බිස්නස් ලෝකයේ දැවැන්තයෙකුගේ ඉරණම

බිස්නස් ලෝකයේ දැවැන්තයෙකුගේ ඉරණම

සිදුවීම සැලැසුම් කළේ මැනිං මාකට්ටුවේදී
කරුණු වසන් කළාට අවු: 63ක දඬුවමක්

අද බ්‍රහස්පතින්දා. පියල් බිත්තියේ ඉරි ඇඳලා දවස් ගණන් කළා. ඉර ආයෙමත් දවසක් අලුත් කරලා. ඒත් පියල්ගේ ජීවිතයේ වෙනසක් ඇතිවෙන්න ඔහුට තවත් අවුරුදු ගණනාවක් බලන් ඉන්න වෙනවා.

කැලැන්ඩර්, ඔරලෝසු කටු මේ ඔක්කොම කැරකෙන්නේ හෙමින්. තාත්තා මේ කිසිවක් නොදකින්න දෑස් පියාගත්ත එක කොයි තරම් හොඳද? එහෙම වේලාවට ඔහුට ඉබේ ම හිතෙනවා. බිරිඳ, දරුවෝ, අම්මා පියල්ගේ මනසේ පිළිවෙළට රූප අඳිනවා. එතකොට ඔහුටත් නොදැනීම ඇහැට කඳුළක් නැඟෙනවා.

පියල් වෙත්තසිංහ, අගනුවර ප්‍රධාන පාසලක ශිෂ්‍යයෙක් ලෙස පාසල් ජීවිතය අවසන් කරන විට ම ඔහුගේ ජීවිතය ඉතාම පැහැදිලි මාවතකට වැටී තිබුණා. හේවාගම් කෝරළයේ සුපතල උළු කර්මාන්තශාලා කිහිපයක හිමිකරුවෙක් වූ ඔහුගේ පියාට තම දරුවන් තිදෙනාගේ අනාගතය ස්ථාවර කරන එක අමාරු දෙයක් වුණේ නැහැ.

හිස් ටින් කබලක්, ජම්පරයක් සහ කම්බිලියක් අද එකම වස්තුව වෙලා. නාට්‍යයක ජවනිකා මාරු වුණා වගේ මේ සියල්ල වෙනස් වුණේ කෙතරම් ඉක්මනටද?

පියල් මා ඉදිරිපිට ම වාඩි වී සිටියත් ඔහුගේ දෑස් මහර බන්ධනාගාරයේ යෝධ කොටු පවුරටත් ඉහළින් වූ නිල් අහස වෙත යොමු වී තිබුණා. ඒවායේ නිදහස පිණිස වූ බලාපොරොත්තු තවමත් තියෙනවා.

”පියල්, ඔයාගේ වයස කීයද?”

“හතළිස් පහක් වෙනවා”

ලොක්කා පැහැර ගැනීම

”ඇතුළට ඇවිල්ලා අවුරුදු කීයක් වෙනවද?”

“දහයාමාරක් වෙනවා” ඔහු නැවතත් පිළිතුරු දෙයි.

”ඔයාට අච්චු කෙළේ අවුරුදු කීයකටද?”

“අවුරුදු හැට තුනකට”

“ඉතින් ඔයා ඇපිල් කෙළේ නැද්ද?” මම නැවත විමසුවෙමි.

“ඇපිල් කළා. ඒකෙන් අවුරුදු තිස් තුනකට අඩු වුණා.

“ඔයා මොකක්ද කළ වරද? මගේ මීළඟ ප්‍රශ්නයට ඔහු නිරුත්තර විය.

“මහත්තයට මතකද? ඩී. එස්. සමානසිංහ මූල්‍ය සමාගම් ලොක්කා පැහැරගෙන ගිය සිද්ධිය” ජේලර් මහතා ඔහු වෙනුවෙන් පිළිතුරු බඳියි. “අර ලක්‍ෂ දෙසීයේ කප්පම් සිද්ධිය. ඔහු මගේ මතකය මෑත ඉතිහාසයේ මෙරට සිදු වූ විශාලතම මංකොල්ලයක් වෙත ගෙන යයි.

කොළඹ රාජකීය ගෝල්ෆ් ක්‍රීඩා සමාජයට නිතර ආගිය මේ කෝටිපති ව්‍යාපාරිකයාගේ ගමන් බිමන් ගැන අවධානයෙන් සිට ඔහුව පැහැරගෙන යාමට සැලැසුම් කෙළේ කවුරුන්ද? කොළඹ මැනිං මාකට්ටුවේ වෙළෙන්දන් කිහිප දෙනෙක් මෙයට සම්බන්ධ වූයේ කෙසේද? හේවාගම් කෝරළයේ සාර්ථක ව්‍යාපාරියෙකුගේ දරුවෙක් වන පියල් මේ සිද්ධියට සම්බන්ධ වන්නේ කෙසේද? වැනි ප්‍රශ්න කිහිපයකට පිළිතුරු මට පියල්ගෙන් දැනගැනීමට ඇත.

හදිසියේ ආ මෝසම් සුළං ප්‍රහාරයක් ගස් සොලවා අවදි කළා. වියළී ගිය පත්‍රිකා ශබ්දයක් නොතකාම බිම වැටුණා. පියල් නැවතත් නිහඬතාවය බින්දා.

“මම සාමාන්‍ය පෙළින් පස්සේ එන්. අයි. බී. එම්. ආයතනයේ ව්‍යාපාර කළමනාකාරීත්ව පාඨමාලාවක් කළා. තාත්තා අපිවත් එයාගේ ව්‍යාපාරවලට සම්බන්ධ කර ගත්තා. නමුත් විවාහයෙන් පස්සේ ්මම හිතුවා මගේම කියලා ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න. මවුපියන්ගේත් උදව් ඇතිව මම මෝටර් රථ අමතර කොටස් ගෙන්වන ව්‍යාපාරයක් ආරම්භ කළා” පියල් දිගු ඉතිහාස කතාවක් කෙටි කර කියමින් සිටියා.

සිංගප්පූරුව, තායිලන්තය වැනි රටවල්වලින් ගෙන්වූ වාහන අමතර කොටස් ඔහු පාසල් මිතුරන්ගේ සහයෙන් හඳුනාගත් අගනුවර පිහිටි ප්‍රධාන වෙළෙඳසැල් කිහිපයකට සැපැයූවා. සමහර වෙළෙඳසැල්වල අයිතිකරුවන් ඔහුට තව තවත් නව ගනුදෙනුකරුවන් හඳුන්වා දුන්නා. මේ ව්‍යාපාරයේ සාර්ථකත්වය නිසාම අවුරුදු පහක පමණ කෙටි කාලයක් ඇතුළත ජපානයෙන් භාවිතා කළ වාහන ගෙන්වා අලෙවි කරන ව්‍යාපාරයක් ද ඔහු අලුතින් ආරම්භ කරනවා. දැන් ඔහුගේ ව්‍යාපාරික මිතුරු ජාලය කොළඹත් තවත් තදාසන්න නගර කිහිපයකටත් පැතිරී තිබුණා. බලා සිටියාක් මෙන් ඔහුගේ ව්‍යාපාර දියුණු වන්නට වුණා.

මිත්‍රයාට ලක්‍ෂ 60ක්

වාහන අමතර කොටස් අලෙවිය සඳහා භාර ගන්නා ව්‍යාපාරිකයන් හැමෝම ගෙවීම් කිරීම සඳහා මාස තුනක සහන කාලයක් බලාපොරොත්තු වුණා. නමුත් ඔහුට එය ගැටලුවක් වුණේ් නැහැ. ව්‍යාපාරයක් කියන්නේ ප්‍රශ්න සමඟ ගෙනයන රෝලක් බව මේ වෙනකොට පියල්ට හොඳාකාරව වැටහිලයි තිබුණේ.

මේ කාලය වන විට මැලේසියාවෙන් ලී ගෙන්වා අලෙවි කිරීමටත් මෙරට ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් යොමු වී සිටියා. මේ ගැන අවධානය යොමු කළ පියල් ද එරට වෙසෙන මිත්‍රයෙක් හරහා ණයවර ලිපි මත මෙරටට ලී ආනයනය කළා. ඔහු මුල්ම ඇණවුම ලෙස ලක්‍ෂ 80 ක පමණ ලී තොගයක් මෙරටට ආනයනය කරනවා. ආනයනය කොට මාස 6 ක් ඇතුළත ගෙන්වූ ලී වලින් භාගයක් පමණ අලෙවි කරන්න ඔහුට හැකි වෙනවා. පොරොන්දු වූ පරිදිම ඔහු මිත්‍රයාට ලක්‍ෂ 60ක් ලැබෙන්න සලස්වනවා. ඔහු ඉතිරි ලී තොගය බෙදාහැරීම සඳහා බෙදාහරින තෙක් ආරක්‍ෂාවට සොහොයුරාගේ ගබඩාවේ තැන්පත් කරනවා.

පියල්ට මේ ලූඩෝ ක්‍රීඩාවේ මෙතෙක් ලැබුණේ ඉනිමං පමණයි. නමුත් තමන් කෙමෙන් කෙමෙන් නයාගේ කට ළඟට ළඟාවෙමින් සිටින බව ඔහු කිසි ලෙසකින්වත් දැනගෙන හිටියේ නැහැ.

ලක්‍ෂ දෙසීයේ කප්පම් කොල්ලයට පියල්ගේ සම්බන්ධය ඇතිකරන්නේ මේ අවාසනාවන්ත ගබඩාවයි. ඒක ඔවුන්ගේ පැරැණි කීර්තිමත් අතීතයට හිමිකම් කියු උළු කම්හල් තුනෙන් එකකි. පියාගේ අභාවයෙන් පස්සේ මේ උළු කම්හලේ අයිතිය ලොකු අයියාට පැවැරෙනවා.

ඔහු තීක්ෂණ දැක්මක් ඇති ව්‍යාපාරිකයෙකි. අනාගතයේ ගොඩනැගිලි නිර්මාණ ක්ෂේත්‍රයේ ඇතිවන ඉල්ලුමට සරිලන පරිදි ඔහු මේ පාරම්පරික කර්මාන්තශාලාව මුළුමනින් ම නවීකරණය කරනවා. ඉන් පසු ඔහුගේ සොහොයුරා කොරියානු ආයෝජකයෙක් සමඟ හවුලේ මෙතැන ආරම්භ කිරීමට අපේක්‍ෂා කරන නාන කාමර කට්ටල නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවේ මූලික වැඩ කටයුතු බී. ඕ. අයි. ව්‍යාපෘතියක් විදියට මේ දිනවල සිදුවෙමින් පවතිනවා.

ගෝල්ෆ් ක්‍රීඩාංගණයේ

අනූහයේ ආරම්භ කළ ප්‍රතිසංස්කරණ අවසන් කරන්න තවත් වසර දෙකක් පමණ යනවා. පියල්ගේ ලී තොගය ගබඩාවට ගේනකොට එතැන මූලික වැඩ කටයුතු සියල්ලම අවසන් වෙලයි තිබුණේ. හරියටම කර්මාන්තශාලාව ආරම්භ කරන්න තව තිබුණේ මාස හයක් විතරයි. නමුත් මේ අනපේක්‍ෂිත සිදුවීමෙන් පසු ජීවිතය වෙනස් වුණේ පියල්ගේ හෝ පවුලේ පමණක් නොවේ ඔහුගේ සොහොයුරන්ටත් මේ සිදුවීමේ අපකීර්තිය බලපානවා. එහි ප්‍රතිඵලයක් හැටියට කොරියානු ආයෝජකයා ගිවිසුමෙන් ඉවත්වන අතර නානා කාමර උපාංග නිෂ්පාදන ව්‍යාපෘතිය එතැනින් අවසන් වෙනවා.

”මේ සිද්ධියයි කොළඹ ගෝල්ෆ් ක්‍රීඩාංගණයේ සේවකයින් අතරයි තියෙන සම්බන්ධය මොකක්ද? මම ඔහුට බාධා කරමි.

”අන්න එතැනට තමයි මහත්තයෝ එන්නේ” ඔහු නැවතත් කතාව කියවීම ආරම්භ කරයි.

“මේ සිදුවීමට මටවත් මැනිං මාකට්ටුවේ අයටවත් සෘජු සම්බන්ධයක් තිබුණේ නැහැ. මේකේ උල්පත ඇතිවුණේ ගෝල්ෆ් ක්‍රීඩාංගණයේදී.” පියල් නැවතත් මගේ බාධාවන් නොතකා කතා කරයි.

ඔහු සඳහන් කරන පරිදි නඩුවේ පාර්ශ්වකරුවන් වන මේ ගොල්ෆ් ක්‍රීඩාංගණයේ සේවකයින් දෙදෙනා ජපානයේ රැකියාවක් අපේක්‍ෂාවෙන් සිය නිවාස උකසට තබා ලක්‍ෂ තුනහමාර බැගින් වෙනත් පුද්ගලයෙකුට මුදල් ලබා දෙයි. සියලු දෙනාගේම මුදල් එකතු කර ගත් මේ ආගන්තුකයා ආගිය තැනක් පිළිබඳ විස්තරයක් සොයා ගැනීමට කිසිවෙකුට නොහැකි වේ. මේ සිදුවීමට ගතවුණු තැන මොවුන් දෙදෙනාම නිවාස උකසට තැබූ තැන සින්නවීමේ තර්ජනයට මුහුණපාති.

මැනිං මාකට්ටුවේ සේවකාරකාදීන් අතර මොවුන්ගේ මිත්‍රයෙක් හිටියා. ඔවුන් දෙදෙනා තමන්ගේ දුක මේ පිරිසට කිව්වා. ඒ විතරක් නෙවෙයි, තමන් සියලු දෙනාම මෙතෙක් කලක් පෙළඹි හිටියා. අගහිඟකම්වලින් එකවර ගොඩයාමේ ක්‍රමයක් ද යෝජනා කළා.

“ මම දන්න මහත්තයෙක් ඉන්නවා. එයා ප්‍රකෝටිපතියෙක්. මිනිහව කොටුකර ගත්තොත් අපි ඔක්කොටම ලොකු ගාණක් ගත හැකි”

ගෝල්ෆ් ක්‍රීඩාංගණයේ සේවකයෙක් ඩී. ඇස්. සමානසිංහ කෝටිපති ව්‍යාපාරිකයාගේ වත්කම් හා සම්බන්ධකම් පිළිබඳව අනෙක් අය දැනුවත් කෙළේය. මුව අයාගෙන මේ කතා අසාන සිටි මේ පිරිස සියලු දෙනාම වැඩය සිදු කළ යුතු ආකාරය සැලැසුම් කර ඇත. බොහෝ පිරිසක් මේ කාර්යයට සම්බන්ධ වෙන නිසා කප්පම් මුදලට ලක්‍ෂ දෙසීයයක් විය.

“මම හිටියේ ලී තොගය කොහොම හරි විකුණලා ඉවර කරලා ඊළඟ තොගය ගෙන්වන බලාපොරොත්තුවෙන්.” පියල් නැවතත් කටහඬ අවදි කරයි.

“ඒ නිසා මම දිනපතාම වාගේ ගබඩාවට යනවා. එහෙම ගිය එක දවසක අඳුනන්නේ නැති වාහනයක් ගබඩාව ඇතුලේ නවත්තලා තියෙනවා දකින්න ලැබෙනවා. මම මුරකාරයට කතා කරලා මේ ගැන ඇහුවම ඒක මස්සිනාගේ යාලුවෙක්ගේ වාහනයක් කියනවා.”

ඉන්පසු පියල් බිරිඳගේ සොහොයුරාට ඇමතුමක් ගෙන මේ සිද්ධියේ අගමුල විමසයි.

“මගේ යාලුවෙක්, මිනිහෙක්ගෙන් මුදලක් අරගෙන, මිනිහා ඒක දෙන්නේ නැතිව මඟ අරිනවා.” පොඩ්ඩක් බය කරලා අපි ඒක ගන්න හදන්නේ. ඔයාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි හෙට මිනිහව අරිනවා” මස්සිනා පියල්ට උඩින් පල්ලෙන් කියයි.

පසු දින පුවත්පත් බලන පියල්ට තමන්ගේ ගබඩාවේ සිරකර සිටින්නේ කෝටිපති ව්‍යාපාරිකයා බව සිහි වී ඉහ මොළ රත්වේ.

කප්පම්කරුවන්ගේ බලාපොරොත්තු සඵල කරමින් කෝටිපතියාගේ ආර්යාව තම සැමියා බේරාගැනීමේ අදහසින් ඔවුන් ඉල්ලූ මුදල ශතයක් හෝ අඩු නොකොට ලබා දෙයි.

කප්පම් ගැනීම

ඔවුන්ට තෘප්තියෙන් ගතකිරීමට හැකි වූයේ දින කිහිපයකි. මේ සිදුවීම පසුපස හඹා ගිය පොලිසිය සුළු කාලයක් ඇතුළත සියලු දෙනාම අත්අඩංගුවට ගත්තේය. තව ඔවුනට සොයා ගැනීමට තිබුණේ් මේ ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටියේ කොහේද යන්න පමණි. පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කොට එම සැකය ද දුරුකර ගත්තේය. ඉන් පසු ඔවුන් පියඹා ආවේ පියල් ගේ ගබඩාව වෙත ය. මේ සිදුවීමට යන දෙය ගැන ඉව වැටී මුරකරුවන් දෙදෙනා පහළ ඇති ගඟ පෙදෙසින් හෝ වෙනත් අහල පහළ වත්තකට පැන පළාගොස් ඇත.

පහුවෙනිදා ගබඩාවට ගිය පියල්ගේ ලොකු අයියා මේ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් වේ.

“මේ පියල්ගේ අයියා” ඔහු හඳුනාගත් බිරිඳගේ සොහොයුරා පොලිසියට පැහැදිලි කරයි. පියල් බාර වන තෙක් ඔවුන් සොහොයුරා රිමාන්ඩ් කරයි.

පසුදිනම නීතිඥයෙක් මාර්ගයෙන් පියල් භාරවේ. පොලිසියේ බංකුවක් මත වාඩි වී කටඋත්තරය දුන් පියල් තවත් සුළු වේලාවකට පසු අත්අඩංගුවට ගැනේ.

පලා ගිය මුරකරු හා පියල් ඇතුළු තවත් පහළොස් දෙනෙකුට විරුද්ධව පුද්ගලයෙක් අයථා ලෙස පැහැරගෙන යාමට කුමන්ත්‍රණය කිරීම, එසේ පැහැරගෙන යාම, කප්පම් මුදලක් ගැනීම ඇතුළු චෝදනා හතරක් එල්ලවේ. පහළොස්වන සැකකරු වන මුරකරු නොමැතිව නඩුව විභාග වේ. නඩුවෙන් 14 වෙනි සැකරු නිදහස් වන අතර 13 වෙනි සැකකරු වන පියල්ට වසර හැට තුනක සිරදඬුවමක් ලැබේ. පියල්ගේ නිර්දෝෂී භාවය වෙනුවෙන් දැක්විය හැකිව තිබූ ප්‍රබලතම සාක්‍ෂිය වන මුරකරු ඉදිරිපත් නොවීම තම අභාග්‍යයක් බව පියල් අදටත් විශ්වාස කරයි.

ඔහු බන්ධනාගාරව සිටි කාලය තුළදී විශාල විපර්යාසයකට ඔහුගේ පවුලේ උදවියට ද ලක්වීමට සිදුවිය. මේ සිදුවීම නිසා මුළු පවුල මතම කැළලක් ඇතිවිය. පවුලේ සියලු දෙනාම නැවත යථා තත්ත්වයට පත් කළ නොහැකි පසුබෑමකට ගොදුරු විය. දේශපාලනයේ ඉහළ හිනිපෙත්තක සිටි ඥාති සොහොයුරෙකුට මේ සිද්ධිය මත දේශපාලනයෙන් සදහට ම ඉවත් වීමට ද සිදුවිය.

තැන්පතු ව්‍යාපාරයක්

ඔහුගේ ව්‍යාපාර මුළුමනින් ම කඩා වැටිණි. බිරිඳට තනිව ව්‍යාපාර කටයුතු කරගෙන යා නොහැකි විය. නමුත් කුමන දුෂ්කරතාවයක් මධ්‍යයේ වුවත් ඔවුහු දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් නොකරන්නට සිතා ගත්හ. අවසානයේ ඔවුහු ඉඩම් කඩම් ද අලෙවි කොට වැඩිමහල් දරුවා විදේශ විශ්වවිද්‍යාලයකට අධ්‍යාපනය සඳහා යොමු කළහ.

දේපළ විකුණා අලෙවි කර ඉතිරි කර ගත් තවත් මුදලක් විශාල පොලියක් ලැබෙන තැන්පතු ව්‍යාරයක තැන්පත් කිරීමට ඉටා ගත්තේය. මූල්‍ය ආයතනයේ තැන්පත් කළ ලක්‍ෂ 35 ක මුදලට ලැබෙන පොලිය බිරිඳගේ හා දරුවන්ගේ විය හියදම් සඳහා යොදවා ගැනීමත්, තැන්පතු මුදල අනාගතයේ ඔවුන්ට දායාද පිණිස ලබා දීමත් ඔවුන්ගේ අරමුණ විය.

පියල්ගේ අපේක්‍ෂා නැවත වරක් බොඳ කරමින් මේ සුවිශාල මූල්‍ය ආයතනය කඩා වැටිණි. මිනිසෙකුට හරියන්නට පටන් ගත් විට කරන කියන සෑම දෙයක් ම සාර්ථක වන්නාක් මෙන් වරදින්නට පටන් ගත් විටද සෑම දෙයක් ම වැරදීගෙන යන බවක් පියල්ගේ ඉරණම අපට උගන්වයි.

මහර බන්ධනාගාර අධිකාරී ලක්‍ෂ්මන් අබේගුණවර්ධන මහතා සහ මහර බන්ධනාගාර සුබසාධන අංශයේ සියලු නිලධාරීන්ට අපගේ ස්තුතිය පුද කරමු.

මෙහි සියලු නම් ගම් මනඞකල්පිත යි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා