මා අත් අඩංගුවට පත් වන විට යතුරු පැදිකරු මිය ගිය බව දැන ගත්තා

මා අත් අඩංගුවට පත් වන විට යතුරු පැදිකරු මිය ගිය බව දැන ගත්තා

මරණ පරීක්ෂණයේදී රියැදුරා කියයි

පෞද්ගලික ආයතනයක රියැදුරකු එහි තිබූ වාහනයක් අනවසරයෙන් රැගෙන ගොස් මත් පැන් බී වෙරි මතින් එම වාහනය පදවමින් සිටියදී එහි යතුරු පැදියක් හැපී එහි ගමන් ගත් අය බරපතළ තුවාල ලබා රෝහලට ඇතුළත් කිරීමටත් පෙර මිය යාමේ සිද්ධියක් කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ පැවැති හදිසි මරණ පරීක්ෂණයකදී අනාවරණය විය.

මෙසේ මිය ගොස් ඇත්තේ පොල්ගස්ඕවිට සියඹලාගොඩ පදිංචිව සිටි විතානගේ අජිත් ගාමිණි නමැති 45 හැවිරිදි දෙදරු පියෙකි.

මේ මරණය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක ඩී. එම්. ධර්මසිරි අල්විස් මහතා විසින් එම රෝහල් අධිකරණයේ සිදු කරන ලදී.

මිය ගිය අයගේ බිරිය වන ජයකොඩිගේ නදීකා පුෂ්පකුමාරි මහත්මිය කොහුවල පොලිසියේ උ. පො. පරීක්ෂක මායා රංජන් මහතාගේ මෙහෙයවීම මත සාක්කි දෙමින් මෙසේ කීවාය. මිය ගොස් සිටින්නේ මාගේ ස්වාමිපුරුෂයායි. අප දෙදෙනා විවාහ වී වසර 8 ක් වෙනවා.

දරුවන් දෙදෙනකු සිටිනවා. මගේ සැමියා රැකියාව කෙළේ පෞද්ගලික ආයතනයකයි. මා දන්න තරමින් ඔහුට කිසිදු රෝගයක් තිබුණේ නැහැ.

රාත්‍රියේ ගෙදර එන විට සැමියා පදවාගෙන ආ යතුරු පැදිය වෙනත් වාහනයක හැපී ඔහු රෝහලට ඇතුළත් කළ බව පොලිසියෙන් දැනුම් දුන්නා.

එවිට මා රාත්‍රියේම රෝහලට ආවා. එහෙත් සැමියා මිය ගිය බව මා දැන ගත්තේ නැහැ. පසු දින මා රෝහලට ආ විට සැමියා මිය ගිය බව දැන ගත්තා. අනතුරට මුල් වූ වාහනයේ රියැදුරා සාක්කි දෙමින් මෙසේ කීවේය. කොහුවල පෞද්ගලික ආයතනයක වෙළෙඳ සහායකයකු හා රියදුරකු වශයෙන් මා රැකියාව කරනවා. අනතුර වූ දින මා සවස 2 ට වැඩ අවසන් කළා.

ඉන් පසු මා ආයතනයට අයත් වාහනයක් ආයතනයේ අවසරයකින් තොරව හොරණ යාමට රැගෙන ගියා. මේ වන විට මා මත් පැන් බී සිටියා.

මම හොරණ මාමලාගේ ගෙදර ගොස් ඇවිත් මගේ මල්ලී ඇරලීමට තිඹිරිගස්යායට ගියා. මේ යන අතරේ දුටුගැමුණු වීදියේ පෞද්ගලික ආයතනයක් අසලදී මා පැදවූ රථයේ යතුරු පැදියක් හැපුණා. මා වාහනය ඇතුළේ හිර වුණා. පාරේ ගිය අය තුවාල කරු රෝහලට රැගෙන ගියා.

මා පොලිස් අත් අඩංගුවට පත් වන විට යතුරු පැදිකරු මිය ගිය බව දැන ගත්තා. දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී ජේ. සී. සමරවීර මහතා මිය ගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීය.

ඉදිරිපත්ව තිබූ වෛද්‍ය වාර්තාව සහ සාක්කි සැලකිල්ලට ගත් හදිසි මරණ පරීක්ෂක ධර්මසිරි අල්විස් මහතා මේ මරණය මාර්ග රිය අනතුරකින් හිසට හා බෙල්ලට සිදුවූ බරපතළ තුවාල නිසා සිදුව ඇති බව නිගමනය කෙළේය.

සැකකාර රියැදුරා අධිකරණය හමුවට පමුණුවන ලෙසටද හදිසි මරණ පරීක්ෂකවරයා කොහුවල පොලිසියට නියෝග කෙළේය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා