‘ගැමිසරණ’ වැඩපිළිවෙළ යටතේ  ගම්මාන සියල්ලම සංවර්ධනය වෙමින් පවතිනවා

‘ගැමිසරණ’ වැඩපිළිවෙළ යටතේ  ගම්මාන සියල්ලම සංවර්ධනය වෙමින් පවතිනවා

- ඇමැති රෝහිත අබේගුණවර්ධන

රටේ සියලු ගම්මාන ‘ගැමිසරණ’ වැඩපිළිවෙළ යටතේ සංවර්ධනාත්මක ප්‍රගතියක් ලබමින් පෙරට යමින් පවතින බව ජාතිය ගොඩනැඟීම් ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා පැවැසීය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යුද්ධය අවසන් කළ බවත්, ඒ තත්ත්වය රැකගැනීමට කැපවීමෙන් යුතුව සියලු දෙනා පෙරට යා යුතු බවත් කී ඒ මහතා ‘නැහැ - බැහැ’ කියන වචන දෙක අප අතරින් ඉවත් කළ යුතු බවත් කීවේය.

ජනාධිපතිතුමා ත්‍රස්තවාදය නැති කැර දැමීමට ‘බැහැයි’ කීවා නම් අපගේ නගරයත් ත්‍රස්තවාදීන් යටතට පත්ව අවසාන යයි ද කීවේය.

ඒ මහතා එසේ පැවැසුවේ කළුතර අල්විස් වත්ත ඇටවිල, වෙනිවැල්කැටිය, ගල්ලස්ස සහ අළුබෝලන්ද යනාදී ග්‍රාමසේවා වසම් විස්සක පමණ පවුල් ඒකරාශී කැරගෙන ස්ථාන හයකදී ඒ ඒ ගම්වල පවතින විදුලිය, ජලය, මාර්ග කොන්ක්‍රිට් කිරීම, ඉඩම් ප්‍රශ්න ඔප්පුවල අඩුපාඩු, විහාරස්ථාන ප්‍රගතිය සඳහා ‘ගැමිසරණ’ සංකල්පය යටතේ කඩිනම් ක්‍රියාමාර්ග අනුගමනය කිරීම සඳහා වූ රැස්වීම් මාලාවකදීය.

ඇමති අබේගුණවර්ධන මහතා මෙසේ ද කීවේය

එදා මැති ඇමැතිවරු මෙන්ම රාජ්‍ය නිලධාරීන් ඔවුන් වෙත ගැමි ජනතාව කැඳවා වටින් ගොඩින් ප්‍රශ්න සාකච්ඡාවට බඳුන් කළා.

අද එදා මෙන් නොව, රජයේ උසස් නිලධාරීන් ද කැටුව යන ඇමතිවරයා ගැමි පරිසරයේදීම පොදු ජනතාව මුණගැසී ඔවුන්ගේ හඬට ඇහුම්කන්දී ඔවුන්ගේ ඉල්ලීම් ඉටුකිරීමේ සද් ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරනවා.

ස්වයං රැකියා සඳහා ඕනෑම කෙනකුට සමෘද්ධි බැංකුවට ණයකරයක් ඉදිරිපත් නොකර සාක්ෂි ඉදිරිපත් කිරීමෙන් රුපියල් විසිපන්දහස දක්වා ණය ලබාගත හැකියි.

තම තමන් නිෂ්පාදනය කරන භාණ්ඩ හෝ ද්‍රව්‍ය සඳහා යහපත් වෙළෙඳ පොළක් ඇද්ද? යන්න විමසා බලා ස්වයං රැකියා නිෂ්පාදන දියුණු කළ යුතුයි. ගමේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මවුපියන් වෙහෙසෙනවා.

එම දරුවන් මොන උපාධිය පාස් වුණත් විනය නැතිනම් වැඩක් වන්නේ නැහැ.

එම නිසා හැම දරුවකුම දහම් පාසල වෙත යැවිය යුතුයි. දහම් පාසලින් ලබන අධ්‍යාපනය වගේම විනය අති විශිෂ්ටයි.

කළුතර ප්‍රාදේශීය ලේකම් සිරිසෝම ලොකුවිතාන මහතා ද කතා කෙළේය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා