අමෙරිකාවේ මානව හිමිකම් කැඩීම් හෙළි කිරීමට මුදල් වෙන් කෙරෙන පනතක් ඉරාන පාර්ලිමේන්තුවේ විවාදයට

අමෙරිකාවේ මානව හිමිකම් කැඩීම් හෙළි කිරීමට මුදල් වෙන් කෙරෙන පනතක් ඉරාන පාර්ලිමේන්තුවේ විවාදයට

එක්සත් ජනපද මානව හිමිකම් උල්ලංඝනයන් අනාවරණය කිරීමේ පියවර සඳහා අවශ්‍ය මුදල් වෙන්කැරගැන්ම පිළිබඳ පනතක් විවාදයට ගැන්මට ඉරාන පාර්ලිමේන්තුව තීරණය කැර තිබේ.

එක්සත් ජනපදය සහ සෙසු බටහිර රටවල් තොරතුරු තාක්ෂණය පිළිබඳ ඒකාධිකාරයක් පවත්වාගෙන යාමේ අසාධාරණත්වය පිළිබඳ විමසීමට මෙන් ම එක්සත් ජනපදයේ සිදුවන මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳව විවිධ උදාහරණයන් අනාවරණය කිරීමට අමෙරිකානු ඩොලර් මිලියන 20ක් පමණ වෙන්කිරීමේ පනත මේ අනුව පාර්ලිමේන්තු විවාදයට ගැනේ.

මෙම පනත සම්මත වූවොත් ඉරාන විදේශ කටයුතු, බුද්ධි අංශ හා විදුලි සංදේශන අමාත්‍යාංශ සහ ඉස්ලාමීය සංස්කෘතික හා සබඳතා සංවිධානවල නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් විසින් අදාළ මුදල් වැය කරන ආකාරය තීරණය කරනු ඇතැයි පැවසී තිබේ.

ඉරාන විපක්ෂයට ආධාර කරනු පිණිස එක්සත් ජනපදය පනත් කීපයක් ම සම්මත කැරගෙන තිබිණි.

එහි නවතම පනතවන්නේ අමෙරිකානු සෙනේටය මගින් අනුමත ඉරාන විපක්ෂයට ඩොලර් මිලියන 55ක් ලබාදීමේ පනත බව ඉරාන ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු පවසා තිබේ.

ඉරානයේ ජුනි 12 දා පැවති ජනාධිපතිවරණයෙන් පසු සිදු වූ විපක්ෂය උද්ඝෝෂකයන් මර්දනය කිරීමේ ක්‍රියාවලිය එක්සත් ජනපදය හා ඔවුන්ගේ මිත්‍රශීලින් විසින් දෝෂදර්ශනයට ලක්කිරීමට ප්‍රතිචාර වශයෙන් ඉරාන පනත ඉදිරිපත් ව ඇති බව විශ්වාස කෙරෙන බව ද සඳහන් ව තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා