රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ගුටි කෙළියක්

අතීතයෙන් ඇසුණු කතා

රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ගුටි කෙළියක්

රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරයෙකු නොවුණත් මන්ත්‍රණ සභා විවේකාගාරයේදී තම සහෝදරයා වෙනුවෙන් චිර ප්‍රසිද්ධ රාජනීතිඥ දේශපාලනඥයකුට පහරදීමේ සිද්ධියක් රාජ්‍ය මන්ත්‍රණ සභා ඉතිහාසයෙන් වාර්තා වෙයි.

බණ්ඩාරනායක

රොබට් ගුණවර්ධන

පිලිප් ගුණවර්ධන

ජී.ජී. පොන්නම්බලම්

එවකට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අවිස්සාවේල්ල මන්ත්‍රී පිලිප් ගුණවර්ධන මහතා සහ පොයින්ට් පේදුරු මන්ත්‍රී රාජනීතිඥ ජී. ජී. පොන්නම්බලම් අතර මන්ත්‍රණ සභාවේදී යටත් විජිත භාර මහලේකම් එවූ රාජාඥාවක් පිළිබඳ කතාවක් දිග් ගැසීමෙණි.

එදා සවස මැති ඇමැතිවරුන්ගේ තේ විවේකී අවස්ථාව එළැඹිණි.

“සඹුක්කුවෙන් මට තලන්න ඕනෑ යැයි තමා ප්‍රකාශ කළා. ඇයි දැං සඹුක්කුවෙන් ගහන්ට උත්සාහ නො කරන්නේ?” පොන්නම්බලම් මහතා පිලිප් ගුණවර්ධන මහතාගෙන් විමසීය.

“උවමනාවක් තියෙනවා නම් කරන්නට බැරි කමක් නෑ...” පිලිප් පැනයට පිළිතුරු දුන්නේය. දෙදෙනා අතර බිහිසුණු වාග් සංග්‍රාමයක් ඇති විය.

පොන්නම්බලම් පිලිප්ට පහරක් ගැසුවේය.

පිලිප් කොටියෙකු මෙන් පෙරට පැන පොන්නම්බලම්ට දැඩි පහරක් එල්ල කෙළේය. ඒ සමඟම ඔහු අල්ලා හතර ගාතෙන් බිම හෙළා දැම්මේය.

වැඩේ දුර දිග යන්නට පළමු ඇන්. ඇම්. පෙරේරා, ජෝර්ජ් ඊ. ද සිල්වා, සුසන්තා ද පොන්සේකා ඉදිරියට පැන පොන්නම්බලම් නැගිටුවිය.

මන්ත්‍රණ සභාව අවසන් විය. මන්ත්‍රීහු විවේකාගාරයට පිවිසියහ.

පිලිප්ගේ සොහොයුරු රොබට් ගුණවර්ධන එකල මන්ත්‍රීවරයකු නොවීය.

රොබට්, පොන්නම්බලම්ට අභියෝගයක් කෙළේය. එය පොන්නම්බලම් පිළිගැනීමත් සමඟ රොබට්ගේ සුරත පිරවූ කම්මුල් පහරක් පොන්නම්බලම්ගේ මුහුණ හරහා වැදුණේය.

පිට පුද්ගලයකු විවේකාගාරයට පැමිණ මන්ත්‍රී කෙනෙකුට පහරදීමේ පුවත ඊයක වේගයෙන් සර් ජෝන් කොතලාවල වෙත හඹා ගියේය.

කොතලාවල පොන්නම්බලම් ආරක්‍ෂා කර ගන්නට යද්දී, කොතලාවලගේ ඇඟට රොබට් කඩා පැන්නේය. පොන්නම්බලම් ද ඒ පොදියට පැටලී ත්‍රිකෝණ පොරයක් බවට පත්විය.

මේ ආරංචිය කෘෂිකර්ම අමාත්‍ය ඩී. එස්’ සේනානායක මහතාට ලැබුණා පමණි. ඔහු යෝධයකු මෙන් සටන් බිමට පැන්නේ ය.

පොන්නම්බලම්ගේ කකුලෙන් අල්ලා බඹ දෙකක් පමණ ඈතට දැමුවේය. ආගන්තුකයා අල්ලා හිණි පෙළින් පහතට නෙරපුවේය.

රතු ටයිපටි කාරයන් කිහිපදෙනෙකු පොලිස් භටයින්ද තල්ලු කර දමා විවේකාගාරය වෙතට ඒමට තැත් කළ නුමුදු, එය ව්‍යවර්ථ වූ බව වාර්තා විය.

මේ සිද්ධිය 1938 මාර්තු මස 5 වැනිදා ‘සිංහල බෞද්ධයා’ පත්‍රයෙත් පළවී තිබිණි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා