතිවී තිබෙන සංවර්ධනය අතිවිශාලයි. ඒකට හේතුව තමයි නායකත්වය. ජනාධිපති තුමා රටට නායකත්වය දෙනවිට ගුණරත්න වීරකෝන් මහතා සංවර්ධනය සඳහා පළාතට නායකත්වය දෙනවා. අපේ රත්නපාල ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමා අපේ ප්‍රදේශයට නායකත්වය දෙනවා. ඒ නිසයි මේ සංවර්ධනය.

ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඇල්.ඩබ්.රත්නපාල මහතා

රටේ එක පැත්තක කුරිරු ත්‍රස්තවාදී යුද්ධයක් පවතිද්දී ලක්ෂ හාරසිය ගණනක් වැයකර තුන්දූව ප්‍රදේශයට මේසා විශාල සංවර්ධනයක් සිදු කිරීමට හැකිවීම ගැන මම පුදුම වෙනවා. තුන්දූවේ මෙවැනි සංවර්ධනයක් සිදුවී ඇත්නම් – රටේ අනිත් ප්‍රශ්නවල සිදුවී ඇති සංවර්ධනය හිතාගන්න පුළුවනි.

මේ තරම් සංවර්ධනයක් කරන්න තුන්දූව ජනතාව වාසනාවන්ත උනේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වීම නිසයි. මේ සංවර්ධන ව්‍යාපෘති නිකං ලැබුනෙ නැහැ. බන්දේසියක තියලා දුන්නෙ නැහැ. ජනතාවගේ හඬ මා අදාළ තැන්වලට යොමුකළා.

මගේ කැපවීම නිසාත් - අමාත්‍ය ගුණරත්න වීරකෝන් - හිටපු නියෝජ්‍ය අමාත්‍ය නොයල් කාරියවසම් පළාත් සභා අමාත්‍ය යූ.ජී.ඩී.ආරියතිලක – ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් සිල්වා - ලයනල් ප්‍රේමසිරි ඇමැතිතුමා මේ සංවර්ධන කටයුතුවල පසුපස ඉන්නවා. ප්‍රාදේශීය සභාපති ජැක්සන් මහතා - උප සභාපති සරත් ආනන්ද මහතා ඇතුළු මන්ත්‍රීවරු හා ප්‍රාදේශීය ලේකම් කේ. කේ.ගුණපාල මහතාද මේ කටයුතු වලදී සහාය වූවා.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා