ජනපති රට නිදහස් කර දුන් බව කිසිදා අමතක නොකළ යුතුයි

ජනපති රට නිදහස් කර දුන් බව කිසිදා අමතක නොකළ යුතුයි

- ඇමැති දිනේෂ් ගුණවර්ධන

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රටේ විශාල පෙරළියක් ඇති කළා. අපි සියලු භේද දුරලා මුස්ලිම්, සිංහල හා දමිළ යන ජාතීන් එක්වී මේ රට ගොඩ නැගීමට සහාය දිය යුතු යැයි නාගරික සංවර්ධන හා පූජා භූමි සංවර්ධන ඇමැති ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

ඒ මහතා එසේ පැවසූයේ 2009 ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් මීගමුව කලාදුව නිවාස 86 කින් සමන්විත නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පැවරීම නිමිත්තෙන් පැවැති උත්සවය අමතමිනි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ‘මහින්ද චින්තන’ ජාතික ප්‍රතිපත්තියට අනුකූලව නාගරික සංවර්ධන හා පූජා භූමි සංවර්ධන අමාත්‍යාංශයේ නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය මගින් මෙහෙයවන ‘පැල්පතින් තොර නගර’ සංකල්පයෙන් බිහිවූ නාගරික අරුණෝදය කුසුම් නිවාස වැඩසටහන යටතේ මෙම නිවාස ඉදි කැරිණි.

මෙම නිවාස ව්‍යාපෘතිය සඳහා වැය කරන ලද මුදල රුපියල් ලක්ෂ 300 කි.

තවදුරටත් කතා කළ ඇමැතිවරයා

පසුගිය අය වැයෙන් ජනතා පැතුම් ඉටු කිරීමට විශාල මුදලක් වෙන්කර තිබෙනවා. එය රජය ඉටු කළේ රට ඉතාමත් භයානක තත්ත්වයකට මුහුණ පා සිටි යුගයකයි.

තාමත් කෙටි කාලයකදී මෙම ව්‍යාපෘතියේ සියලු වැඩ අවසන් කිරීමට අමාත්‍යාංශයට හැකි වුනා. මීගමුව ලංකාවේ තවත් කේන්ද්‍රස්ථානයක් කිරීමට අමාත්‍යාංශය අදහස් කර තිබෙනවා. අතිගරු ජනාධිපතිවරයා රට නිදහස් කර දුන්නා. ඒක රජය ලද අමතක නොවන විශිෂ්ට ජයක්. එය ජනතාව කිසි දාක කිසි විටෙක අමතක කරන්න හොඳ නැහැ. අද මෙම ජනතාවට සුවිශේෂ දවසක්. හව් හරණයක් නොමැතිව සිටියදී ස්ථිර නිවසකට පදිංචියට යාමත් ඉතාමත් සුවිශේෂයි. මෙම නිවාස වැඩසටහන යටතේ රජය ජනතාවගේ පැතුම් ඉටු කරනවා.

කටාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායිකා විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය - දිවංගත ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතා මේ පළාතේ මෙන්ම සියලු රට වැසි ජනතාව සමග ඉතාම කිට්ටුවෙන් ඇසුරු කළා. ඔහු නැතත් ඔහුගේ සිහින සැබෑවීම අපට සතුටට කරුණක් බවත් මීගමුව රම්‍ය නගරයක් බවට පත් වෙමින් පවතිනවා. එසේම මීගමුව සංවර්ධිත නගරයක්. මේ සියල්ල සිදු වූයේ අප රජය යටතේයි.

නියෝජ්‍ය සිවිල් ගුවන් සේවා ඇමැති සරත් කුමාර ගුණරත්න මහතා - අද මීගමුවට තවත් ආලෝකයක් ලැබී තිබෙනවා. මේ යුද්ධය අවසන් කළේ අති ගරු ජනාධිපතිවරයා පමණයි. අද මහින්ද චින්තනය යටතේ මීගමුව ප්‍රදේශය සංවර්ධනය කරල අවසන් වේගන යනවා. අපි දැන් කියනව ඉදිරියේ එන ඡන්ද වලට සූදානම් විය යුතුයි.

මීගමුව පුරපති හර්මන් බර්නාඩ් - කුරේරා, එස්. ජී. සෙල්වම්, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ජනාධිපති උපදේශක ප්‍රසන්න ගුණවර්ධන යන මහත්වරුද කතා කළහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා