ඌවේදී මිය ගිය ජවිපෙ ගාල්ලේදී ආදාහනය කරනවා

ඌවේදී මිය ගිය ජවිපෙ ගාල්ලේදී ආදාහනය කරනවා

දකුණු පළාත් සභා අපේක්‍ෂක නිශාන්ත මුතුහෙට්ටිගම

වසර ගණනක් මහජන සේවයේ යෙදී ඒ පිළිබඳ හසල දැනුමක් ඇති පිරිසක් සමගින් මහජන සේවයට කැපවන නව පිරිස අතරට නිශාන්ත මුතුහෙට්ටිගම මහතා මෙවර සන්ධාන ලයිස්තුවෙන් දකුණු පළාත් සභාවට ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වී සිටී. මෙවර පළාත් සභාවට අක්මීමන ශ්‍රී.ල.නි.ප. සංවිධායක ලෙස ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වන මුතුහෙට්ටිගම මහතා දේශපාලන පෙරළියක් කරන්නට සමත් දක්ෂ තරුණයෙකි. මෙවර පළාත් සභා මැතිවරණයට සන්ධානයේ සූදානම, දකුණු පළාතේ ජනතාවට ඉටුකරන සේවා පිළිබඳ හා ගාල්ල දිස්ත්‍රික්කයේ එ.ජ.නි. සන්ධාන අපේක්‍ෂකයෙකු ලෙස මේ මැතිවරණය දකින ආකාරය පිළිබඳ ඔහු දැක්වූ අදහස් මෙසේය.

පළාත් සභා මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කළ ඔබ ආසන සංවිධායකවරයකු වශයෙන් අක්මීමන ආසනය නියෝජනය කරමින් පළාත් සභාවට තරග වදිනවා. මෙවර ඔබේ බලාපොරොත්තුව කුමක්ද?

මම දේශපාලනයට ආව දවසේ සිට මේ දක්වා ලබපු මේ සියලු තනතුරු ලැබුවේ උඩුගම, හාගොඩ බද්දේගම ප්‍රදේශවල ජීවත් වූ ජනතාවගේ වටිනා ඡන්දයෙන්.

නමුත් මෙවර මම ඒ ඡන්ද පදනම එක්ක විශේෂයෙන් අක්මීමන මැතිවරණ කොට්ඨාසයේ ඡන්දත් ලබාගන්නවා. ඒත් එක්කම අනිත් ආසන දහයේම ඡන්ද ප්‍රමාණයකුත් මා ලබාගන්නවා. ඒ නිසා විශාල ඡන්ද ප්‍රමාණයක් මට ලැබෙනවා කියලා දැඩි විශ්වාසයක් තියෙනවා. විශේෂයෙන් බලපිටිය රත්ගම, වැනි ආසනවලින් මට වැඩි මනාප ප්‍රමාණයක් ලැබෙයි කියලා හිතනවා.

එහෙම වුණොත් පළාත් සභාවේ පළමු පෙළේ තනතුරක් ලැබි මේ සියලු ජනතාව වෙනුවෙන් සේවයක් කරන්න මට පුළුවන්. අක්මීමන මැතිවරණ කොට්ඨාසයේ සංවිධායක ලෙස පළාත් සභාවට ගියාම මට තවත් විශාල වරප්‍රසාද ප්‍රමාණයක් හිමිවෙනවා.

ඒවාත් අරගෙන විශේෂයෙන් අක්මීමන ආසනයට ඒ වගේම මට එදා සිට මේ දක්වා සහයෝග දැක්වූ ජනතාව ඉන්නා ප්‍රදේශවලට, දකුණු පළාතේ ජනතාවට දැනෙන සේවයක් කරන්න පොදු හා පෞද්ගලික වශයෙන් කටයුතු කරනවා. ඒ ඒ ප්‍රදේශවල ඇති මාර්ග, විදුලිය, ජලය වැනි පොදු අඩුපාඩු සමඟ මේ වන විට උග්‍ර ගැටලුවක් බවට පත් වෙමින් තිබෙන රැකියා ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙන්න කටයුතු කරනවා.

වසර ගණනාවක් මහජන නියෝජිතයකු ලෙස කටයුතු කළ ඔබ ජනතාව වෙනුවෙන් කළ සේවය මොනවාද?

ඒ කාලය ඇතුළත ජනතාව වෙනුවෙන් කළ හැකි උපරිම සේවය කළා. ප්‍රාදේශීය සභාවේ කටයුතු කරද්දි පාරවල් පොදු ළිං වැනි පොදු අවශ්‍යතා හොඳින් හඳුනාගෙන ඒවා සංවර්ධනය කළා. පළාත් සභාවෙනුත් එහෙමයි. පළාත් සභාවෙන් කරන්න පුළුවන් උපරිම පොදු සේවාවන් කළා. මේ ගැන ජනතාව දන්නවා.

රැකියා නොමැති අයට රජයේ රැකියා මෙන්ම පෞද්ගලික ආයතනවල රැකියා ලබා ගැනීමට උදව් උපකාර කරමින් ඒවා ලබාගැනීමට කටයුතු කළා. විශේෂයෙන් ඒ ඒ ප්‍රදේශවල සංවර්ධනයට මම විශාල ශක්තියක් ලබා දී තිබෙනවා. අක්මීමන ආසනයේ සංවිධායක වූවාට පසුව මේ කරන වැඩ කටයුතු වේගවත් කරන්න මට හැකියාවක් ලැබුණා.

දකුණු පළාත් සභාවේ ජනතා නියෝජිතයන් ජනතා අවශ්‍යතා හරිහැටි ඉටු නොකළ බවට චෝදනා ආවොත් හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස ඊට ලබා දෙන පිළිතුර කුමක්ද?

එහෙම කියන්නෙ කවුද? ජ.වි.පෙ. ද. එ.ජා. පක්‍ෂයද අද ඔය පක්‍ෂ දෙකටම කියන්න දෙයක් නැතුව විකාර දොඩවනවා. දකුණු පළාත් සභාවෙන් අපි සැලසුම් සහගත සංවිධානයක් කළා. ඒ සඳහා අපට උදාහරණ ඕන තරම් තියෙනවා. දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය හියාරේ කදුරුගස්හේන මාර්ගයට ඉතාම සැලසුම් සහගතව කල්පවතින ආකාරයෙන් කාපට් කළා. මීගොඩ යග්ගහ මාර්ගය, කබගලමාවත රජ්ජම්ඹුගහ මාර්‍ගය ඉතාම හොඳින් සකස් කළා.

ඒ වගේම දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය කිසිම පළාත් සභාවකින්් නොකළ සේවාවක් දකුණු පළාතේ දරුවන් වෙනුවෙන් කළා. අනික දකුණු පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය දැවන්ත වූ වැඩසටහනක් ක්‍රියාත්මක කළා. අමාත්‍යංශය මගින් ජංගම සේවා ගමට ගෙනගොස් ජනතාවගේ සෞඛ්‍ය ගැටලුවලට විසඳුම් ලබාදුන්නා. ඇස් කන්නාඩි බෙදාදීමට කටයුතු කළා. මේවා කළේ පළාත් සභාවෙන් මේවා නැහැයි කියන්න කාටවත් බෑ. මොකද අපි ළඟ සාක්‍ෂි තියෙනවා.

ගාල්ල දිස්ත්‍රික්කය විශේෂයෙන් අක්මීමන මැතිවරණ කොට්ඨාසය ශ්‍රී ලංකා දේශපාලනයේ නොමැකෙන නාමයක් තබපු මැතිවරණ කොට්ඨාසයක්. එම ආසනය නියෝජනය කරමින් පළාත් සභාවට තේරී පත් වී ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්න පුළුවන්ද?

අක්මීමන මැතිවරණ කොට්ඨාසය ගත්විට රිචර්ඩ් පතිරණ නාමය එම ආසනයෙන් අමතක කරන්න බෑ. එතුමා අක්මීමන ආසනයට මුළු රටටම දැවැන්ත වූ වැඩ කොටසක් කළා. අධ්‍යාපනය වෙනුවෙන් කළ වැඩ කොටස තවත් නම් කාටවත් කරන්න බැරි වේවි. ඒ වගේම ආසනය තුළ කළ සංවර්ධනය අති විශාලයි. රැකියා ප්‍රශ්නය විසඳා ඇති ආකාරය විශිෂ්ටයි. අපිට දැන් තියෙන්නේ අලුතෙන් ඇතිවෙලා තියෙන අඩුපාඩු සපුරාලන්න. මොකද එතුමා ක්‍රියාත්මක කළ ව්‍යාපෘති තවමත් ගාල්ල දිස්ත්‍රික්කය පුරා ක්‍රියාත්මක වෙනවා.

ඉතින් එතුමා කළ සේවයට සමාන සේවයක් පළාත් සභාවෙන් අපිට කරන්න බැරිවේවි. නමුත් අපිට හැකි අයුරින් අක්මීමන මැතිවරණ කොට්ඨාසයේ තිබෙන ඒ අඩුපාඩුකම් සකස් කර අක්මීමන තිබූ ඒ සංවර්ධනය එලෙසින්ම ඉදිරියට ගෙන යන්න කටයුතු කරනවා. ඒ සඳහා මටත් පළාත් සභාවේ හොඳ තැනක් ලබාගන්න කටයුතු කරන්න ඕන. ඒ සඳහා තමයි මමත් මෙතරම් මහන්සි වෙන්නෙ. අක්මීමනට පමණක් නොවෙයි දකුණු පළාතම සංවර්ධනය කිරීමේ අරමුණක් මට තිබෙනවා.

ගියවර පළාත් සභාවේදී ජ.වි.පෙ. සන්ධානය හා එක්ව තරග කළා. මෙවර ජ.වි.පෙ. සන්ධානයෙන් ඉවත්ව තරග කිරීම සන්ධානයට අභියෝගයක්ද?

ජනතා විමුක්ති පෙරමුණු සන්ධානයෙන් ඉවත් වීම සන්ධානයට ඡන්ද විශාල ප්‍රමාණයක් ලැබෙන තවත් ක්‍රමයක් ජ.වි.පෙ ඡන්ද ප්‍රමාණය පහළ බහින එක නියත ලෙසම සිදුවන්නක්. ඌව පළාත් සභාවේදී එයාලට ලැබුණු පිළිතුර අපි හැමෝම දැක්කා.

ඒ ලැබුණු ඡන්ද ප්‍රමාණයත් දකුණු පළාත් සභාවෙන් ඇත්තටම නැති වෙනවා. ඒ නිසා ජ.වි.පෙ කවුද කියන්න ජනතාව දන්නවා. ඒ නිසා ජ.වි.පෙ ට දැන් ජනතාව ඡන්දෙ දෙන්නෙ නෑ. ගියවර අපේ ඡන්දවලින් එයාලගෙ කීපදෙනෙක් පළාත් සභාවට පාර්ලිමේන්තුවට ගියා. කෝ ඒ ඡන්ද අරගෙන ගියා ගියාමයි. මිනිසුන්ට සේවාවක් කළාද . අඩුම තරමින් ජනතාව අතරටවත් ආවද. එයාල ඉන්නෙ කොහෙද කරන්නෙ මොනවද කියලා ජනතාව දන්නෙවත් නෑ.

ජනතාවගේ ඡන්දෙන් ගිහිල්ල එයාල සැප විඳීනවා විතරයි. ජනතාව විශාල බලාපොරොත්තු තබාගෙනයි එයාලට වැඩ කළේ. ඔවුන් ඒ විශ්වාසය බිඳ ගත්තා. ආපහු ජනතා විමුක්ති පෙරමුණට ගොඩ එන්න බෑ. එයාලට බැරි බව ඇමැතිකම් අරගෙන පෙන්නල දුන්නා. ඒ බව රටේ ජනතාව හොඳින්ම දැනගත්තා. මේ නිසා ඌව පළාත් සභාවේදී ජ.වි.පෙ මිය ගියා. ඒක අපි දකුණු පළාත් සභාවේදී ගාල්ල සමනලපිටියේදි ආදාහනය කරනවා.

දකුණු පළාත් සභාව ජනාධිපතිතුමන් නියෝජනය වන පළාත් සභාව පසුගියදා පැවති ඌව පළාත් සභා මැතිවරණයේදී ඉතා හොඳ ප්‍රතිඵලයක් ජනාධිපති තුමාට ලබාදුන්නා. දකුණු පළාත් සභාවේදී එය කෙසේ වෙයිද?

දකුණු පළාත අතීතයේ සිටම මේ පුංචි රට රැක ගන්න, බේරාගන්න කැපවීමක් කරපු පළාතක්. එදත් එහෙමයි. අදත් එහෙමයි. එදා දකුණේ ජනතාව ගත්ත බුද්ධිමත් තීරණයේ ප්‍රතිඵලය අද ජනතාවට ලැබිලා තියෙනවා.

වසර 30 කට අධික කාලයක් මේ රට තුළ තිබූ බිහිසුණු යුද්ධය අවසන් කරන්න . මේ රට පාලනය කළ විවිධ නායකයන්ට හැකියාවක් ලැබුණෙ නෑ. එහෙත් අපි බිහිකරපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නැවැත එවැනි තත්ත්වයක් නොවන්න විසඳුම් ලබා දුන්නා. මේක දකුණේ ජනතාව ලැබූ කීර්තිමත් ජයග්‍රහණයක්.

දැන් රට නිදහස් සම්පූර්ණයෙන් නිදහස් . මුළු රටේම සෑම තැනකම නිදහසේ ජීවත්වන්න හැකියාව තිබෙනවා. මේ නිසා දකුණේ ජනතාව බලාගෙන හිටියේ ජනාධිපති තුමාට කෘතගුණ සලකන්න අවස්ථාවක් ලැබෙන තුරු. ඒ නිසා මෙවර මැතිවරණයේදී 90%කට වැඩි ඡන්ද ප්‍රතිශතයකින් දකුණ දිනවන එක නම් නියතයි.

දේශපාලන වශයෙන් ඔබගේ ඉදිරි අපේක්‍ෂා මොනවාද?

මම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ලෙස ජනතාවට සේවයක් කරපු නිසා තමයි අද මේ වගේ තැනකට ඇවිල්ල ඉන්නෙ. මා දරපු තනතුරු ප්‍රයෝජනයට අරගෙන කොමිස් ගහල නෑ. හොරකම් කරල නෑ. බඩ වඩාගන්නා දේශපාලනයක් මම කරලත් නෑ. කරන්නෙත් නෑ. නමුත් මට අයුක්තිය කියන එක පෙන්නන්නත් බෑ.

මට අසාධාරණයක් වෙනවනම් මම ඒකට නැගී සිටිනවා. එය ජනතාවගේ පැත්තෙනුත් එහෙමයි. මේ නිසා මගේ අතින් යම් යම් වැරැදි වෙනවා ඇති. ඒ හැම දෙයක්ම ජනතාව වෙනුවෙන් කරන්නෙ. ඒ නිසා පළාත් සභාවේ මුල්පෙළේ පුටුවක වාඩිවෙලා ජනතාවට අතිවිශාල වූ සේවයක් කරන්න මම බලාපොරොත්තු වෙනවා.

පළාත් සභාවෙන් විශාල වැඩ කොටසක් කරන්න පුළුවන්. ඒ හැම දෙයක්ම ජනතාව වෙනුවෙන් ලබාදෙන්නයි මගේ බලාපොරොත්තුව. මම ජනතාවට දෙන පණිවුඩය නම් මෙවර බුලත් කොළය ලකුණට ඡන්දය ලබාදෙන්න. 90%කට වැඩි ඡන්ද ප්‍රතිශතයකින් දිනවන්න කියන එකයි. ජනාධිපතිතුමන් දෙවනවර ජනාධිපති පුටුවේ නිතරගයෙන් වාඩිකිරීමේ අරගලයේ අඩිතාලම දකුණු පළාත් සභාවෙන් දාන්න කියලා ජනතාවගෙන් ඉල්ලනවා.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා