හෝමාගම අකාර්යක්ෂම ප්‍රජා ජල ව්‍යාපෘති 3ක් සංවර්ධනය කැරේ

හෝමාගම අකාර්යක්ෂම ප්‍රජා ජල ව්‍යාපෘති 3ක් සංවර්ධනය කැරේ

හෝමාගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පැරැණි අකාර්යක්ෂම ප්‍රජා ජල හා සනීපාරක්ෂක ව්‍යාපෘති තුනක් යළි සංවර්ධනය කොට නගාසිටුවීමට කොළඹ දිස්ත්‍රික් ව්‍යාපෘති කාර්යාලය සැලසුම් කැර ඇත. ඒ අනුව පනාගොඩ බටහිර ප්‍රජා මූල සංවිධානය, හල්කඳවත්ත පිණිමුතු ප්‍රජා මූල සංවිධානය හා උන්දුරුගොඩ අරුණලු ප්‍රජා මූල සංවිධානය මේ අනුව සංවර්ධනය කෙරේ.

මේ සඳහා රුපියල් විසිතුන් ලක්ෂ හැත්තෑ හතර දහස් නවසිය දහ නවයයි ශත පනස් පහක මුදලක් වැයවෙන බව ව්‍යාපෘති කාර්යාලය පවසයි.

මේ සඳහා ව්‍යාපෘති කාර්යාලය විසින් රුපියල් දස ලක්ෂ අසූ දහස් එකසිය දහ තුනයි ශත හතළිස් පහක මුදලක් ලබාදෙයි. අදාළ ප්‍රජා ජල මූල සංවිධාන විසින් ප්‍රජාව මඟින් රුපියල් හත් ලක්ෂ අසූපන් දහස් තුන්සිය පනස් අටක මුදලක් ලබාදිය යුතුය. ඊට අමතරව ප්‍රජාවගේ ශ්‍රමයෙන් රුපියල් පන් ලක්ෂ නව දහස් හාරසිය හතළිස් අටයි ශත දහයක මුදලක් ලබාදිය යුතු බව ව්‍යාපෘති කාර්යාලය පෙන්වා දෙයි. මේ සඳහා ගතවිය යුතු කාලය මාස නවයකි.

ඒ අනුව පනාගොඩ බටහිර ප්‍රජා මූල සංවිධානය විසින් නව ළිඳක් ඉදිකිරීම, ප්ලාස්ටික් ටැංකියක්, ටැංකි ආධාරකයක්, ප්‍රධාන නල මාර්ගය සංවර්ධනය කළ යුතුය.

හල්කඳවත්ත, පිණිමුතු ප්‍රජා මූල සංවිධානය විසින් ළිඳ වටේට පෙරහන් මාධ්‍යයක් දැමීම හා ක්ලෝරිනේටරයක් සකස් කිරීමද, උන්දුරුගොඩ අරුණලු ප්‍රජා මූල සංවිධානය විසින් ප්‍රමාණවත් නොවන ජල මූලාශ්‍රයට අමතරව නව ළිඳක් හා නව පොම්පයක් සකස් කර ගැනීමත්, ඊට විදුලිය ලබාගැනීමටත් එම මුදල් වැය කළ යුතු බව කාර්යාල බලධාරිහූ පෙන්වා දෙති.

මේ සඳහා කාර්යාලය මගින් රුපියල් දෙලක්ෂ අනූ දහසක මුදල් අත්තිකාරම් වශයෙන් ලබා දී ඇති බව එම නිලධාරිහූ ප්‍රකාශ කරන අතර දැනටමත් එම ප්‍රජා මූල සංවිධාන තුනේ ම සංවර්ධන කටයුතු ආරම්භ කොට ඇති බවත් පෙන්වා දෙති

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා