රැකියා ලබාදෙන්න අලුත් වැඩපිළිවෙළක් හදනවා

රැකියා ලබාදෙන්න අලුත් වැඩපිළිවෙළක් හදනවා

දකුණු පළාත් සභා අපේක්ෂක එච්.ඒ.පියසේන

මුලටියන ප්‍රාදේශීය සභාවේ හිටපු ස්වාධීන මන්ත්‍රීවරයකු වන එච්.ඒ.පියසේන (කිරි මහත්මයා) මෙවර පැවැත්වෙන දකුණු පළාත් සභා මැතිවරණයේ (එ.ජ.නි.ස) අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටී. ඉදිරි මැතිවරණ සැළසුම් පිළිබඳව ඔහු සමඟ “දිනමිණ” කළ සංවාදයකි මේ.

ඔබ ප්‍රාදේශීය සභාවක ස්වාධීන මන්ත්‍රීවරයෙකු වශයෙන් ජනතාවට සේවය කරමින් සිටියදී එක්වරම ඉන් ඉවත් වී සංධාන රජය යටතේ දකුණු පළාත් සභා මැතිවරණයට අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් වූයේ ඇයි ?

ජනාධිපති තුමාගේ මහින්ද චින්තන වැඩ පිළිවෙළ ගැන සතුටු විය හැකි නිසා එතුමාටත් එතුමාගේ රජයටත් අවශ්‍ය ශක්තිය ලබා දෙන්න අවශ්‍ය නිසා මා සංධාන ආණ්ඩුව යටතේ දකුණු පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වෙන්න තීරණය කළා.

අපේ ජනාධිපතිතුමා රට වෙනුවෙන් විශාල කැප කිරීමක් කරන ඉතා උතුම් නායකයෙක්. එතුමා, අපේ රටේ තිබුණු දැවැන්ත යුද්ධය ඉතා කෙටි කාලයකින් මාතෘ භූමියෙන් අතු ගා දැම්මා. නමුත් ඒ යුද්ධය නිමා වුණාට අපේ ආර්ථික යුද්ධය නිමා වුණේ නැහැ. ඒ ආර්ථික යුද්ධය නිමා කරන්න අපේ ජනාධිපතිතුමාට තනිවම බැහැ. ඒ නිසා අපි වගේ ව්‍යාපාරිකයන් එයට සහයෝගය ලබා දිය යුතුයි. ඒ නිසා මා විශ්වාසය කරනවා. දකුණු පළාත් සභාවට තේරී පත් වුවහොත් රට වෙනුවෙන් විශාල වැඩ කොටසක් ඉටුකරන්න මට හැකියාව ලැබේවිය කියලා.

ඔබේ මැතිවරණ වැඩ කටයුතු සිදුවන ආකාරය පිළිබඳව කියන්න කැමතිද ?

මගේ මැතිවරණ කටයුතු සිදු වන්නේ රටටත්, ජනතාවටත් විශේෂයෙන් අනෙක් අපේක්ෂකයන්ටත් කරදරයක් නොවන ආකාරයෙන් බව මා කියනවා. ඡන්ද කටයුතු කරන්න ප්‍රසිද්ධිය අවශ්‍ය බව මා තේරුම් ගන්නවා. ඒ නිසා නීතිය ආරක්ෂා වන පරිදි මා මගේ ප්‍රචාරක කටයුතු කරගෙන යනවා.

දකුණු පළාත් සභාවෙන් මෙවර සංධාන රජයට ලැබෙන ඡන්ද ප්‍රතිශතය ගැන ඔබ කියන්නේ කුමක්ද ?

ඇත්ත වශයෙන් ම සංධාන රජයට පැවතුණු මැතිවරණවලිනුත් විශාල ඡන්ද ප්‍රමාණයක් ලැබුණා. එය නෑ කියලා කියන්න කාටවත් බැහැ මං හිතන්නේ එයට හේතුව රටේ තිබෙන නිවැරැදි නායකත්වය. දකුණ කියන්නේ කොහොමත් අපේ විපක්ෂයට බර පළාතක් නේ. අපේ ජනාධිපතිතුමාත් දකුණේ කෙනෙක් නිසා මේ මැතිවරණයෙන් සංධාන රජයට විශාල ඡන්ද ප්‍රමාණයක් ලැබෙනවා.

මා හිතන්නේ දකුණේ මිනිස්සු හරිම බුද්ධිමත් ඒ වගේම දකුණේ ජනතාව කවදාවත් දෙවෙනි වෙලා නැහැ. එහෙනම් දකුණට කරපු සංවර්ධන වැඩත් එක්ක අපි දකුණෙන් දකුණේ ජනතාව හැටියට විපක්ෂයට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරන්න දැනටමත් තීරණය කරළ හමාරයි. ඡන්ද ප්‍රතිශතය විධියට ගතහොත් එය සියයට අසූවක් (80%) ඉක්මවා යාවි.

මාතර දිස්ත්‍රිත්කය තුළ එජාපයට හා ජවිපෙට ඡන්ද පදනමක් තිබෙනවද ?

ඒ පක්ෂ දෙකටම කිසිම ඡන්ද පදනමක් මාතර දිස්ත්‍රික්කය තුළ නැහැ. එයට හේතුව විධියට මා දකින්නේ ඒ පක්ෂ දෙකට ම හොඳ නායකත්වයක් නැති වීම යි. එය මාතර දිස්ත්‍රික්කයේ පමණක් නොවෙයි. දකුණු පළාතේ පමණක් නොවෙයි මුළු රටට ම බලපා තිබෙනවා. මාතර දිස්ත්‍රික්කය ගෙන බැලුව හොත් මෙවර මැතිවරණය සඳහා 25ම පක්ෂ දෙකෙන් ඉදිරිපත් කරපු කණ්ඩායම් දිහා බැලුවම එය හොඳට පැහැදිලි වෙනවා.

ඔබේ පෞද්ගලික ධනය වැය කරමින් සංවර්ධන වැඩ කටයුතු රාශියක් මේ වනවිට සිදුකර තිබෙනවා. එසේ කරන්නේ දේශපාලන වශයෙන් ඔබේ ඡන්ද පදනම හදාගන්නද ?

ප්‍රදේශයේ දුප්පත් ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටුකරන්න විශාල ධනයක් මා මේ වන විටත් යොදවා තිබෙනවා.

විශේෂයෙන් මාර්ග, අධ්‍යාපනය නිවාස, පානීය ජල අවශ්‍යතා ආදිය සඳහා දුප්පත් ජනතාවගේ අවශ්‍යතා ඉටුකර දීම රජයේ වගකීමක් පමණක් නොවන බව මා කියනවා. ඒ නිසා මා එය අවබෝධකරගෙන ජනතාවගේ අවශ්‍යතා ඉටුකර දෙනවා.

හැබැයි එහෙම කරන්නේ මට ඡන්ද පදනමක් හදාගන්න නොවන බව මා කියනවා. ඡන්ද පදනමක් හදාගන්න නම් මගේ ව්‍යාපාරවල නිරතවන පිරිස තුළින් මට එය ඉටුකරගන්න හැකියාව තිබෙන බවත් මා ප්‍රකාශ කරනවා.

මේ මැතිවරණ ක්‍රමයේ තිබෙන මනාප ක්‍රමය ගැන ඔබේ අදහස කුමක් ද?

මේ මනාප ක්‍රමය අපේ රටට කෙසේවත් උචිත නැති බව මා කියනවා. අද වන විට අපේක්ෂකයෝ ළඟ තිබෙන්නේ පක්ෂය දිනවීමට නොවෙයි. තමන්ගේ ගොඩ ලොකු කර ගැනීමට උනන්දු වීමක්. එහෙම වෙනකොට පක්ෂයට හානි වෙන්න තිබෙන ඉඩ කඩ වැඩියි. ඒ විතරක් නොවෙයි.

මනාප ක්‍රමය නිසා ගැටුම් ඇතිවීම වැඩි වෙනවා. එය පක්ෂයේ අපේකෂකයන් අතර ඇතිවන ගැටුම් වෙන්නත් පුළුවන්. පක්ෂ, විපක්ෂ අතර ඇතිවන ගැටුම් වෙන්නත් පුළුවන් බව මා කියනවා. ඒ නිසා අපි වගේ පුංචි රටකට මේ මැතිවරණ ක්‍රමය කෙසේවත් සුදුසු නැහැ.

ඔබ පළාත් සභාවට තේරී පත්වුවහොත් ජනතාව වෙනුවෙන් ගන්නා වැදගත් තීරණ මොනවාද ?

මා පළාත් සභාවට තේරී පත් වුවහොත් ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතා ඉටුතරන්න අවශ්‍ය සෑම පියවරක් ම ගන්නවා.

විශේෂයෙන් ප්‍රදේශයේ තිබෙන සම්පත් හඳුනාගෙන ඒවා ප්‍රයෝජනයට ගනිමින් අලුත් සංවර්ධන ව්‍යාපෘති රැසක් ඇති කරනවා.

කෘෂි කර්මාන්තය, මැණික් ව්‍යාපාරය දියුණු කරන්න අවශ්‍ය පියවර ගන්නවා. ඒ වගේම අධ්‍යාපනය වැඩි දියුණු කරන්න අවශ්‍ය්‍ය පියවර ගන්නවා.

ප්‍රාදේශයේ රැකියා විරහිත තරුණ තරුණියන් වෙනුවෙන් ඔබ ගන්නා ක්‍රියාමාර්ග මොනවාද ?

පළාත් සභාවට පමණක් නොවෙයි මුළු රටට ම බලපා තිබෙන දැවෙන ප්‍රශ්නයක් බවට අද විරැකියාව පත්වෙලා තිබෙනවා. අපේ නායකතුමා සමඟ සාකච්ඡා කර මගේ තිබෙන සම්පත් හා ධනය උපයෝගී කරගෙන අලුතින් රැකියා ලබා දිය හැකි ක්ෂේත්‍ර කිහිපයක් ඇතිකරන්න මා කටයුතු කරනවා.

විශේෂයෙන් මැණික් ව්‍යාපාර හා සම්බන්ධ කටයුතු වෙනුවෙන් ප්‍රමුඛතාවයක් ලබා දෙනවා. ඒ වගේම වැවිලි ක්ෂේත්‍රයේ දියුණුවක් ඇති කරන්න මෙන්ම රැකියා ලබා දියහැකි අලුත් වැඩ පිළිවෙළකට මා යනවා.

මෙවර පැවැත්වෙන දකුණු පළාත් සභා මැතිවරණයේ මහ ඇමැති ධූරයක් නම් නොකිරීම නිසා තරගයක් ඇතිවී තිබෙන බව ජනතාව කියනවා. ඒ ගැන ඔබ කියන්නේ කුමක් ද?

ඕනෑම අපේක්ෂකයෙකුට හැකියාවක් තිබෙනවා. එහෙම නම් කරගෙන ඡන්ද වැඩවල නිරතවෙන්න. නමුත් අපි ජනතාව සමඟ යි. ඉන්නෙ. වැඩි මනාප ගත්තොත් ඔහුට හේ ඇයට පක්ෂයේ තිබෙන පරිණතභාවය අනුව අපේ නායකතුමා නියම වේලාවට නිවැරදි තීන්දුව ගනීවි. අපි ඒකට කලබල විය යුතු නැහැ.

මම නම් මහ ඇමැති තරඟයේ නැහැ. හැබැයි මහ ඇමැති වුණොත් ජනතාවට වැඩි වැඩ කොටසක් කරන්න හැකි බව මා පිළිගන්නවා.

ඔබේ මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව ඔබට කිව හැක්කේ කුමක් ද?

මා ස්ථීර වශයෙන්ම ජයග්‍රහණය කරනවා. එය මට විශ්වාසයි. මගේ ව්‍යාපාර වල නිරතවන සේවක, සේවිකාවන් ඡන්දය ලබා දුන්නත් මා ජයග්‍රහණය කරන බව මා නොබියව ප්‍රකාශ කරනවා.

ඔබේ ඉදිරි දේශපාලන සැළසුම් මොනවාද ?

ඉදිරියේදී ජනතාවගේ යහපත පිණිස තමයි මැතිවරණ කටයුතු කරන්නේ. මා පළාත් සභාවට මන්ත්‍රීවරයකු වශයෙන් තේරී පත් වුවොත් මගේ පළාත් සභා දී මනාව මා ලබා ගන්නේ නැහැ. මට හිමි වාහනය මා ලබා ගන්නේ නැහැ. කෙටියෙන් කීවොත් පළාත් සභාවෙන් මටකියා ලැබෙන කිසිවක් මා ප්‍රයෝජනයට ගන්නෙ නැහැ.

මට ලැබෙන ඒ සියලු වරප්‍රසාද ජනතා අවශ්‍යතා සඳහා යොදවනවා. ඒ විතරක් නොවෙයි. ඒ මුදල් වෙනම ඇතුලත් කර පදනමක් ආරම්භ කර මගේ තිබෙන පෞද්ගලික මුදලුත් එයට යොදවලා නිසි අධීක්ෂණය යටතේ නොදියුණු ගම් දියුණු කරන්න වැඩ පිළිවෙළක් සකස් කරනවා.

අවසාන වශයෙන් මා කියන්න කැමතිය මේ සියලු දේ අප කරන්නේ ජනතාව වෙනුවෙන් බව සියලු දෙනා සිතෙහි තබා ගත යුතු බවත් මා ප්‍රකාශ කරනවා.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා