අපේ කාලයේ පටාචාරාවක්

සැකයෙන් ගිනිගත් කුළගෙයක දැවුණු

අපේ කාලයේ පටාචාරාවක්

ඕ, නූස් කුඩා ගැහැනියකි. උල් වූ නිකටැති මුහුණ ද කුඩා ය. නළල පුළුල් ය. සිහින් ඇස්වල වේදනාව ද බියක සලකුණු ද ඇත. ඇගේ මුළු ශරීරයයෙන් ම පළ වූයේ පශ්චාත්තාපයක සලකුණු ය. අපි ඇයට 'කාන්ති' යැයි කියමු.

සිරිලක දකුණේ ගාල්ල දිස්ත්‍රික්කයේ ඈත පිටිසර දුෂ්කර ගම්මානයක ඈ උපත ලැබුවා ය. හොඳින් ඉගෙන ගන්නට රැකියාවක් කරන්නට මෙන් ම යහපත් පවුල් ජීවිතයක් ගත කිරීමේ සිහිනය ද ඈට තිබිණි. එහෙත් නංගිලා තිදෙනෙකුගේ ද බරින් යුතු ඒ පවුලේ එක ම ආදායම් උපයන්නා වූයේ කාන්ති ගේ පියා පමණි.

ඒ බොහෝ විට කුලී වැඩ කිරීමෙනි. ඇතැම් දවසක අම්මා ද කුලී වැඩට ගියා ය. එපමණ ආසාවෙන් පාසල් ගිය ද කාන්තිට යා හැකි වූයේ හයේ පන්තියට පමණි. මුදල් අගහිඟකම් හේතුවෙන් ඈ පාසලට සමු දුන්නේ බොහෝ දුකෙනි.

ඒ වෙනුවට නංගිලා දෙදෙනෙක් සාමාන්‍ය පෙළ හා උසස් පෙළ දක්වා ඉගෙන ගත්හ. 'කාන්ති' ගමේ අනෙක් ගැහැනුන් මෙන් ළපටි වියේ දී ම කුලියට තේ දළු කඩන්නට ගියා ය. ඒ දවසකට රුපියල් 55/- ක මුදලකට ය.

දින සති ගෙවී යද්දී කාන්ති යොවුන් වියට එළැඹුනා ය. දැන් ඇගේ වයස අවුරුදු 17 කි. මේ දිනවල තාත්තා හමුවීමට ගමේ තරුණයෙක් නිතර නිතර කාන්තිලාගේ නිවෙසට යෑම් ඊම් කළේ ය. ඔහු ගුණදාස ය.

ඔහුට හරි හැටි ඉන්න හිටින්න ට තැනක් නොතිබුණි. ඔහුගේ වැඩිමල් සහෝදරයන් දෙදෙනා තුන්සිය හැටපස් දවසේ ම බීමතින් පසු වූ අතර නිතර රන්ඩු සරුවල් කරමින් ගුණදාසට හිරිහැර කළේ ය. ගුණදාස කාන්තිට විවාහ යෝජනාවක් කළේ මේ අතර වාරයේ ය.

“මං කැමැති නැහැ.”

ඕ ගත් කටට ම කීවා ය. ගුණදාස කරබා ගත්තේ ය. නිහඩව නික්ම යන ගුණදාස දෙස ඕ බලා සිටියේ ය. රෑ නින්දට ගිය මොහොතේ ඈට මේ සිද්ධිය යළි සිහිපත් විය.

“පව් ඉන්න හිටින්න තැනක්වත් නෑ. හොයා බලන්න කෙනෙකුත් නෑ. මං එයාට කැමැති වෙනවා.”

ඈ තනිව ම තමාට ම කියා ගත්තා ය. අන්තිමේ දී මාපියන් ගේ ආශිර්වාදය මැද ඔවුහු විවාහ වූහ. ගුණදාස සහෝදරයන් ගේ හවුල් ඉඩමේ ගෙපැළක් තනන්නට සූදානම් විය. එහෙත් සහෝදරයන් ඊට ඉඩ නුදුන්හ.

“උඹලා අපේ වත්තේ පැළක් අටෝ ගනිල්ලා.”

කාන්තිගේ තාත්තා කීවේ ය. එහෙයින් ගුණදාස එහි ගෙපැළක් තැනුවේ ය. වත්තේ දළු කඩා උපයන සොච්චමෙන් රුපියල් සීයක් බැගින් සීට්ටුවකට දුන් කාන්ති ඒ මුදලින් වහලයට උළු ටික මිල දී ගත්තා ය.

සෑම තරුණියකට මෙන් ම තම ගෙපැළට ගෘහ භාණ්ඩ එකතු කිරීමේ සිහිනය ඈට ද විය. එහෙයින් ඕ රුපියල් 50, 100 වැනි මුදල් සීට්ටුවලට දී කැබිනට්ටුවක් ඇඳක් පුටු කට්ටලයක් මිල දී ගත්තා ය.

ගුණදාස ද නොයෙක් කුලී වැඩ කළ හෙයින් එතරම් අග හිඟ නොදැනුණු කුලගෙයි නිවී සැනසිල්ලේ ඉන්නට කාන්ති දහසක් පෙරුම් පිරුවා ය. එහෙත් තම ජීවිතය පාවී යන්නේ මහා කුණාටුවක දෙසට බව ඇය සීනෙනුදු දැන සිටියේ නැත.

මේ කාලයේ කාන්ති කුළුඳුලේ ගැබ්බරව සිටියා ය. ඒ 1998 වසරේ දිනකි. දරුවා ලැබෙන දින ළං වෙමින් තිබිණි. බෙහෙවින් දුෂ්කර ගමක් වූ එහි හදිසියට රෝහලකට යන්න වාහනයක් හෝ ප්‍රවාහන සේවාවක් නොවී ය. එහෙයින් කල් ඇතුව රෝහලට යාමට ඈ සිතා ගත්තා ය.

“මේ ඇහුණ ද ලොකු කෙලීව ඉස්පිරිතාලේ ගෙහුං ඇරලන්නට මොනව හරි කෑම ටිකක් හදාගන්න හාල් ටිකක් දියේ දාපං.”

කාන්තිගේ පියා ඇගේ මවට එසේ කියා දොරකඩ කිතුල දෙසට ගියේ ය. විධානය ලැබූ සැණින් අම්මා හාල් දියේ පෙඟවූවා ය.

අවාසනාව ගෙතුළට එන්නේ පෙර දැනුම් දීමෙන් නොවේ. ජීවිතයේ හැටි එහෙම ය.

කුළුඳුුලේ දරු මුණුපුරකු ගේ මුහුණ දකින්නට පුල පුලා සිටි කාන්තිගේ පියා ඒ මොහොතේ පය ලිස්සා කිතුලෙන් බිමට වැටුණේ යළි කිසිදා ඇස් නොහරින්නට ය. ගෙයි මුදුන් යටලීය බිඳී ගිය පසු ගෙපැළට වෙන දේ ගැන කවර නම් කතා ද? සියලු ව්‍යසනයන් හෙණ ගෙඩි මෙන් ඒ ගෙපැළට පතිත වූයේ පියා ගේ මරණයත් සමගිනි.

තාත්තා ගේ මිනිය ගෙට ගත් මොහොතේ ම කාන්ති විලිරුදාවෙන් පෙළෙන්නට වූවා ය. ඇගේ පුතුගේ මුහුණ දකින්නට සීයා මෙලොව නොවී ය.

එක ම වත්තේ තිබූ කාන්ති ගේ නිවෙසට හා මහගෙදරට පිරිමියා වූයේ ගුණදාස ය. තාත්තා සිටි කාලයේ නිශ්ශබ්දව පාඩුවේ සිටි ගුණදාස මෙතැන් පටන් අමුතු ම මිනිසෙක් වූයේ කාන්තිගේත් අම්මා සහ නැගණියන්ගේත් අනාගත සිහින රුදුරු ලෙස පොඩිපට්ටම් කර දමමිනි.

කුලී වැඩට කම්මැලි කළ ගුණදාස ක්‍රමයෙන් මත් පැනට ඇබ්බැහිවූවා පමණක් නොව ගෙවල් දෙකෙහි ම ගැහැනුන් දෙස සැකයෙන් බලන්නට ද විය. කාන්ති ගේ නැගණියන්ට අමතර පංතිවලට තහනම් වූයේ ය.

“මුං පන්ති යනවා කියලා ගිහින් කවුරු හරි කොල්ලො එක්ක යාළුවෙයි”

තහනමට ගුණදාස දැක්වූ හේතුව එයයි. මේ වන විට කාන්ති ගේ වැඩිමල් නැගණිය විවාහ වී සිටියා ය. ළඟපාත සිටි ඇගේ නිවසට වත් මේ සොයුරියන්ටවත් අම්මාටවත් යාමට ගුණදාසගෙන් ඉඩ නොලැබිණි. දරුවා බලාගෙන නිවසට වී සිටින ලෙසත් කිසි තැනක නොයන ලෙසත් කාන්තිට තරයේ අවවාද කර තිබිණ. එහෙයින් ඈ දළු කැඩුවේ ගේ ළඟ වතු කෑල්ලේ පමණි. කඩේ යතත් තනිව ම නොගියා ය.

ගුණදාසට හොරෙන් තම නැගණියන් පන්තිවලට හෝ වැඩිමහල් සොහොයුරියන් ගේ ගෙදරට යැව්ව ද එදාට කාන්ති ගෙදර සිටින්නේ මහත් බියෙනි. ඔවුන් එසේ ගිය බව ගුණදාස දැනගත් දාට වසලා හමාර ය.

ගම දෙවනත් කරමින් බැණ අඬ ගසන ගුණදාස අතේ පයේ හිරි යනතුරු රිසිසේ කාන්තිට ගුටි බැට දෙයි. එයින් ඈ ගලවා ගැනීමට කිසිවකුට නො හැකි ය. මුලදී අහල පහළ ඥාති සහෝදරයන් මේ රණ්ඩු බේරීමට පැමිණිය ද ගුණදාස ඔවුන්ට බැණ එළවා ගත්තේ ඔවුන් කාන්ති ගේ සොර සැමියන් බව පවසමිනි.

මහලු මවට වත් ඒ අවලාදවලින් ගැලවීමට ඉඩක් නොවීය. කෙතරම් ද යත් ඒ මහලු මව දෙවැනි දියණිගේ සැමියාට පාවා දෙමින් ගුණදාස මුළු ගමටම ඇසෙන සේ බැණ වදියි.

ගමේ කිසිදු පිරිමියෙකු මේ ගෙවල් දෙකින් එකකට වත් ඒමට අවසර නොවුණි. වැරදීමකින් හෝ කාන්ති ගමේ පිරිමියෙක් දෙස බැලුවා යැයි ආරංචියක් ලැබුණ හොත් එදාට කාන්ති ගේ ඇඟ ගෙඩි ගැහෙන තුරු ගැටිකෑමට සිදුවෙයි. කෝපයෙන් වියරු වැටී සිටින ගුණදාස ගේ අතට පිහියක් වැනි ආයුධත් අසවූ දාට නොවැරදී ම කාන්තිගේ සම කපාගෙන ගොස් කිසිදා නොමැකෙන කැළැල් ඇති කරයි.

එවැනි කැළැල් කීපයක් තවමත් ඇගේ සිරුරේ තිබේ. ගුණදාස ගේ මේ සැකයට කිසිදු පදනමක් නොවී ය. එහෙයින් ගම්මු එහි නො ආහ. එයින් තාත්තා ගේ තුන් මාසයේ දානය පවා දෙන්නට කාන්තිට හැකිවුයේ නැත.

විවින් විට නැවතිල්ලේ සිහින් ස්වරයෙන් මේ කතාව මට කියූ කාන්ති මොහොතක් නිහඩව සිටියා ය. ඇගේ දෑස් කෙවෙනි තුළ කඳුළක් නලියයි.

“ඇත්තට ම ඔයාට එහෙම සම්බන්ධකමක් තිබුණේ ම නැද්ද? වෙන කෙනෙක් දිහා බැළුවේ වත්? ගුණදාස නැතුව වෙන කෙනෙක් බැන්දානම් කියලාවත් හිතුණේවත් නැද්ද?” මම ඇසිමි.

“අනේ මට ගුණදාස ඇරෙන්න වෙන මිනිස්සු හිටියේ නෑ. ගුටිකන වෙලාවට නම් මේ මොන කරුමයක් ද කියලා හිතුණා. ඒත් මං වෙන මිනිස්සු ගැන හිතුවේ නැ. සත්තයි.”

“ඉතින් ඉතිරි ටිකත් කියන්න” මම කීමි.

“මේ කාලේ මට දෙවැනි දරුවා ලැබෙන්න හිටියා. එයා හවසට හොඳටම බීලා ඇවිත් සල්ලි ඉල්ලලා රන්ඩු කරනවා. එයා කසිප්පු පෙරුවා. ඉතින් පොලිසියට අහුවුණා ම නඩුවලට යන්න මගෙන් තමයි සල්ලි ඉල්ලන්නේ. මං කොහෙන් දෙන්න ද ඒ තරම් සල්ලි. ඉතින් මට ගහනවා. දරුවෙකුත් බඩේ තියාගෙන මං හැමදාම ගුටි කෑවා නෝනා.”

ඇය හඬයි. උතුම් වූ මවු පදවිය ලබන්නට සිටින ගැහැනියකට ආදරයෙන් සලකනවා විනා නියපිටින් පහරක් ගසන්නට ඉදිරිපත් වන්නේ කවුද? කාන්ති පූර්වයේ කළ පවකින් ඒ කරුමක්කාර ඉරණමට අනේක වාරයක් මුහුණ දුන්නා ය.

ඒ 2002 වසරයි. කාන්ති දෙවැනි දරුවා ලැබීමට ආසන්නව සිටියා ය.

“දරුවා ලැබෙන්න කලින් දවසෙත් මම උදේ ඉඳන් හවස් වෙනකම් ගුටි කෑවා. ඉස්පිරිතාලෙදී මට ගොඩක් අමාරු වුණා. ඒ නිසා සතියක් ම ඉස්පිරිතාලේ ඉන්න වුණා. දරුවා ලැබිලා ගෙදර ගෙනාවමත් රණ්ඩු කළා. ඒ නිසා බයට ම මම ලොකු පුතාව අම්මලගේ ගෙදර නැවැත්තුවා.”

2006 වසරේ සිංහල අලුත් අවුරුද්ද කාන්තිගේ ජීවිතයට කණ කොකා හැඩූ මූසල දවසකි. ගමේ සෙසු ගෙවල්වල මෙන් කැවුම් කිරිබත් කවා සතුටින් දරුවන් තුරුලු කරගන්නා සැමියෙක් කාන්තිට හිටියේ නැහැ. අලුත් අවුරුදුදාත් සිටියේ කොයිවේලේ පහරක් වදිදෝයි සැකයෙනි.

“මට රුපියල් දෙදහක් දීපන්”

හවස් යාමයේ ගෙට ගොඩ වූ ගුණදාස ගෝරානාඩු කළේ ය. ඈ අමාරුවෙන් උපයාගත් රුපියල් දෙදහසක් උදුරා ගත් ඔහු අඳුරේ මිදුලට බැස නොපෙනී ගියේ ය. අතර මගදී යහළුවන් පිරිසක් සමඟ එක් ව අරක්කු බෝතල් දෙකක් මිලට ගෙන බී වේය. අනෙක් බෝතලය ද කිහිල්ලේ ගසා ගත් ගුණදාස වැනි වැනි ගෙදර එන විට රාත්‍රී 9.30 ට පමණ ඇත.

කාන්ති දරුවා තුරුලු කරගෙන සිටියා ය. පෙරදිනක ගුණදාස ගේ පා පහරකින් අගුලකැඩී ගිය දොර වසා තිබුණේ අලවංගුවක් හේත්තු කර තැබීමෙනි. එදත් ඔහු සුපුරුදු පා පහර එල්ලකොට ගෙතුළට ආවේය. ඇදේ නිදා සිටි දරුවා බිමට ඇද දමා කාන්තිට අතින් පයින් පහර දෙන්නට වීය. ඈ මරහඩ දී කෑ ගැසුවා ය. අම්මාත් නංගීත් ඒ හඬ අසා දිවගෙන ආහ.

“මං අද මේකිවත් මරලා තොපිවත් මරනවා”.

ගුණදාස ගුගුරමින් අලවංගුව අමෝරාගෙන ඉදිරියට පැන්නේ ය. ගැහැනුන්ගේ ළතෝනියෙන් ගමේ නිහැඩියාව දෙදරුම් කෑව ද කිසිවකු ආවේ නැත. බිය වූ අම්මාත් නංගීත් ආපසු ගියහ. දරුවා ද මහ හඬින් හඬයි. ඔහු වඩාගත් කාන්ති ගෙයින් එළියට පැන දිව්වා ය. ඇගේ කෙස්වැටියෙන් අල්ලාගත් ඔහු ඈ බිම දමා පාගා පහර දුන්නේ ය.

“අනේ මට ගහන්නෙපා” ඕ දෑත් එක්කොට වැන්දා ය. වෙරිමතින් රුදුරු වූ ඔහුට නෑසිණි. නොපෙනුණි. ඔහු ගේ පමාවකින් නැගිටගත් ඈ දරුවා රැගෙන දුවන්නට වූවා ය. අතට අසු වූ පොරවක් අමෝරා ගත් ඔහු යක්‍ෂාවේශයෙන් ඉදිරියට පැන්නේය. ඒ පිම්ම වැරදිනි. කිසිවක පය ගැටී හෙතෙම බිම ඇද වැටිනි. මර බියෙන් සිටි කාන්ති පොරව අහුලාගෙන ඔහු දෙසට සෙමෙන් පිය මැන්නා ය.

“එන්න එපා මං උඹව මරනවා” බිම වැටී සිටිය ද ඔහු ගුගුලේ ය.

ගුණදාසගේ මරහඩ ඈට නොඇසිනි. හැකිවෙර යොදා පොරව පහත් කළ ඇය සිරුරේ සියලු ශක්තිය සිදෙන තුරු පොරවෙන් කෙටුවාය. ඒ ඔහු ගේ සිරුරට ය. තම මුහුණට විසි වූ ලේ පිටි අත්ලෙන් පිසදාගත් ඇය නිකමට හෝ ඔහු දෙස නොබලා ම දරුවා රැගෙන මවගේ ගෙදරට ගියා ය.

දරුවා එහි තැබූ ඇය සිහිනයෙන් මෙන් ඇවිද ගියා ය. ඒ වන විට අලුයම 4.00 පමණ ඇත. පැය තුනක් තිස්සේ කළුවරේ ම පොලිසියට ඇවිද ගියේ පියවි සිහියක් නැති ගාණටය.

දැන් එළිය වැටී ඇත. අවුල් වූ හිස කෙසින් ඉරුණු ඇඳුමින් ලේ තැවරුණු දෑත් වලින් පොලිසියට ගොඩවූ ඈ කතා කළේ ද සිහිනයෙන් මෙනි.

“මහත්තයෝ මං මගෙ මිනිහට පොරවෙන් කෙටුවා. මරුණ ද දන්නේ නෑ. ගිහින් බලන්න.”

ඈ බොහෝ ශාන්තව කලබලයෙන් තොරව කීවා ය. පොලිස් නිලධාරින් මේ අරුම ගැහැනිය දෙස පුදුමයෙන් බලා සිටින්නට ඇත.

තවත් හෝරාවකට පමණ පසුව පොලිස් නිලධාරින් සමඟ ඈ එතන සිටියා ය. වසර අටක් තලා පෙලා හිරිහැර කළ ගුණදාස ගේ පණසුන් සිරුර දෙස ඈ බැලුවේ ඒ මොහොතේ ය. ඈට පියවි සිහි ලැබුණාක් බඳු ය. ඔහු ගේ සිරුර ළඟ වැටී ඕ ඉකිබිඳිමින් හැඩුවා ය.

“මං අවුරුදු අටක් ගුටි කෑවා. ඒ අන්තිම මොහොතේ එයා මාව මරයි කියලා මට බය හිතුණා. ඒකයි මං එයාට පොරවෙන් ගැහුවේ. ගුටිකාලා ඒ වෙලාවෙත් මගේ ඔළුවේ ලොකු ගෙඩියක් ඇවිත් තිබුණා.

ඇස් නිලංකාර වෙනවා වගේ දැනුණා.”

ඒ මතකය ඈ යළිත් හැඬවූවා ය.

“ඊට පස්සේ මාව ආයි පොලිසියෙන් අරන් ගිහින් ගාල්ලේ බන්ධනාගාරයට දැම්මා. මට ඇප ලැබුණත් ඇප දෙන්න කෙනෙක් නැති වුණා. ඒ නිසා අවුරුදු තුනක් එතැන ඉන්න වුණා. ඇප දෙන්න කෙනෙක් හිටියා නම් මට මගෙ දරුවන් ගේ මූණ බලන්න තිබුණා. දැන් තීන්දුව ඇවිත් තියෙන්නේ. මරණ දඩුවම.”

වැලිකඩ බන්ධනාගාරයේ පවුරු අතරට වී ඈ ගත කරන ජීවිතය මනසින් මැරී මැරී ඉපදීමකි. මේ වන විට බන්ධනාගාරයේ සහයෝගයෙන්ම ඇපෑලක් ඉදිරිපත් කර ඇති හෙයින් කිසියම් ලිහිල් දඬුවමක් අපේක්‍ෂාවෙන් ඈ දෑස් දල්වාගෙන සිටී.

“ඒ තීන්දුවෙනුත් ඔයාට මේ දඬුවම ලැබුණොත්...” මම ඇසීමි දහසක් දේ කියන ඇස්වලින් කඳුළු මිරිකාගෙන සිටියා මිස ඕ නොදෙඩුවා ය.

“ජීවිතේ දිහා ආපසු හැරිලා බලද්දී දැන් ඔයාට මොනවද හිතෙන්නේ?”

“දැන් නම් හිතෙනවා මං මේ දේ නොකළා නම් හොඳයි කියලා. ගුටි කකා හරි හිටියා නම් මට දරුවෝ දෙන්නා හරි බලන්න තිබුණා. අපි එදාවේල හොයා ගත්ත දුප්පත් මිනිස්සු. අපේ අම්මට මෙහේ එන්න දන්නෙත් නෑ.

එන්න සල්ලිත් නෑ. මට දරුවෝ බලන්න ආසයි. ඒත් බලන්න විදිහක් නෑ. ගාල්ලේ බන්ධනාගාරයට ලොකු පුතාව එක්ක ආවා. තාත්තා එයාව මරන්න එයි කියලා ළමයා බයෙන් හිටියේ. මගේ දඩුවම වෙනස් වුණත් තව කොච්චර කල් මේ හිරගෙදර ඉන්න වෙයිද?”

බලාපොරොත්තු කිසිවක් නැති ස්වරයෙන් ඈ ශුන්‍ය හැඟීමෙන් යුතුව පවසයි.

“මම නම් කියන්නේ මට වෙච්ච දේ කාටවත් වෙන්න එපා. එළියේ ඉන්න අයට මම කියන්නේ පිරිමියෙක් එක්ක යාළු වෙනවා නම් හොඳට හොයලා බලන්න. බොන මිනිස්සු නම් බඳින්න එපා. කසාද බඳිනකොට හොඳට හිටියට බැන්දට පස්සේ වෙනස් වෙනවා. මගෙ මනුස්සයගේ බේබදුකමයි බොරු සැකයයි තමා අපිව විනාශ කළේ.”

ඈ කඳුළු සඟවමින් කතාව අවසන් කළේ එසේ ය. ඇය ම කතාව හමාර කළ හෙයින් මට කියන්නට කිසිවක් ඉතිරි නොවිණි.

මෙහි සඳහන් නම් ගම් සියල්ල මනඞකල්පිතය.

වැලිකඩ බන්ධනාගාරයේ සියලු නිලධාරින්ට සහ කාන්තා අංශයේ නිලධාරිනියන්ට විශේෂ ස්තුතිය පිරි නැමේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා