රෙඩ්සන් අපරාජිතව ඉදිරියෙන්

රෙඩ්සන් අපරාජිතව ඉදිරියෙන්

ගම්පොළ පාපන්දු ලීගය වසරක් පාසා පවත්වනු ලබන “ද ට්‍රැවලර්ස්” කුසලාන අන්තර් ක්‍රීඩා සමාජ පළමු කාණ්ඩයේ පාපන්දු තරග මාලාවේ 4 වැනි වටය නිමවන විට ගම්පොළ රෙඩ්සන් ක්‍රීඩා සමාජය අපරාජිතව ඉදිරියෙන් සිටී.

මෙම තරගාවලියේදී රෙඩ්සන් පිල වෙතින් ෆ්‍රෙන්ඩ්ස් පිල ගෝල් 8 - 1 කින් ද, යන්ග් යුනයිටඩ් පිල ගෝල් 4 – 0 කින්ද, ක්‍රිෂ්ටල් පැලස් පිල ගෝල් 3 – 0 කින්ද, සිල්වර් ස්ටාර් පිල ගෝල් 7 - 0 කින් පරාජයට පත්වී ඇති අතර, රෙඩ්සන් පිල ගෝල් 22 ක් ලබා ලකුණු 12 ක් ලබාගෙන ඇත.

මෙහි දෙවැනි ස්ථානය ලකුණු 7ක් ලබාගත් යන්ග් යුනයිටඩ් කණ්ඩායමට හිමි වී තිබේ. ලකුණු 6ක් ලබාගෙන සිටින ෆ්‍රෙන්ඩ්ස් ක්‍රීඩා සමාජය තරගාවලියේ තෙවැනි ස්ථානය හිමිකර ගෙන ඇත.

ද ට්‍රැවලර්ස් ග්ලෝබල් පුද්ගලික සමාගම අනුග්‍රහය දක්වන මෙම තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායමට මුදලින් රුපියල් 50,000ක් පිරිනැමෙන අතර, අනුසූරතාව දිනාගන්නා පිලට රුපියල් 25,000ක් පිරිනැමේ.

මේ අතර ගම්පොළ පාපන්දු ලීගය මෙහෙයවන බොබී කුසලාන 2වැනි කාණ්ඩයේ පාපන්දු තරගාවලියේ ග්‍රීන්ලන්ඩ් ක්‍රීඩා සමාජය ලකුණු 12ක් ලබාගෙන ඉදිරියෙන් සිටී.

රෙඩ්සන් පිල (ප්‍රවීණයන්) මේ වන විට මෙහි දෙවැනි ස්ථානය හිමිකරගෙන තිබේ.

මේ තරග මාලාවට අනුග්‍රහය දක්වන්නේ මහනුවර බොබී කර්මාන්ත ශාලාවයි. තරග මාලාවේ ජයග්‍රාහකයින්ට මුදලින් රුපියල් 10,000ක් පිරිනැමේ. අනුසූරතාව දිනාගන්නා පිලට මුදලින් රුපියල් 10,000ක් ප්‍රදානය කැරේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා