දිගු ඉතිහාසයකට උරුමකම් කියන රේගුව

දිගු ඉතිහාසයකට උරුමකම් කියන රේගුව

ලෝකයේ පැරණිතම මෙන්ම දීර්ඝ ඉතිහාසයක් ඇති රේගු දෙපාර්තමේන්තුව 1809 ජුනි 14 වැනිදා මුල් බදු අය කිරීමේ දෙපාර්තමේන්තු හෙවත් රේගු දෙපාර්තමේන්තුව ලෙස ශී‍්‍ර ලංකාවේ ස්ථාපිත කළේ ය.

1696 දී ෆෙඩ්රික් නෝත් ආණ්ඩුකාර වරයා සමඟ අන්තෝනි බට්ලොව් නමැති නිලධාරියා පැමිණීමත් සමඟ මෙරට බදු ක්‍රමය ආරම්භ විය.

විවිධ ශිෂ්ඨාචාරවල ජීවත්වන ජනයා තවත් ශිෂ්ඨාචාරයකට මුහුණ දීමත් සමඟ ම එක් රටකින් තවත් රටකට සංක්‍රමණය වීමේදී තමන් සතු දේපළ වලින් කොටසක් තමා ප්‍රවිශ්ට වන රටේ පාලකයාට ගෙවීමේ චාරිත්‍රයක් පුරාණයේ පැවැති අතර එය මුල්ම බදු ගෙවීමේ ක්‍රමය ලෙස හැඳින්විය.

අතීතයේදීත් විවිධ ක්‍රම මගින් ආනයන අපනයන බදු රැස් කිරීමේ කාර්යය සිදුවෙමින් තිබුණු අතර, මාර්ග සංවර්ධනය සහ පාලම් නඩත්තු කිරීමේ කටයුතු වෙනුවෙන් ඒවන විටත් මාර්ග බදු අයකර තිබිණි.

රටේ ආදායමෙන් සියයට අනුපහක් පමණ (95%) බදු ආදායමින් ලබාගන්නා අතර ඉන් 50/- පමණම රේගුවෙන් වන අතර රේගු බදුවලට අමතරව වැට් බදු ගුවන්තොටුපොළ වරාය බදු, නිෂ්පාදන බදු පනතේ ඇති බදු ආදී ලෙස අය කර ගනී.

රේගුව යනු පෘතුගීසි භාෂාවෙන් ලැබුණු වචනයක් වන අතර මෙරට පැරණි සෙල්ලිපිවල අප රටේ රේගු ඉතිහාසය ක්‍රි. ව. 113 දක්වා දිවයන බව සඳහන් වේ.

ක්‍රි. ව. 844 මන්නාරම් කච්චේරි ටෑම් ලිපියේදී ගොඩවෑය සෙල්ලිපියේ ද මාතර වරායේ තිබූ සෙල්ලිපිවල ද රේගුව පිළිබඳව සටහන් දැක්වේ. පළමුවිජයබාහු රජුගේ කාලයේ ක්‍රි. ව. 1055 දී බදු එකතු කිරීම සඳහා අන්තරංගධුර නම් නිලධාරියකු පත් කළ බවද වාර්තාවල සඳහන් වේ.

අතීත අපනයන - ආනයන වාණිජ කටයුතු සඳහා වැඩි වශයෙන් සම්බන්ධ වී සිටියේ දෙමළ භාෂාව කථාකරන පිරිසයි.

මෙරටට පැමිණි ලන්දේසි පෘතුගීසි ආදීන් විසින් පැවැති බදු අය කිරීමේ ක්‍රමය ක්‍රමවත් කරන ලද අතර ඉංගී‍්‍රසින් විසින් දැනට පවතින බදු ක්‍රමය ආරම්භ කළේ ය. රේගු නිලපාලකයා ලෙස හැඳින් වූ රේගු නිලධාරියා පසුකාලීනව රේගු අයකැමි ලෙස වෙනස් විය.

රේගු ආඥා පනත

1869 අංක 19 දරණ පනතින් සියලුම බදු අයකිරීමේ පනත් එකතු කර රේගු ආඥා පනත සකස් කරන ලද අතර, මෙම පනත 51 වතාවක් සංශෝධනය කර ඇත.

බෙල්ජියමේ බ්‍රසෙල්ස් නගරයේ රේගු මූලස්ථානය පිහිටා ඇති අතර මෙම මූලස්ථානයේ සාමාජිකත්වය රටවල් 174 ක් ලබාගෙන ඇත.

ආදායම සුරැකීම, වෙළඳ පහසුකම් සැපයීම, නීතිය බලාත්මක කිරීම සහ සමාජ සුබසාධනය යන කරුණු හතර රේගුවේ පරමාර්ථ වේ.

මෙම කරුණු හතරේ ඇති මූලික පරමාර්ථය වන්නේ මෙරට පවතින රේගු නීතිය ආරක්ෂා කරමින් වෙළඳාම, කර්මාන්ත හා සංචාරක කර්මාන්ත වැනි දේට පහසුකම් ලබා දීමය.

රේගුවලට අදාළ කාර්යභාර අතර බදු වලට අදාළ රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමත් තීරුබදු තක්සේරු කිරීම හා එකතු කිරීමත්, වෙනත් ආයතන සඳහා බදු අයකිරීම, තීරු බදු නිදහස් කිරීම හා සහන සැලසීම , වාණිජමය වංචා ආදිය සොයා බැලීම වැරැදි කරුවන්ට දඬුවම් දීම ආදිය ප්‍රමුඛ වේ.

රේගු අධ්‍යක්‍ෂ ජෙනරාල් වරයා වෙත දිවයිනේ රේගු පරිපාලනය පිළිබඳ සම්පූර්ණ බලතල පැවරී තිබේ.

සමාජය ආරක්ෂා කිරීමේ ඉතාමත් වැදගත් කාර්යභාරයක් පැවරී ඇත්තේ රේගු දෙපාර්තමේන්තුවට ය. මුදල් අමාත්‍යවරයාගේ පාලනය යටතේ් ඇති මින් සමාජය ආරක්ෂා කිරීම විවිධ අංශ ගණනාවක් මගින් සිදු කරයි.

පරිසරය සුරැකීමට සහාය වීම, වන ජීවින් සහ ශාක රැකගැනීමට සහාය වීම, මහජන සෞඛ්‍යයට අහිතකර ද්‍රව්‍ය ආනයනය තහනම් කිරීම, සංස්කෘතික හා පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති ද්‍රව්‍ය ආරක්ෂාව මෙන් ම රාජ්‍ය ආරක්ෂාව ට තර්ජනයක් වන අවි ආයුධ හා ප්‍රමිතියෙන් තොර ද්‍රව්‍ය ආනයනය වැලැක්වීම රේගුවෙන් සිදු කෙරේ.

සමාජයට මහත් හිරිහැරයක් සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ගෙනඒමේ කාර්යභාරයට රේගුව විශේෂ සැලකිල්ලක් දක්වමින් ක්‍රියා කරනු ලබන අතර ආගමික වශයෙන් ගරු කරන ශාස්තෘන් වහන්සේලාට අගෞරව වන භාණ්ඩ අපනයනය හා ආනයනය වැලැක්වීමට සහාය වීමද රේගුව මගින් ඉටු කරනු ලබන සුවිශේෂ කාර්යභාරයකි.

රේගු සහයෝගිතා සභාව වශයෙන් 1952 පිහිටවනු ලැබූ රේගුව 1965 ජගත් රේගු සංවිධානයේ සාමාජිකත්වය ලැබීය. ජගත් රේගු සංවිධානය මෙම වසරේ රේගු තේමාව ලෙස “රේගුව සහ පරිසරය; අපේ ස්වභාවික උරුමය ආරක්ෂා කිරීම” යොදාගෙන ඇත.

හරිත රේගු සංකල්පය තුළින් ජගත් රේගු සංවිධානය රේගු පරිපාලකයන් හරහා අදාළ ජාත්‍යන්තර සම්මුතීන් ක්‍රියාවට නැංවීමට විශාල මෙහෙවරක් ඉටු කරනු ලබයි. මෙම භාණ්ඩ හඳුනා ගැනීමේ අරමුණින් හා ඒවා අධීක්‍ෂණය කිරීමේ අරමුණින් සංයෝජිත වර්ගීකරණ නාමාවලියද සංශෝධනය කරන ලදී.

ශී‍්‍ර ලංකා රේගුව මොන්ට්‍රියල් ප්‍රඥ්ප්තිය, (ඕසෝන් ස්ථරයේ ක්‍ෂය කාරක පිළිබඳ ප්‍රඥ්ප්තිය) බාසල්/ බේසල් ප්‍රඥප්තිය, (දේශ සීමා හරහා අනතුරුදායක අපද්‍රව්‍ය ප්‍රවාහනය හා බහිශ්කරණය පාලනය පිළිබඳ සම්මුතිය, රොටර්ඩෑම් සම්මුතිය, (නිශ්චිත අනතුරුදායක රසායන ද්‍රව්‍ය හා පළිබෝධ නාශක පිළිබඳ ජාත්‍යන්තර වෙළඳාමේදී පූර්ව දැනුම්දීම හා අනුමැතිය පිළිබඳ සම්මුතිය ස්ටොක්හෝම් සම්මුතිය (ප්‍රස්ථිතික කාබනික දූෂක POPS පිළිබඳව වන සම්මුතිය, රසායනික අවි සම්මුතිය

රසායනික අවි සංවර්ධනය කිරීම නිෂ්පාදනය, කොට තබා ගැනීම, භාවිතය හා ඒවායේ විනාශකාරීත්වය තහනම් කිරීම පිළිබඳවූ සම්මුතිය CITES සම්මුතිය වඳවීයාමේ තර්ජනයට මුහුණ දී ඇති වන සතුන් සහ පැලෑටි සම්බන්ධ ජාත්‍යන්තර වෙළඳාම් සම්මුතිය, ජෛව විවිධත්ව සම්මුතිය යන සම්මුතීන් ක්‍රියාත්මක කරනු පිණිස අදාළ දේශීය ආයතනයන්ට ශී‍්‍ර ලංකා රේගුව සිය සහයෝගය නිරතුරුව ලබා දේ.

1993 වසරේදී ශී‍්‍ර ලංකා රේගුව ජෛව විවිධත්ව ආරක්ෂණ ඒකකය පිහිටුවන ලදී. ලෝකයේ රේගු ආයතනයක් තුළ ස්වභාවික උරුමයන් රැකගැනීම පරමාර්ථයෙන් ඇති කළ එකම ආයතනය ද මෙය වේ. ලැබිය යුතු ආදායම් එක්රැස් කිරිම, රේගු නීති බලාත්මක කිරීම ජාතික ආරක්ෂාව, සමාජ හා පාරිසරික ආරක්ෂණ ය, නීත්‍යානුකූල වෙළඳාම, සංචාරක කටයුතු හා කරමාන්තවලට පහසුකම් සැලසීම, පද්ධති හා ක්‍රියා පටිපාටි විධිමත් කිරීම, තොරතුරු තාක්‍ෂණය හා අනෙකුත් තාක්‍ෂණයන්හි උපරිම ප්‍රයෝජන ලැබීම, බුද්ධි තොරතුරු මත පදනම් වූ පාලනයන් හා විගණනයන් තුළින් අවදානම් පාලනය කිරීම මානව සම්පත් කාර්යක්‍ෂමව කළමනාකරණය කිරීම, නිලධාරින්ට විධිමත් පුහුණුවක් ලබාදීම, අනෙකුත් අදාළ ස්වාධීන සේවා ආයතන කළමනාකාරීත්වය සහ කාර්යක්‍ෂමව සම්බන්ධීකරණය කිරීම රේගුවේ මූලික වගකීම් වේ.

ඉතා ඉහළ ජෛව විවිධත්ව හා අධික ආවේණික ජීවි ප්‍රතිශතය නිසා අප රටට සුවිශේෂී ජෛව සම්පත් සුරැකීම රේගුව මගින් මනාව සිදු කරයි. මෙසේ අත්අඩංගුවට ගත් ජාවාරම්කරුවන් රැගෙන යාමට තැත් කළ ශාක කොටස් ලෙස වඳවී යාමට ලක්වී ඇති බුලත් හපයා, වෙස් මුහුණු රුවල්කාරයා, පොකිරිස්සන්, රතුගල්පර, පොකිරිස්සන්, දුම්බොන්නා (පක්‍ෂියෙකි) උකුස්සා, තාරකා ඉබ්බන්, දුර්ලභ වර්ගයේ නාගයින්, පිඹුරන් ආදී සතුන්ද බිනර උඩවැඩියා විශේෂ, කොතල හිඹුටු මුහුදු පැළෑටි ආදිය වේ.

මෙවැනි දෑ පිටරට යන්නේ විවිධ පරීක්‍ෂණ හා අත්හදා බැලීම් සඳහා ය. මෙවැනි දෑ අත්අඩංගුවට ගැනීමට රේගුව රේගු ආඥා පනත, අපනයන හා ආනයනය ආඥා පනත, ධීවර ආඥා පනත, වනසත්ව සහ වෘක්‍ෂලතා ආරක්ෂක පනත, පැළෑටි ආරක්ෂක පනත, සත්ව නිරෝධායන පනත යන ආඥා පනත උපයෝගී කර ගනී.

රේගු වංචා සහ වෙනත් දූෂණ අවම කිරීම සඳහා භාණ්ඩ හා කන්ටේනර් පුද්ගලයින් ලවා පරීක්‍ෂා කිරීම වෙනුවට ස්කෑන් යන්ත්‍ර යොදා ගනු ලබයි.

නීතිමය ක්‍රියා

ජීවිත තර්ජන ඇති දක්‍ෂ රේගු නිලධාරීන් හා සිද්ධීන් සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහාය ලබාගන්නා අදාළ පුද්ගලයින් නීතියේ රැහැනට ගන්නා බව රේගු අධ්‍යක්‍ෂ ජෙනරාල් සරත් ජයතිලක මහතා ප්‍රකාශ කෙළේ ය.

රටේ පවත්නා තත්ත්වයන් තුළ යම් යම් ස්ථානවලට ගොස් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේදී පොලිසියේ සහයෝගය ලබා ගන්නා බවත් අදාළ විශේෂ අවස්ථාවලදී විෂයභාර ඇමැතිවරයාගේත් ජනාධිපතිවරයාගේත් සෘජු මැදිහත්වීම ලබාගන්නා බවත් ජයතිලක මහතා ප්‍රකාශ කෙළේය.

ඉන්දියාව, පාකිස්තානය, බංගලාදේශය, ඉන්දුනිසියාව ගත්විට අප රටේ බදු අයකිරීම ඉහළ තත්ත්වයක පවතී.වෙළෙඳාමේ අසමතුලිතතාවය ඉවත්කර බදු ගෙවන්න ජනතාව පෙළඹවීම රේගුවේ අරමුණක් වේ.

හොර බඩු ගෙන්වීම නැවැත්වීම , වානිජ අපරාධ සොයා ගැනීම තවත් අරමුණු ලෙස පෙන්වා දිය හැක.

නූතන ගෝලීය කරණය හමුවේ ලෝකයේ ප්‍රබල රාජ්‍යයන්ට පවා මහත් තර්ජනයක්ව පවතින බුද්ධිමය දේපල අනවසර ලෙස මෙරට ගෙන ඒම හා මෙරටින් පිට කිරිම පහසුවෙන් වැළැක්විය හැකි එකම ආයතනය රේගුව වේ.

දිවයිනේ සාම්ප්‍රදායිකව සලකනු ලබන තේ, පොල්, රබර්, යනාදී භාණ්ඩ අපනයනයේ දී දේශීය අනන්‍යතාවය ආරක්ෂා කිරීමට රේගුව විශේෂ අවධානයක් යොමු කරනු ලබයි.

ශී‍්‍ර ලංකා රේගුවේ ලාංඡනය වන්නේ හොඳින් විවර වූ ඇසකි. එය නිරුවත් පියවි ඇස ලෙස හඳුන්වයි.

කලින් කලට හොරබඩු ජාවාරම් කරුවන් තම ක්‍රමෝපායන් උපක්‍රමශීලීව වෙනස් කරන ආකාරය නිසි පරිදි අධ්‍යනය කිරීමට සැලකිය යුතු තාක්‍ෂණික මෙවලම් නොමැති වුවද රේගු නිලධාරින් තම දැනුම හා පළපුරුද්ද මගින් සිය කාර්යභාරය ඉටු කරන්නේ පෞද්ගලික ආරක්ෂාව ගැනද නොසිතමින් ය.

රේගුව ලබා ගන්නා ආදායමෙන් දහයෙන් එකක් සිගරට් වලින් ලැබෙන අතර, රේගු ආදායම බිලියන 360 ක් නම් සිගරට් වලින් ලැබෙන ආදායම බිලියන 36 ක් බව රේගු අධ්‍යක්‍ෂක ජෙනරාල්වරයා අවධාරණය කරයි.

මෙම වසරේ රේගුවේ ඉලක්කගත ආදායම රුපියල් බිලියන 427 ක් වන අතර, සිගරට් වල ඉලක්කගත ආදායම රුපියල් බිලියන 43 ක් බවද අධ්‍යක්‍ෂවරයා ප්‍රකාශ කරයි.

රේගුවට පසුගිය ජුනි 14 වනදාට වසර 200 සම්පූර්ණ වු අතර එම උත්සවය අද (25) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු අමාත්‍යවරුන් ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

මෙහිදී රේගුවට වසර 200ක් සම්පූර්ණවීම නිමිතිකොට ගෙන සමරු මුද්දරයක් සහ කාසියක් නිකුත් කෙරෙන අතර රේගු ඉතිහාසය සම්බන්ධ සමරු සඟරාවක්ද මුද්‍රණය කෙරේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා