මහින්ද ජනපතිතුමා බිහිවුණේ මතු උපදින දරුවන්ගේ පිනටයි

මහින්ද ජනපතිතුමා බිහිවුණේ මතු උපදින දරුවන්ගේ පිනටයි

- උඩුගම්කන්දේ හේමාලෝක හිමි

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අපේ පමණක් නොව උපදින්න සිටින දරුපැටියන්ගේත් පිනට පහළවූ නායකයකු බවත් දශක තුනක් පැවති යුද්ධය වසර තුනකින් නිමකර මාස තුනකින් සහන ලබාදීමට නොහැකි බවත් සාංඝිකාරාමාධිපති උඩගම්කන්දේ හේමාලෝක හිමියෝ පැවැසූහ.

උන්වහන්සේ එසේ පැවැසුවේ ඉකුත් දින ගොඩගම පුරාණ විහාරස්ථානයේ පැවැති රණවිරු උපහාර පින්කම් මාලාව අවසානයේ ධර්ම දේශනාවක් පවත්වමිනි.

විහාරාධිපති කොටිගල නන්දරතන හිමියන්ගේ අනුශාසනා පරිදි ගොඩගම “ දීඝායු” ජ්‍යෙෂ්ඨ පුරවැසි කමිටුව සංවිධානය කළ මේ රණවිරු උපහාර පින්කමට 25 නමකට සංඝගත දක්ෂිණාවක් පිරිනැමීම, පුදුකුඩුඉරිප්පු අවසන් සටනේදී පාදයක් අහිමි රණවිරුවකුට අවශ්‍ය උපකරණ ලබාදීම ආදිය ඇතුළත්විය.

හේමාලෝක ස්වාමීන් වහන්සේ මෙසේද පැවැසූහ. එදා දොරේඅප්පා නගරාධිපතිවරයාට බෙහෙත් කොටන තුවක්කුවෙන් වෙඩිතබා ඝාතනය කරපු කොටියාගේ යුදශක්තිය අහස්යානය සබ්මැරීනය දක්වා වර්ධනය වී ශක්තිමත් වුණා. අපේ හිටපු නායකයෝ විවිධ උපක්‍රම අඩුවැඩි වශයෙන් යෙදුවා . ඉන්දියන් හමුදාව පවා ගෙන්වා ගත්තා. සාම ගිවිසුම් ගැහුවා.

සමහර ඒවාට කොටියා තවතවත් ශක්තිමත් වුණා.

අප රටේ බුද්ධිමතුන් වියතුන් නැතිවුණා. ආගමික සිද්ධස්ථාන ලෙයින් නැහැවුණා. ජාතික ධනය උපදන ස්ථාන නැතිවුණා. උදේ රැකියාවට ගිය සැමියා පාසලට ගිය ළමයා ගෙදර එනතුරු විශ්වාසයක් නැතිව සිටි වකාවනුවක් තිබුණා.

එවැනි වකවානුවක අපේ පමණක් නොව උපදින්න සිටින දරුපැටියාගේත් පිනට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පහළ වුණා. අද සමහරු ප්‍රශ්න කරනවා යුද්ධය ඉවරයි.

තවම බඩුමිල පහළ ගියේ නෑ කියා. දශක තුනක් පැවති යුද්ධය වසර තුනකින් නිමාකර මාස තුනකින් සියලුම සහනයන් දෙන්ට හැකියාවක් නෑ. ඒ ගැන තේරුම්ගෙන ආර්ථික යුද්ධයෙන්ද ජයගැනීමට අපේ ජනාධිපතිතුමාට පූර්ණ සහයෝගය ලබා දියයුතුයි.

ජාතිය වෙනුවෙන් ජීවිත පූජා කළ රණවිරුවනට පින්දීමට මහා සංඝරත්නය විෂයෙහි දානයක් දීමත් ආබාධිත රණවිරුවකුට අවශ්‍ය උපකරණයන් ලබා දීමටත් ගොඩගම දීඝායු වැඩිහිටි කමිටුව කටයුතු කිරීම ගැන ප්‍රසාදය හිමිවෙනවා.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා