උතුරේත් දකුණේත් භීෂණයට තිත තැබූ මහින්ද

උතුරේත් දකුණේත් භීෂණයට තිත තැබූ මහින්ද

1988 වසරේ එක්තරා දිනයක මධ්‍යම රාත්‍රියේදී මවුපිය යුවළක් හැඬූ කඳුළින් මරලතෝනි තියාගෙන දිවආවේ තංගල්ලේ පිහිටි මහින්ද රාජපක්‍ෂ තරුණ දේශපාලඥයාගේ කාල්ටන් නිවෙසටය.

“බුදු මහින්ද මහත්තයෝ, ඉස්කෝලෙ උසස් පෙළ පන්තියේ හිටපු අපේ කොල්ලො දෙන්නා පැහැරගෙන ගිහිල්ලා බුදු මහත්තයෝ මේ දුක කියන්න ඔබතුමා ඇරෙන්න වෙන කෙනෙක් අපට නැහැ.” මවුපියන්ගේ කෑගැසීමට දොර විවෘත කළ මහින්ද රාජපක්‍ෂ මහතා ඔවුන් අස්වන්නට නොගත් උත්සාහයක් නැත.

තංගල්ල මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යයන් දෙදෙනකු රාත්‍රී කාලයේ පාඩම් කිරීමට අසල්වැසි යහළුවකුගේ නිවෙසට යමින් සිටි අවස්ථාවේදී ජීප් රියකින් පැමිණි පිරිසක් සිසුන් දෙදෙනාට පහරදී ජීප් රථයේ බලහත්කාරයෙන් දමාගෙන විදුලි වේගයෙන් ධාවනය කෙළේ හුංගම දෙසටය. මේ සිද්ධිය ආරංචි වූ විගස පාසල් සිසුන්ගේ මවුපියන් මහ රෑම දිව ආවේ මහින්ද රාජපක්‍ෂ මහතා මුණගැසී තම කන්නලව් ඉදිරිපත් කිරීමටය.

ඒ වන විටත් දකුණේ පැවති භීෂණය ගැන අමුතුවෙන් කිවයුතු නොවේ. ජනතා විමුක්ති පෙරමුණ සහ දේශපේ‍්‍රමී ජනතා ව්‍යාපාරය ආරම්භ කර තිබුණු සන්නද්ධ අරගලය මර්දනය කිරීමට එවකට පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවද අනුගමනය කෙළේ දැඩි මර්දනකාරී පිළිවෙතකි.

එම නිසා මෙම දෙපාර්ශ්වයේම ක්‍රියාදාමයන්ගෙන් දැඩි ලෙස අසරණවී පීඩාවට පත්වීමට සිදුවූයේ අහිංසක ජනතාවටය. දකුණේ එම අසරණවූ ජනතාව වෙනුවෙන් එවකට පෙනී සිටියේ එකම එක දේශපාලනඥයෙකි. ඒ වෙන කවුරුත් නොවේ, එවකට තරුණ ක්‍රියාකාරී දේශපාලනඥයකු වශයෙන් සිටි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාය.

මහ රෑ තියා මහ දවාලකවත් දොරක් තබා ජනේලයක් විවෘත කිරීමටවත් දැඩි බියක් දැක්වූ ඒ කාලයේදි මහින්ද රාජපක්ෂ මහතා මහ රෑ දොර විවෘත කෙළේ භීෂණයෙන් හෙම්බත්වූ අසරණ ජනතාවගේ දුක් අෙඳීනාවලට හැකි උපරිම ආකාරයෙන් විසැඳුම් ලබාදීමටය.

ආණ්ඩු පක්ෂයේත් විරුද්ධ පක්ෂයේත් බොහෝ දේශපාලනඥයන් කොළඹ හතේ බංගලාවල සීත කාමරවලටවී ආරක්ෂකයන් වටකරගෙන සිටියදී ගමෙන් පැමිණි, ගමේ ජනතාවගේ දහඩිය සුවඳ දුක හඳුනන දේශපාලනඥයා සිටියේ තංගල්ලේ කාල්ටන් නිවෙසේය. එසේ නැත්නම් මැදමූලන මහගෙදරය.

එවැනි භීෂණකාරී වාතාවරණයක් දකුණු පළාතේ ඇතුළු රටේ බොහෝ ප්‍රදේශවල ව්‍යාප්තවී තිබුණු අතර දේශපේ‍්‍රමී ජනතා ව්‍යාපාරයේ සාමාජිකයන්ද ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ ගෝලබාලයන්ද විවිධ නම්වලින් පෙනී සිටින ආයුධ සන්නද්ධ කණ්ඩායම් ඇතුළු මෙම පාර්ශවයන්ගේ තුවක්කු මුළු සමාජයම භීතියට පත්කර තිබිණි.

මේ සියලු පාර්ශවයන්ගේ භීෂණයන්ට ගොදුරුවන අහිංසක ජනතාව වෙනුවෙන් පෙනී සිටි එකම ජනතා නියෝජිතයා මහින්ද රාජපක්‍ෂ මහතා බව අමුතුවෙන් කිව යුතු නොවේ. අසාධාරණයට අයුක්තියට, භීෂණයට එරෙහිව නොබියව පෙනී සිටීමේ හැකියාව මහින්ද රාජපක්‍ෂ මහතා සතුවීම ඊට හේතුවයි.

තංගල්ල මහා විද්‍යාලයේ සිසුන් දෙදෙනකුට පහරදී ජීප් රථයකින් පැහැරගෙන ගිය පුවත අසා මහින්ද රාජපක්‍ෂ මහතා බෙහෙවින් කලබලයට පත්විය. ඒ කාලයේ පැහැරගත් කෙනෙකුට ලෙහෙසියෙන් පණ බේරාගැනීමට නොහැකිවීම මෙම කලබලයට හේතුවිය.

ගතවන සෑම තත්පරයකින්ම පාසල් සිසුන් දෙදෙනාගේ ඉරණම විසඳීමට ඉඩ ඇති නිසා මහින්ද රාජපක්‍ෂ මහතා තමා දන්නා කියන පොලිසියේත් ආරක්‍ෂක අංශවලත් සියලු දෙනාට දුරකථනයෙන් කථා කෙළේ පැහැරගෙන ගිය පාසල් සිසුන් දෙදෙනාගේ යම් හෝඩුවාවක් දැනගැනීමටය.

නමුත් කිසිම තොරතුරක් දැනගැනීමට නොහැකි විය. මවුපියන්ගේ කෑමොරදීම් ද එන්න එන්නම වැඩිවෙන්නට ද විය. තමන් ඉදිරියේ හඬා වැටෙන මවුපියන්ගේ වේදනාව තවත් ඉවසාගැනීමට මහින්ද රාජපක්‍ෂ මහතාට නොහැකි වූ අතර ඔහුගේ රතු කට්ටද පැන තිබිණි.

මහින්ද රාජපක්‍ෂ මහතා දුරකථනය ගෙන අංකය කැරකැවීය. ඒ අංකය ඉතා සුවිශේෂී විය. මධ්‍යම රාත්‍රී 12.00 ට මෙම දුරකථන අංකයට ඇමතුමක් ලබාගැනීමද ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. දුරකථන ඇමතුම ලබාගත්තේ එවකට රටේ සිටි ප්‍රධානතම පුද්ගලයාටය. ඔහු වෙන කවරෙකුවත් නොවේ. එවකට විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාය.

 ජේ. ආර් ජයවර්ධන

“තමුන්නාන්සේ මේ මහ රෑ ඇහැ ඇරගෙන මොනවද කොරන්නේ” යනුවෙන් ජේ. ආර්. ජයවර්ධන මහතා මදක් ගැඹුරු හඬින් විමසුවේය.

“මගේ ගමේ තංගල්ල මහා විද්‍යාලයේ ළමයි දෙන්නෙක් පහරදීලා පැහැරගෙන ගිහිල්ලා තියෙනවා. මේවා කවුද කරන්නේ කියලයි දැනගන්න ඕනෑ. මේ ළමයි දෙන්න බේරලා දෙන්න” යනුවෙන් මහින්ද රාජපක්‍ෂ මහතා ඉල්ලා සිටියේය.

“තමුන්නාන්සේට ආරංචි විදියට මේක කරලා තියෙන්නේ කවුද?” යනුවෙන් ජේ. ආර්. ජයවර්ධන මහතා පෙරළා ප්‍රශ්නයක් ඇසීය.

“එස්. ටී. එෆ්. එකෙන් කළා කියලා තමයි ආරංචිය” යනුවෙන් මහින්ද රාජපක්‍ෂ මහතා පෙරළා පිළිතුරු ලබාදුන්නේය.

“තමුන්නාන්සේට තව ටිකකින් රවී ජයවර්ධන කථාකරයි” යනුවෙන් පැවසූ ජේ. ආර්. ජයවර්ධන මහතා දුරකථනය තැබුවේය.

ජේ. ආර්. ජයවර්ධන මහතාගේ පුත් රවී ජයවර්ධන මහතා විශේෂ කාර්ය බළකාය (එස්. ටී. එෆ්) නිර්මාණය කිරීමට මූලිකවූ නිසා එස්. ටී. එෆ්. ගැන හොඳින්ම දන්නා රවී ජයවර්ධන මහතාට එම කාර්යය පැවරීමට ජේ. ආර්. ජයවර්ධන මහතා තීරණය කර තිබුණි.

ජේ. ආර්. ජයවර්ධන මහතා පැවසූ පරිදි රවී ජයවර්ධන මහතා මධ්‍යම රාත්‍රිය පසුවී ස්වල්ප වේලාවකින් තංගල්ලේ කාල්ටන් නිවසට දුරකථනයෙන් කථා කෙළේය.

රවී ජයවර්ධන

“තාත්තා මට සිද්ධිය කිව්වා. ඒ නිසා මං සම්පූර්ණ සොයා බැලීමක් කළා. ඒත් විශේෂ කාර්ය බළකාය ඔය කියන ආකාරයේ ඉස්කෝලෙ ළමයි දෙන්නෙක් පැහැරගෙන ගිහිල්ලා නැහැ. හෙට උදේ 6.00 වෙන්න කලින් කරුණාරත්න එයි, ඔබතුමා මුණගැහෙන්න යනුවෙන් රවී ජයවර්ධන මහතා දීර්ඝ විස්තරයක් කළේය.

රවී ජයවර්ධන මහතා පොරොන්දු වූ පරිදි උදේ 6.00 ටත් කලින් මහින්ද රාජපක්‍ෂ මහතා හමුවීමට තංගල්ලේ පිහිටි කාල්ටන් නිවසට පැමිණියේ විශේෂ කාර්ය බළකායේ එවකට ප්‍රධානී කරුණාරත්න මහතාය.

“දකුණු පළාතේ තියෙන හැම විශේෂ කාර්ය බළකා කඳවුරකම හොඳට හොයලා බැලුවා. එහෙම පැහැරගැනීමක් විශේෂ කාර්ය බළකාය කරලා නැහැ කියලා මට ඉතා වගකීමෙන් කියන්න පුළුවන්” යනුවෙන් විශේෂ කාර්ය බළකායේ ප්‍රධානියා මහින්ද රාජපක්‍ෂ මහතාට පැවසීය.

විශේෂ කාර්ය බළකාය එවැනි සිද්ධියකට සම්බන්ධ නොවූ බව තහවුරු කර තිබිණි. මේ පාසල් ළමයින් දෙදෙනාට සිදුවූයේ කුමක්ද? මහින්ද රාජපක්‍ෂ මහතා දිගින් දිගටම කල්පනා කරන්නට විය. අලුයම් කාලයේ තවත් පියකු මහින්ද රාජපක්ෂ මහතා සොයාගෙන දිව ආවේ ඔහුගේ පුත්‍රයාද අතුරුදන් වූ පුවත මහින්ද රාජපක්ෂ මහතාට දැනුම්දීම සඳහාය.

“බුදු මහත්තයෝ මං එනකොට දැක්කා කොල්ලො දෙන්නෙක් හුංගම කිවුල පැත්තේ මරාදාලා තියෙනවා. මං ගිහිල්ලා බැලුවා. එතන මගේ කොල්ලා හිටියේ නැහැ. බුදු මහත්තයෝ කොහොමහරි මට මගේ දරුවා බේරලා දෙන්න” යනුවෙන් ඒ අසරණ පියා මහින්ද රාජපක්ෂ මහතාගේ දෑත් අල්ලාගෙන ඉල්ලා සිටියේය.

මෙවන් ගින්දරක් ඉවසන්නේ කෙසේද? මෙම ගැටලුවලට විසඳුම් සෙවීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. නමුත් මේ සියලු ගැටලුවලට විසඳුම් අත්‍යවශ්‍යයි යන මතයේ මහින්ද රාජපක්ෂ මහතා ඉතා දැඩිව සිටියේය.

දකුණේ භීෂණයේ පාසල් සිසුන්ගේ පළමු වැනි බිලිගැනීම ඒ වන විට අළුගෝසුවන් විසින් සිදු කරනු ලැබ තිබිණි.

තංගල්ල මහා විද්‍යාලයේ උසස් පෙළ ඉගෙනෙමින් සිටි ප්‍රසංග වනිගසිංහ හා වසන්ත වීරසිංහ යන ශිෂ්‍යයන් දෙදෙනා දැඩි වධහිංසාවලට ලක්කොට ඉතා අමානුෂික ලෙස ඝාතනය කර තිබිණි.

කිවුල හන්දියෙන් හුංගම පැත්තට වන්නට වෙල්යායක් අසල කාණුවක මුණින් අතට තිබී මෙම සිසුන් දෙදෙනාගේ මළ සිරුරු ප්‍රදේශවාසීන් විසින් සොයාගනු ලැබ තිබුණි. “රාජ්‍ය ද්‍රෝහීන්ට දඬුවම මරණයයි. හම්බන්තොට කොළ කොටි සංවිධානය” යනුවෙන් සඳහන් තුණ්ඩු කැබැල්ලක් එම මළ සිරුරු අසල විය.

නොයෙක් වධහිංසා ලබාදෙමින් තංගල්ල මහා විද්‍යාලයේ සිසුන් දෙදෙනා ඝාතනය කර තිබුණේ ඉතා අමානුෂික ආකාරයටය. ඉන් අනතුරුව ආරම්භ වූ පාසල් සිසුන් අතුරුදන් කිරීම් හා ඝාතනය කිරීමේ දිගින් දිගටම සිදුවිය. ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ පාසල් සිසුන් තිස් එක් දෙනෙකු ඝාතනයද සිදුවූයේ ඉන්පසුවය.

තංගල්ල මහා විද්‍යාලයට අමතරව හුංගම විජයබා, අම්බලන්තොට මල්පෙත්තාව වැනි විද්‍යාලවලද පාසල් සිසුන් සැලකියයුතු සංඛ්‍යාවක් ඝාතනය කෙරිණි. මෙම සියලු ඝාතනවලට එරෙහිව හඬ නැගූ එකම දේශපාලඥයාද මහින්ද රාජපක්ෂ මහතායි. විත්තිකරුවන්ට නිසි දඬුවම් ලැබෙනතුරු මේ සම්බන්ධයෙන් දිවා රෑ නොබලා නීතිඥවරයෙකු, දේශපාලඥයකු ඒ වගේම පියකු ලෙසද මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළේ අහිංසක ජනතාව වෙනුවෙනි.

තරුණ දේශපාලඥයෙකු වශයෙන් මෙවැනි අසාධාරණකම්වලට එරෙහිව අභීතව ක්‍රියාකළ මහින්ද රාජපක්ෂ මහතාට වර්තමානයේදී නීති විරෝධී ක්‍රියා මැඩලීමට ඉදිරිපත්වීම අපහසු දෙයක් නොවේ. දකුණේ භීෂණය හේතුවෙන් මියගිය ප්‍රථම පාසල් සිසුන් දෙදෙනාගේ මරණය සිදුවූ ආකාරය ගැන දීර්ඝ විස්තරයක් ගෙන ආවේ එය ආවර්ජනය කිරීම කාලෝචිත නිසාය.

1988 - 89 භීෂණ කාලය වර්තමානයේ විරුද්ධ පක්ෂයේ බොහෝ දෙනෙකුට අමතක වී ඇත. අද ජනතාව වෙනුවෙන් බවට කෑමොර දෙන එක්සත් ජාතික පක්ෂයත් ජනතා විමුක්ති පෙරමුණේ 1988 - 89 භීෂණ යුගයේදී ක්‍රියාකළ ආකාරය ඔවුන්ට අමතක වුණාට ජනතාවට නම් තවමත් හොඳට මතකය.

අද මානව හිමිකම් වෙනුවෙන් කෑමොර දෙන දේශපාලඥයන් හා ඇතැම් සංවිධාන එදා සිටියේ කොහිද? එදා මහින්ද රාජපක්ෂ භීෂණයට එරෙහිව හඬ නැගුවේ ඒ අහිසංක ජනතාව වෙනුවෙන්ම පමණි. නමුත් අද මානව හිමිකම් ගැන කථාකරන බව පවසමින් ඇතමුන් කොටි සංවිධානය වෙනුවෙන් පෙනී සිටින්නේ ඩොලර් මිටිවලට රහවැටී ඇති නිසා බව අසත්‍යයක් නොවේ.

වර්තමානයේ පොලිස් නිලධාරීන් සුළු පිරිසකගේ නොහොබිනා ක්‍රියාකාරකම් නිසා එය සමස්ත පොලිස් සේවයටම එක්කර ඇත්තේ කළු පැල්ලමකි. එතනින් නොනැවතී එමගින් යම් දේශපාලන වාසියක් ලබාගැනීමටද විරුද්ධ පක්ෂය දැඩි උත්සාහයක් ගන්නා බවක් පෙනේ.

මැතිවරණවලින් එක දිගට අන්ත පරාජයකට පත් වී හතේ හත වැදී කැඳත් නැතුව එක්සත් ජාතික පක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත් කල්පනා කරමින් සිටින්නේ කෙසේ හෝ අලුත් සටන් පාඨයක් අල්ලා ගැනීමටය.

ඔවුන් බොහෝ අමාරුවෙන් මේ වන විට සටන් පාඨ 2ක් සොයාගෙන ඇත. එකක් පොලිසියයි, අනෙක විභාග ප්‍රශ්න පත්‍රයි. මෙවර කතිරය වෙන් කරන්නේ පොලිසිය හා නීතිය වෙනුවෙනි. විභාග ප්‍රශ්න පත්‍ර ගැන පසුවට කථාකරන්නෙමු.

මාලබේ තොරතුරු තාක්ෂණ ආයතනයේ සිසුවාට කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂවරයාගේ අනුදැනුම යටතේ පහරදීම හා අඟුලානේ තරුණයින් දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධි දෙක මුළු රටම දනී. මෙම සිද්ධි දෙක මුල්කරගෙන විරුද්ධ පක්ෂයට අවශ්‍ය වී ඇත්තේ ජනාධිපතිවරයාට හා රජයට චෝදනා කිරීමටය.

තරුණ දේශපාලනඥයකු ලෙස දකුණේ භීෂණයට එරෙහිව අභීතව නැගී සිටි මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව කොටි ත්‍රස්තවාදය මුළුමනින්ම පරාජය කෙළේය.

කොටි ත්‍රස්තවාදීන් මුළුමනින්ම පරාජය කරමින් සියලු දෙනාගේම මානව හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපතිතුමාට මාලබේ හා අඟුලානේ සිද්ධි වසා දැමීමට කිසිදු වුවමනාවක් නොමැති බව විපක්ෂය තේරුම් නොගැනීම කනගාටුවට කරුණකි.

විපක්ෂය එය තේරුම් නොගත්තාට ගැටලුවක් නැත. ඊට හේතුව විපක්ෂයට එය නොතේරුණාට එම සිද්ධිවලට මුහුණ දුන් දරුවන්ගේ මවුපියන්ට හා වැඩිහිටියන්ට එය හොඳින් තේරුම්යාමයි.

මෙම සිද්ධි දෙකම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ නියමයෙන් විශේෂ පරීක්ෂණ පැවැත්වේ. මේ වන විටත් සිද්ධි දෙකට අදාළ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.

“තරුණ ජීවිතයක වටිනාකම මිල කළ නොහැකියි. අහිමි වූ ඒ ජීවිත යළි ලබාගන්න බැහැ. නමුත් පොලිස් ඇඳුමට මුවාවෙල මෙවැනි අපරාධ මින් ඉදිරියට සිදුවෙන්න බැහැ.

මේ සිද්ධිවලට සම්බන්ධ සියලුම දෙනාට නීතිය අනිවාර්යෙන්ම ක්‍රියාකරනවා” යනුවෙන් ජනාධිපතිතුමා පැවසුවේ අඟුලානේදී මියගිය තරුණයන් දෙදෙනාගේ ඥාතීන් අරලියගහ මන්දිරයේදී හමු වූ අවස්ථාවේදීය. මෙවැනි සිද්ධිවලදී මියගිය අයගේ ඥාතීන් මීට පෙර කිසිම අවස්ථාවකදී එවකට හිටපු රාජ්‍ය නායකයන් හමුවූයේ ද නැත.

ත්‍රස්තවාදය මුළුමනින්ම විනාශ කිරීම සඳහා පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ අතිවිශිෂ්ට මෙහෙවරක් කළ බව ජනාධිපතිතුමා ඇතුළු මුළු රටම පිළිගන්නා කාරණයකි.

ඒසේ වුවද යම් ආරක්ෂක නිලධාරියකු හෝ නීතිය කඩකරනවානම් ඊට එරෙහිව ක්‍රියාකිරීමටද පසුබට නොවන බව ජනාධිපතිවරයා පවසයි. ත්‍රස්තවාදයෙන් මුදාගත් රට අලුත් ශ්‍රී ලංකාවක් කරා ගෙනයාමට නම් එය අත්‍යවශ්‍ය වන්නේය. භීෂණ සමයේදී තරුණ දේශපාලඥයෙකු වශයෙන් නැගී සිටි මහින්ද රාජපක්ෂ මහතා සියලු ජනතාවගේ මානව අයිතිවාසිකම් වෙනුවෙන් ත්‍රස්තවාදය ද මුළුමනින්ම විනාශ කෙළේය.

යෝෂිත රාජපක්ෂ

එසේ අභියෝග ජයගත් එකම ජනනායකයා වන මහින්ද රාජපක්ෂ මහතාට නීතිගරුක සමාජයක් බිහිකිරීම අභියෝගයක් නොවේ. ඒ අනුව මතට තිත හා පාතාලයට තිත තැබීම දැනටමත් ආරම්භ කර ඇත.

විපක්ෂය මෙවැනි සිද්ධි අල්ලාගෙන ආණ්ඩු පෙරළීමට සිහින දැකීම විහිළුවට කරුණකි. 1977 මහ මැතිවරණයෙන් පසුව එවකට පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පොලිසියට නිවාඩු දුන්නේය. ප්‍රතිඵල වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන්ට කුඩුවෙන්නට ගසා ඔවුන්ගේ දේපළ විනාශ කිරීමයි.

බොහෝ දේශපාලනඥයන්ගේ පුත්තු පොලිසියට පාට් දාන්නේ කාලයක සිටය. නමුත් ජනාධිපතිතුමාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා තම යහළුවන්ගේ සිද්ධියකදී ක්‍රියාකළ ආකාරය සියලුම දේශපාලනඥයන්ගේ පුතුන්ට ආදර්ශයකි. තමන්ගේ යහළුවන් තියා කවුරු වුණත් නීතිය නියමාකාරයෙන් ක්‍රියාත්මක කිරීමට තමා බැඳී සිටින බව යෝෂිත රාජපක්ෂ මහතා කීවේය.

එක්තරා රාජ්‍ය නායිකාවකගේ කාලය තුළ ජනාධිපති ආරක්ෂක අංශයේ ඇතැමුන් ක්‍රියාකළේ පාතාලයට නොදෙවෙනි ආකාරයටය. වත්මන් ජනාධිපති ආරක්ෂක අංශය ඉතා විනයගරුකව ක්‍රියා කරන බව රහසක් නොවේ.

එම නිසා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අලුත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා අංශ රැසකින් කාර්යභාරයන් ආරම්භ කර ඇත. එම නිසා අවනීතිය කිසිම ආකාරයකින් රජ කරවීමට ජනාධිපතිතුමා ඉඩ දෙන්නේ නැත. එය ජනතාවට හොඳට විශ්වාසය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා