ගොළු නොවුණු හදවත

ගොළු නොවුණු හදවත

අරලිය ගසින් සෙවෙණි වුණු තක්ෂිලාව දකින මා හට, නිතැතින් ම සිහියට නැෙඟන්නේ ‘ගොළු හදවත’ නවකථා ග්‍රන්ථයයි. ධම්මි - සුගත් ආදර අන්දරය බිහි වීමට මඟ සැකසුවේ මේ ස්ථානයයි. එදා මෙදාතුර බාල, මහලු, වැඩිහිටි කවුරුත් කියවා රස විඳි ‘ගොළු හදවත’ නිර්මාණකරුවාණන් අපෙන් සමුගෙන ඊයේ (24) දිනට වසර 15ක් ගතවී ඇත. මේ කෙටි සටහන ඒ නිමිත්තෙනි.

වැලිගම්පිටිය යනු හොරණ පොකුණුවිට ප්‍රදේශයේ පිහිටි සුන්දර ගමකි. මේ ගම් පියස ජන්ම භූමිය කර ගනිමින්, 1928 ජනවාරි 10 වැනි දින ජයලත්ගේ දොන් කරුණාසේන නමැති කුමරකු මෙලොවට බිහි විය. කුඹුකගේ අයිස නෝනා ඔහුගේ මවයි. ජයලත්ගේ දොන් එළියෙස් ඔහුගේ පියා ය. පවුලේ එක ම දරුවා ලෙස ඔහුට මවු පිය නෑ සියන්ගේ ආදරය නොමදව ලැබුණි.

කුඩා කාලයේ සිට ම උනන්දුවෙන් සිය කටයුතු කරගත් මේ දරුවා සිය පුංචි අම්මාගේ අතේ එල්ලී කුඹුක පාසලට ගියේ ය. රෑ එළිවෙන තුරා පන් පැදුරු වියමින් ජීවන අත්වැල ගොඩනැගීමට මෑණියන් වෙර දැරුවා ය. ඇයට පෙර අවදි වී , පාසල කරා යන ජයලත් නමැති සිසු දරුවා, නැවත නිවසට ගොඩවැදී ඉගෙනීම් කටයුතුවල යෙදුණේ ය.

ඔහු 1944 දී කුඹුකෙ පාසලට සමුදී හොරණ තක්ෂිලාවට ඇතුළත් විය. පාසල් සමයේදී දේශපාලන, කලා ඈ නෙක් බාහිර කටයුතුවල නිරත වී ක්‍රියා කිරීමට රුචිකත්වයක් දැක්වී ය. කවියට පෙම් බැන්දේ ය. ‘නංගී’, ‘රූපය’, ‘පෙම් හැඟුම’ වැනි කුඩා කවි පොත් ඔහු අතින් නිර්මාණය වූයේ පාසල් කාලයේදීම ය. ඒ නිසා ම ඔහු පාසලේ ජනපි‍්‍රය සිසුවකු බවට පත් විය.

විවාද තරගවලට ඉදිරිපත් වී චතුර කථිකත්වය ඔප් නංවා ගත්තේ ය. ඔය අතරේදී ම ඔහුගේ සිතේ කොණක ප්‍රේමාන්විත සිතිවිලි දළුලා වැඩෙන්නට විය. එක්තරා වැසි දිනෙක පාසලේදී දුටු රූපා කෙරෙහි බැඳුණු සිත, ඔහුගේ හද සසල කළේ ය. කාලයාගේ අවෑමෙන් සිය ප්‍රේමය ජයගත් ඔහු, ලද අත්දැකීම් පසු කලෙක ‘ගොළු හදවත’ නමැති කුළුඳුල් නවකථාව ඇසුරින් පාඨකයා වෙත තිලිණ කෙළේ ය.

පාසල් සමයේදී සමාජවාදී අදහස් කෙරෙහි ඔහු සිත ඇදී ගියේ ය. වරද දුටු තැන එය පෙන්වා දෙන්නට ඔහු උත්සාහ කළේ මේ නිසාම ය. අවැසි විටෙක ඒ වෙනුවෙන් සටන් කිරීමට ද පසුබට නොවී ය. පාසල් සමයේදී අසාධාරණයට එරෙහි පළමු සටන ක්‍රියාත්මක කෙරිණි. ඒ සිය පන්ති බාර ගුරුතුමියට එරෙහිව අනෙකුත් සිසුන් ද එක් කරගෙන පෙත්සමක් ගැසීමෙනි.

පරම විඥානාර්ථය මගින් පාලනය වූ තක්ෂිලාවට, නිදහස් අධ්‍යාපනය හිමිකර දීමට ද ජයලත් තරුණයා වෙහෙසුණේ ය. අවසානයේ බලාපොරොත්තුව ඉෂ්ට සිද්ධ විය. එය තම ජීවිත කාලයේදී ලැබූ විශිෂ්ට ජයක් ලෙස ඔහු නිරන්තරයෙන්ම සිහිපත් කළේ ය.

අධ්‍යාපන කටයුතුවලට සමු දීමෙන් අනතුරුව ඔහු කොළඹට සේන්දු විය. ඒ ඉංගී‍්‍රසි දැනුම ප්‍රගුණ කිරීම උදෙසා ය. පෙම්බ්‍රොක් ඇකඩමියෙන් එම දැනුම ලබාගත් ජයලත් තරුණයාගේ ඊළඟ වෑයම වූයේ පුවත්පත් කලාවට යොමු වීම ය.

ඒ බලාපොරොත්තුව ද ඉෂ්ට විය. ‘සිංහල ජාතිය’ පුවත්පතේ භාෂා පරිවර්තකයකු ලෙස සේවයට බැඳීමට ඔහුට හැකියාව ලැබිණි. හය මසක් යනතුරු ස්ථීර නොකිරීමේ පදනම සහ රු. 30ක මාසික වැටුපක් ලැබීමට එකඟ වීමෙන් අනතුරුව පුවත්පතේ සේවයට එක් විය.

ඔහු සිංහල ජාතිය පුවත්පතේ වැඩි කාලයක් රැඳී නොසිටියේ ය. ‘සරසවි සඳරැස’ පුවත්පත හා සම්බන්ධ වී කටයුතු කරනු ලැබුවේ ඉන් අනතුරුව ය. එහිදී ඔහුට ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ව හඳුනා ගැනීමට ලැබිණි.

එම හඳුනා ගැනීම ඔහුගේ ලේඛන කලා කටයුතු කෙරෙහි බෙහෙවින් ම බලපෑවේ ය. ‘ලංකාදීප’ කර්‍තෘ මණ්ඩලයට එක්වීමට අවැසි මඟ සැකැසුනේ ද මානවසිංහයන්ගේ මිත්‍රත්වය නිසාවෙනි.

ලංකාදීප පුවත්පතට බඳවා ගැනීම සඳහා ඔහු වෙනුවෙන් පරීක්ෂණ කිහිපයක් පැවැත්වූවත්, ඒ සියල්ලෙන් ම ඔහු අසමත් විය. එහෙත් නොපසුබස්නා උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස 1951 නොවැම්බර් 1 වැනි දින ‘කණිෂ්ඨ වාර්තාකරු’ නමින් නවතම තනතුරක් ඇති කර, ජයලත් තරුණයාව ඒ සඳහා බඳවා ගත්තේ ය. ඒ රු. 75 ක වැටුපක් වෙනුවෙනි.

ලංකාදීප පුවත්පතේ පළවූ ‘ චිත්‍රපට චක්‍රය’ නමැති බදාදා චිත්‍රපට අතිරේකයේ සංස්කාරකවරයා වූයේ ඔහු ය. ඒ මගින් ඔහු පාඨක ජනයා අතර ප්‍රසිද්ධියට පත් විය. ‘චිත්‍රපට චක්‍රවර්ති’ නමින් විචාර ලිපි ලිව්වේ ය.

එවකට තිරගත වූ හින්දි චිත්‍රපට අනුකරණය කරමින් බිහි වූ චිත්‍රපට ඔහුගේ දැඩි විවේචනයට ලක් විය. ‘කරුණා රූප’ , ‘ජයලත්’ යන නම්වලින් පුවත්පත සඳහා විවිධ ලිපි ඉදිරිපත් කෙළේ ය.

කාලයාගේ ඇවෑමෙන් ඔහු පුවත්පත් කලාවෙන් සමු ගත්තේ ය. නිවෙසට වී නව කථා කෘති ලිවීමට උත්සුක විය. ඒ අනුව ඔහු නව කථා 15ක් පමණ රචනා කෙළේ ය. පෙම්බර රූපාගේ ස්නේහය ලබමින් ආදරණීය නව කථාවලට පණ පෙව්වේ ය. ගොළු හදවත නමැති නව කථාව රචනා කරමින් ග්‍රන්ථකරණයේ කළ වෙනස්කම, සමහරුන්ගේ විවේචනයන්ට ලක් විය.

බොළඳ ප්‍රේම කතාකරුවෙක් යැයි විචාරකයන්ගෙන් නිරන්තර අසාධාරණකම්වලට ගොදුරු වීමට ඔහුට සිදු විය. එනමුදු එදා ඔහු රචනා කළ නව කථා අද වනතුරු ද පාඨක ප්‍රසාදයට ලක්ව තිබීම ඔහුගේ ලේඛන කලාව කෙබඳුදැයි යන්න තීරණයට හොඳ ම සාක්ෂියක් වනු ඇත.

ජයලත්ගේ නිර්මාණවලට සිවු වතාවක් රාජ්‍ය සම්මාන හිමි විය. ඒ , ගොළු හදවත, ගැහැනු ළමයි, යහළු යෙහෙළි, රිදී නිම්නය යන කෘති සඳහා ය. ඔහුගේ කෘති අතරින් කිහිපයක් සිනමාවේ ද සිත්තම් විය. ඒ, ගොළු හදවත, බඹා කෙටූ හැටි, යහළු යෙහෙළි සහ රිදී නිම්නය යන ඒවා ය.

‘සාහිත්‍ය කලාව සහ ජනතාව‘ නමින් ඔහු රචනා කළ ග්‍රන්ථය, ජයලත් ශූරීන්ගේ දේශපාලන මතය කවරාකාරද යන්න පිළිබිඹු කරනු ඇත. පුවත්පත් කලාවේදියෙක්, චිත්‍රපට විචාරකයෙක් , නව කථාකරුවෙක් සහ කවියෙක් ලෙස සිය ප්‍රතිභාව ඔප් නැංවූ ජයලත් මහතා, හොඳ පරිවර්තකයෙකි. උතුරු කොරියානු සමාජවාදී රාජ්‍යයේ නිර්මාතෘ කිම් ඉල් සුං ගේ ජීවිත කථාව ඔහු අතින් පරිවර්තනයට ලක් විය.

වම් ඉවුරේ දේශපාලනයට එක් වූ ඔහු, ශ්‍රී ලනිපයේ උන්නතිය වෙනුවෙන් ක්‍රියා කෙළේ ය. එහෙත් ඔහු දේශපාලනය නිසා හරිහම්බ කරගත් දෙයක් නොමැත. 1971 අරගල සමයේදී චෝදනා රහිතව ඔහු, දේශපාලන රැඳවුම්කරුවකු බවට පත් විය. මාස අටක් වැලිකඩ හිර ගෙදර ගතකළ කාලයේදී ඔහු සිය සිගරැට් පෙට්ටිවල කුරුටු ගාමින් යම් යම් නිර්මාණ රචනා කෙළේ ය.

1977 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජය වීමෙන් අනතුරුව ඔහුගේ නිවස ජයග්‍රාහී පිරිස් කඩා දැමූහ. ඔහුගේ පොත් අල්මාරි ඇතුළු බොහෝ වටිනා කියන දෑ ඉන් විනාශ විය. ඒ සියල්ලටමත් වඩා තමන් රචනා කටයුතු කළ ලියන මේසය දෙපළු කර දැම්මේ ය. මේ සිදුවීම ඔහුගේ හද දැඩි ලෙස සසල කෙරිණි.

1972 දී සමගි පෙරමුණු රජයෙන් නීතිගත කරන ලද චිත්‍රපට සංස්ථාව, කරුණාසේන ජයලත් මහතාගේ උද්ඝෝෂණවල ප්‍රතිඵලයකි. ඔහු ආසියා - අපි‍්‍රකා ලේඛක සම්මේලනය ගොඩනැගීමට ද පුරෝගාමීව ක්‍රියා කෙළේ ය. 1984 දී විජය - චන්ද්‍රිකා එක්ව ගොඩනැඟූ මහජන පක්ෂයේ උප සභාපති වූයේ ද ජයලත් ශූරීන් ය.

‘සිරිලක’, ‘දිනකර’ වැනි දේශපාලන පත්‍රවලට ද ඔහු කැපවීමෙන් සේවය කෙළේ ය. 1994 මැතිවරණ සමය එළැඹෙන විට ඔහු රෝගීව සිටියත්, මැතිවරණ වේදිකාවලට ගොස් චතුර කථිකත්වය මගින් ජනතාව ආමන්ත්‍රණය කිරීමට පසුබට නොවුණි.

1994 නිකිණි මස 24 වැනි දින ඔහු අපෙන් සමු ගත්තේ මුදල් හරි හම්බ නොකළ, මිනිසුන් හම්බකළ සහ කල්ප කාලාන්තරයක් පුරා පාඨකයන්ට රස විඳිය හැකි අකුරු හයේ නම් ඇති නව කථා දායාද කළ නිහතමානී මිනිසකු පරිද්දෙනි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා