බලපිටියේ අද එක කොළ කොඩියක් නෑ

බලපිටියේ අද එක කොළ කොඩියක් නෑ

එජනිස බලපිටිය අපේක්ෂක සාලිය ශ්‍රී චන්න මෙන්ඩිස්

ප්‍රදේශයේ සංවර්ධන කටයුතුවල සාර්ථකත්වය සහ දේශපාලනික වශයෙන් ඉදිරියේදී සිදුකිරීමට අපේක්ෂා කරන ක්‍රියාමාර්ගය පිළිබඳ මෙවර දකුණු පළාත් සභා මැතිවරණය සඳහා ගාල්ල දිස්ත්‍රික්කයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වදින බලපිටිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති සාලිය ශ්‍රී චන්න මෙන්ඩිස් මහතා සමඟ ‘දිනමිණ’ කළ සංවාදයකි.

බලපිටිය ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා හැටියට ඔබ කර ඇති සේවය පිළිබඳ යමක් පවසන්නේ නම්?

මම දේශපාලනය කරන්නට පටන් ගත් දවසේ සිට විශාල වැඩකොටසක් කරන්නට කටයුතු කළා. මට ලැබුණු මන්ත්‍රී දීමනාව මගේ් පදනමට බැර කොට පාසල් දරු දැරියන්ට උපකාර කරමින් ඔවුන්ට ශිෂ්‍යත්ව පිරිනැමීමටත් අඩු ආදායම්ලාභී නිවාසවල දරුවන් සඳහා පාසල් උපකරණ ලබාදීමටත් පියවර ගත්තා.

මම සමාජ කටයුතුවල නිරතවන්න බොහෝ සෙයින් ප්‍රියතාවයක් දක්වනවා. ඒ නිසාම වැඩි වැඩියෙන් එවැනි සේවාවල නිරත වෙනවා.

දේශපාලනය කියන්නේ සමාජ සේවයක්. 2004 වසරේ සිදුවූ සුනාමි ව්‍යසනයෙන් මගේ නිවසත් විනාශ වුණා. එතැන සිට ටික කාලයක් මම සිටියේ අවතැන් කඳවුරකයි. ඒ කඳවුරේ සිටියදීත් මම සුනාමි සහන වැඩ පටන් ගත්තා. ඊට ටික කාලයකට පස්සේ මම කුලී නිවෙසකට ගියා. මම බලපිටිය ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා වුණේ 2006 වර්ෂයේදී. ඒ වෙනතුරු මම ප්‍රදේශයේ සැමට සහය වෙමින් විවිධ සමාජ කටයුතුවල නිරතවූවා.

සුනාමි ව්‍යසනයෙන් ලැබුණු ආධාර සාධාරණ ලෙස බෙදා දෙන්නට මම පියවර ගත්තා. අහුංගල්ල රාජපක්ෂ විද්‍යාලයේ නව ගොඩනැගිලි 4 ක් ඉදිකිරීම සඳහා රුපියල් කෝටි 3 ක මුදලක් වෙන් කළා.

වතුගෙදර සිරි අබේතිස්ස විද්‍යාලයට ගොඩනැගිල්ලක් ලබා දුන්නා. බලපිටිය විමලසාර විද්‍යාලයටද ගොඩනැඟිල්ලක් ලබා දුන්නා. ඊට අමතරව බලපිටිය මාදුව විද්‍යාලයටද අංගසම්පූර්ණ ගොඩනැඟිල්ලක් ලබා දුන්නා.

සුනාමි ව්‍යසනයෙන් විශාල ලෙස හානියට පත් ගම්මාන තෝරාගෙන ඒවා ප්‍රතිසංවිධානය කිරීමට කටයුතු කළා. ඊට අමතරව මම ප්‍රංශයේ චේතනා ආයතනය සමඟ එක්වී මානසික රෝගීන් වෙනුවෙන් යම් මෙහෙයක් ඉටුකිරීම සඳහා පියවර ගත්තා. ඒ වෙනුවෙන් ළමා නිවාසයක් බලපිටිය, පාතේගම ස්ථාපිත කළා.

අද වනවිට ළමුන් 50 ක් පමණ ඉගෙන ගන්නවා. එහි සභාපතිවරයා හැටියටද මම කටයුතු කරනවා.

මීට අමතරව මගේ් හරිත භූමි පාරිසරික පදනම මගින් විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වෙනවා. පාසල් අවධියේ සිට ඒ සඳහා උනන්දුවෙන් කටයුතු කළා. මාදුගඟ ආශ්‍රිතව කඩොලාන ආරක්ෂා කිරීම සමාජ සේවයක් විදියට කරගෙන යනවා. සුනාමි ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ යටතේ් ධීවර අමාත්‍යාංශය සමඟ එක්ව රුපියල් කෝටි 5 කට ආසන්න මුදලකින් මාර්ග, ප්‍රජාශාලා ඉදිකිරීම් ආදී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළා.

පෞද්ගලික ආයතන සමඟ එක්වී රැකියා අවස්ථා 500 ක් පමණ ප්‍රදේශයේ තරුණ තරුණියන්ට ලබා දී තිබෙනවා. ඒ වගේම තරුණ තරුණියන්ගේ ක්‍රීඩා කුසලතාවයන් නැංවීම සඳහාද පියවරගෙන තිබෙනවා.

ප්‍රාදේශීය සභාව නියෝජනය කරන ඔබ මෙවර දකුණු පළාත් සභාව නියෝජනය කරන්නේ කුමක් අරමුණු කරගෙනද?

මම බලපිටිය ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා වශයෙන් කටයුතුª කරන්නේ වසර තුන හමාරක සිටයි. මම දේශපාලනයට පැමිණියේ පාසල් ශිෂ්‍යයකු හැටියටයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්තරා අවස්ථාවක සහභාගි වුණු පාද යාත්‍රා වැඩසටහනකට මම බෙන්තර පාලම ළඟට පැමිණියා. එදා සිට තමයි මම දේශපාලනය සඳහා පෙළඹුණේ.

පසුව ප්‍රදේශයේ තරුණ සංවිධාන සමඟ වැඩ කළා.

2006 දී මම බලපිටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයකු ලබා ගත් වැඩිම මනාප සංඛ්‍යාව වන 5553 ක් ලබා ගත්තා. මම මෙවර පළාත් සභාවට තරග කරන්නේ ප්‍රාදේශීය සභා දේශපාලනඥයෙකුට එහා ගිය විශාල පරිමාණයේ සේවයක් ප්‍රදේශයට ඉටුකිරීම සඳහායි.

මෙවර පළාත් සභා මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විපක්ෂය කොතරම් අභියෝගයක් වේවිද?

අපිට කිසිම අභියෝගයක් නෑ. ඒ ගැන බොහොම පැහැදිලිවම කියන්න පුළුවන්. අපේ රජයේ ඉදිරි වැඩපිළිවෙළත් සමඟ අද තරුණ අසහන නෑ. විපක්ෂයට අද කිසිම බලයක් නෑ. අපේ ජයග්‍රහණය පිළිබඳ බිය විය යුතු නෑ.

එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ දුර්වලතාවය හා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩපිළිවෙළ සමඟ රට ගැන හිතන සියලු දෙනා අපි සමඟ ඉන්නවා.

අද එක්සත් ජාතික පක්ෂයේ අයත් පැහැදිලිව කියනවා ජනාධිපතිතුමාට සහාය දෙන්න ඕන කියලා. අද බලපිටිය ආසනය පුරා කොළ පාට කොඩියක් දකින්න නෑ.

ජනතාව ඒ අය සමඟ එක්ව කටයුතු කරන්නේ නෑ. ඔවුන්ට අද කිසිම විකල්පයක් නෑ.

ජයග්‍රහණය කළොත් පළාත් සභාව තුළ කොතරම් සේවාවක් කිරීමට බලාපොරොත්තු වෙනවාද?

ප්‍රාදේශීය සභාවට වඩා විශාල යමක් පළාත් සභාව තුළ කරන්න පුළුවන්. ඇත්තටම ගාල්ල දිස්ත්‍රික්කය තුළ විශාල වැඩ කොටසක් කිරීමට බලාපොරොත්තු වෙනවා. මම දිස්ත්‍රික්කයේ තරුණ පිරිස වෙනුවෙන් විශේෂ ව්‍යාපෘති කිරීමට අපේක්ෂා කරනවා. ඊට අමතරව මම අඩු ආදායම්ලාභී පවුල් නගාසිටුවීම වෙනුවෙන්ද යම් සේවයක් කරනවා. මේ සියලු කාර්යයන් සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය අපිට ලැබෙනවා. මහින්ද චින්තනයට අනුව ඉතා සාර්ථක ලෙස අපි ඉදිරියට යනවා. ඒ කටයුත්ත අපි නිසියාකාරව සිදුකරනවා.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා