රඟපෑම අමතක වෙනතුරුම එදා මට දෙබරු ඇන්නා

රඟපෑම අමතක වෙනතුරුම එදා මට දෙබරු ඇන්නා

රත්නාවලී කැකුණවෙල

කලා ලෝකය ජයගත් ප්‍රවීණ නිළියක් වු ඇය නිහතමානි ගතිගුණ වලින් යුත් තැනැත්තියකි. අසූවියට පා තබා සිටියත් ඇගේ් ගාම්භීර පෙනුමෙහි වෙනසක් වී නොමැත. වයසට ගියත් වයසට නොයන ඇගේ කටහඬ එදා වයස අවුරුදු විස්සේදී මෙන් අදත් තරුණය. ඒ හඬ සහ රුව ප්‍රේක්ෂකයන්ට කිසි දිනක අමතක නොවන්නේය. ඇය ප්‍රවීණ නිළි රත්නාවලී කැකුණවෙල ය.

පනස්නව වසරක් තිස්සේ රඟපෑ කලා ජීවිතයේ දී ඇයට එල්ල වූ බාධා අභියෝග අපමණ ය. ඒ සියල්ල ජයගත් ඇය ප්‍රවීණ ගුවන් විදුලි නාට්‍ය ශිල්පිණියක, වේදිකා නිළියක සිනමා හා රූපවාහිනි නිළියක ලෙස ප්‍රේක්ෂකයා අතර ජනපි‍්‍රය විය. ඇගේ කලා ජීවිතයේ අමතක නොවන සිදුවීම් ඉකුත් සතිවලදී අප සමඟ පැවසූ අතර අද මතකය අවදිකරන්නේ විවාහ ජීවිතයේ මතකයන් ඇතුළත් තවත් අමතක නොවන සිදුවීම් පිළිබඳ ය.

සුගත් සමරකෝන්ගේ “සුදු පිරුවට” ටෙලිනාට්‍යය කරන්න ගිහිල්ලා හරිම ඇබැද්දියක් සිදුවුණා. මේ දර්ශනය රූ ගත කළේ මහා පාලු වෙල් යායක. ඒ වෙල්යායේ කඩාවැටුණු පොල් ගහක් තිබුණා. ඒ පොල් ගහේ ලොකු දෙබරයක් තිබුණා. කවුරුත් ඒ දෙබරෙ ගැන හිතුවේ නෑ. ඒ පළාතේ කවුරුත් අපට ඒ ගැන කිව්වෙත් නැහැ. එහෙම නොකිව්වේ සමහරවිට ඒ පළාතේ මිනිසුන්ට අපිව මට්ටු කරන්න ඕනෑ නිසා වෙන්න ඇති.

මේ නාට්‍යයේදී මට රඟපාන්න තිබුණේ වෙල්යායට ඇඹුල අරන් යන චරිතයක්. ඉතිං මං කුඹුරට ඇඹුල අරන් යනවා. මගේ දුව හැටියට රඟපෑවේ තමාලි පීරිස්, මං කුඹුරට ඇඹුල අරන් යනකොට දුව ඉස්සරහට එනවා.

මේ දර්ශනය රූ ගත කරන්න කැමරා ආම්පන්න සේරම තියල තිබුණේ අර කඩා වැටුණ පොල්ගහ උඩ. එහෙම ඉන්නකොට එතැන හිටිය කවුරු හරි වැරැදීමකින් අර දෙබරෙට කෝටුවකින් ඇනලා.

එක පාරටම එතැන හිටිය පිරිස අත්ගස ගසා දුවන්න පටන් ගත්තා. “රත්න අක්කේ .. තමාලිත් ඇදගෙන දුවන්න..” එතැන හිටිය අය කෑගහගෙන දුවනවා. මං ඇඹුල ගෙනාව පෙට්ටියක් ඔළුව උඩ තියාගෙන තමාලිත් එක්ක දුවනවා.

තමාලිගේ අම්මා කුසුම් පීරිස් අපි පස්සෙන් දුවනවා “ඇයි හත්වළාමේ මොකද මේ වෙලා තියෙන්නෙ?” අර පොල්ගහේ තිබුණ දෙබරේ හිටපු දෙබරු කලබල වෙලා දිගට හරහට අපිට අනිනවා. කුසුම් පීරිස්, චන්න දේශපි‍්‍රය, ජයසිරි ජයවික්‍රම වගේ අය අන්තිමට හොඳ වුණේ බෙහෙත් ඔරුවක දැම්මාට පස්සෙ. මේ දෙබර ජරමරේ දවස් ගාණකට රූගත කිරීම් අවලංගු කරන්නත් වුණා.

මේ මෑතකදී තවත් අමතක නොවන සිදුවීමක් වුණා. පහුගිය කාලේ මධ්‍යම පළාතේ මැතිවරණයක් තිබුණනේ. ඒ මැතිවරණයේ යම් කටයුත්තකට සරත් අමුණුගම ඇමැතිවරයාගේ පුතෙක් වන දිලුම් අමුණුගමගේ වැඩකට එන්න කියා මට කතා කළා. ඉතිං අපි ඒකට සහභාගී වුණා. මං ගියේ වෑන් එකක. මාත් එක්ක තව කිහිපදෙනෙක් හිටියා.

සැමියා සමඟ

අපිත් එක්ක ගිය රියදුරු මහත්තයා ඒ පළාතේ පාරවල් ගැන ඒ තරම් දැනගෙන හිටියේ නැහැ. ඉස්සරහා සීට් එකේ ගොඩිගමුව මහත්තයාත් හිටියා. අපි රෑ තමා මේ ගමන ගියේ. ඒ පාරත් බොහොම පටුයි. ගොඩිගමුව මහත්තයා එක පාරටම කිව්වා මේ අපි යන්නේ වැරැදි පාර ක කියලා. රියදුරු මහත්තයා එක පාරටම වාහනයේ තිරිංග තද කළා. තව ටිකක් වාහනය ඇල වුණා නම් ලොකු බෑවුමකට වාහනය පෙරළෙනවා.

මේ සිද්ධිය අප ඇමැතිවරයාත් එක්ක කීවා. හරියට වාහනේ පෙරළුනා නම් තවත් පෙරළෙනවා. මහවැලි ගඟේ තමා නතර වෙන්නෙ කියලා ඇමැතිතුමා කිව්වා. එදා අපි බේරුණේ අනූනවයෙන්. අපි පව් කරලා නෑ. ඒ නිසා අපටත් කිසිම කරදරයක් වෙන්නේ නෑ කියා මං විශ්වාස කරනවා.

මං නිතරම රූපවාහිනී තිරය මත දිස්වන්නේ නපුරු වැඩිහිටි චරිත මඟින්. ඒත් මට කාරුණික චරිත වුණත් රඟපෑමේ හැකියාව තිබෙනවා. මේ දවස්වල මං “පාංබට්ටා” ටෙලි නාට්‍යයේ ආත්තම්මා කෙනෙකුගේ චරිතයට පණ පොවමින් සිටිනවා.

පාංබට්ටාගේ ආත්තම්මා කෙනෙක් විඳියටයි මං එහි රඟපාන්නේ. ඒ චරිතය හරිම කාරුණිකයි. කාරුණික චරිතයක් ලෙස මට රඟපෑමට අවස්ථාව ලැබුණ එකම චරිතය මේ අවස්ථාවයි. මං කැපවීමෙන් යුක්තව ඉතාම තාත්වික විදියට ඒ චරිතය රඟ දක්වනවා.

මගේ විවාහය ගැනත් නොකියාම බෑ. මගේ ස්වාමි පුරුෂය ඩේවිඩ් කැකුණවෙල. ඔහු ආදරණීය සැමියෙක්. ඒ වාගේම ඔහු ආදරණීය පියෙක්. ඔහු වාගේ සැමියෙක් ලබන්න මං පෙරපින් කරල තිබෙනවා. මගේ කලා ජීවිතය ඉදිරියට ගෙන යාමට සැමියාගෙන් මහත් පිටිවහලක් ලැබුණා. කලා ජීවිතයේ මෙතරම් දුරක් එන්න මගේ සැමියාගේ සහාය බොහෝදුරට බලපෑවා.

සමහරවිට ඔහුගෙන් ඒ සහයෝගය නොලැබුණානම්, මං තවමත් සාමාන්‍ය ගැහැනියක් විතරයි. මං චිත්‍රපටයකට රඟපෑමට ගියේත් විවාහ වෙලා දරුවනුත් ලැබුණාට පස්සෙයි. සැමියා මට යන්න එපා කිව්වා නම් මං යන්නේ නෑ. එයා කැමැති වුණ නිසා තමා මං විවාහ වුණාට පසුව රඟපෑමට ගියේ.

මගේ විවාහය කොහොමද සිදුවුණේ කියා කියන එකත් නොකියාම බෑ. මගේ පුංචි අම්මා කෙනෙක් ගාල්ලේ හිටියා. පුංචිඅම්මාගේ මංගල්ලයට මං ගාල්ලෙ ගියා. එතකොට තමයි මට කේ. එච්. ඩේවිඩ් කැකුණවෙල හමුවුණේ.

උපහාර උළෙලක දී මුවන්පැලැස්සේ කොටසක්
ශී‍්‍ර නිමල් සහ වරකාගොඩ සමඟ රඟපාමින්.

එයා පුංචිඅම්මා බැඳපු බාප්පාගේ ළඟම ඥාතියෙක්. කොහොම හරි අපි දෙන්නා කතාබහ කරලා අඳුනා ගත්තා. ඒ හඳුනාගැනිම පසුකාලෙක ආදරයක් බවට පත්වුණා. අපි අතර ආදරයක් ඇතිවුණේ 1948 දී ඒත් ඩේවිඩ්ගේ අම්මලා අපේ සම්බන්දෙට සම්පූර්ණයෙන්ම විරුද්ධ වුණා. ඒත් අපේ සම්බන්ධය දිගටම පවත්වාගෙන ගියා. පසු කාලයේ දී බාප්පලා මාව ආපසු කොළඹට එව්වා.

ඊට පස්සේ 1956 වෙනකන් අවුරුදු අටක්ම ඩේවිඩ් ගැන කිසිම ආරංචියක් මං දැනගැනීමට නොහැකි වුණා. ඒත් අපේ ආදරය නැවතුණේ නෑ. “දුරස් වන්නට සිතන හැමවිට - තවත් ළංවෙනවා” කියන සිංදුවේ වගේ අපි දෙන්නත් දුර හිටියට අපේ හිත්වලින් තවත් ළංවුණා.

ඩේවිඩ් ඒ දවස්වල වැඩකළේ රාජකීය ගුවන් හමුදාවේ. මං කොළඹ ගිහින් අවුරුදු අටකට පස්සේ ඔහු කටුනායකට මාරුවක් හදාගෙන පැමිණියා. ඒ දවස්වල මං හිටියේ කොල්ලුපිටියේ ධර්ම කීර්ත්‍යාරාම පාරේ.

ඔහුත් ඒ පාරෙම තිබුණු ඩේවිඩ්ගේ නෑදෑයෙකුගේ ගෙදර නැවතුණා. දැන් ඉතින් ඒ පාරේ මං යන එනකොට එයාව දකිනවා. කලාතුරකින් කාටත් හොරා අපි දෙන්නා කතාබහත් කරනවා. මොකද නැත්නම් කවුරු හරි දැක්කොත් ආපහු අපිට තහංචි පැනවෙයි කියන බය නිසා . පස්සේ කාලෙකදී ඩේවිඩ් අපේ ගෙදර ඉස්සරහ ගෙදර අයත් එක්ක යාලුකමක් ගොඩනගා ගත්තා.

ඒ ගෙදරට එන මුවාවෙන් ඔහු ඇවිත් මට කතා බහ කරනවා. එහෙම ටික දවසක් ගෙවුණා. ටික දවසකින් ඩේවිඩ් මගේ අයියා වන වික්ටර්ට කිව්වා නංගිව (මාව) බඳින්න කැමැතියි කියලා. නංගී සතුටු නම් අපේ අකමැත්තක් නෑ කියා වික්ටර් අයියා ඩේවිඩ්ට කියා තිබෙනවා.

සුගත් සමර කෝන්ගේ ‘වියරු මිනිසා” චිත්‍රපටයේ රඟපාමින්

1957 නොවැම්බර් 29 වැනිදා අප විවාහ වුණා. අප විවාහවෙලා නුවරඑළියෙ ගියා. පී. වැලිකල මහත්තයාගේ කාර් එකේ තමයි අපි ගියේ. මට දැන් දරුවෝ හය දෙනෙක් ඉන්නවා. නාලක, තිලංක, රමලික, ඉන්දික කියා පුතාලා හතර දෙනෙකුත් සුරති දසරා, සුලක්ෂණ ඕෂධී කියා දූලා දෙන්නෙකුත් සිටිනවා.

මට අමතක නොවන තවත් සිද්ධියක් තමා ඩේසි ඩැනියෙල් (රුක්මනී දේවී) සමඟ සංදර්ශනයකට ගිය අවස්ථාව. මං ඩේසි අක්කත් එක්ක ඒ කියන්නේ ඩේසි අක්කා මිය යන්න සතියකට විතර කලින් අපි කට්ටියම සංදර්ශනයකට සහභාගි වෙන්න දඹදෙනි යන්න සිදුවුණා.

දඹදෙනි යද්දී ටවුමට හැත්ප්ම තුනක් විතර තියෙද්දී වෑන් එක ගිය වේගයට තාප්පෙකුත් කඩාගෙන ගිහින් කනත්තකට පෙරළුණා. වෙලාව හරියටම රෑ දොළහයි. වාසනාවකට වාගේ වෑන් එකේ දොර ගැලවිලා විසිවුණ නිසා අපේ ජීවිත අනූනවයෙන් බේරුණා.

රත්නාවලී කැකුණවෙල නම් වූ ප්‍රවීණ නිළිය අලුත් පරපුරේ නළු නිළියන්ට උපදෙසක් දෙන්නේ මේ විදිහට. “රඟපෑම කියන දේ කාටවත් මෙන්න කියලා උගන්වන්න බෑ. ඒක ඇෙඟන්ම එන්න ඕන දෙයක්. ඒ වගේම තමන් කරන්න යන්නේ මොකද්ද කියලා හරි වැටහීමකිනුත් ඉන්න ඕන.

ඔළුව උදුම්මා ගන්නේ නැතුව සහෝදරත්වයෙන් යුතුව වැඩිහිටි අයගෙන් ගුරුහරුකම් අරගෙන තමන්ගේ කාර්යය නිවැරැදිව ආශාවෙන්, කැපවීමෙන් කළ යුතුයි. එහෙම වුණාම මේ ක්‍ෂේ්ත්‍රයේ දුර ගමනක් ඉදිරියට යන්න පුළුවන්.

අවසානයි

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා