විශ්‍රාම ගිය කළුතර ග්‍රාම නිලධාරින්ට සංගමයෙ වරප්‍රසාද තවම නැතිලු

විශ්‍රාම ගිය කළුතර ග්‍රාම නිලධාරින්ට සංගමයෙ වරප්‍රසාද තවම නැතිලු

සමස්ත ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ (කළුතර) දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරින්ට එම සංගමයෙන් ලැබිය යුතු වරප්‍රසාද නොලැබෙන බවට විශ්‍රාම ගිය එම සංගමයේ ග්‍රාම නිලධාරීහු පවසති.

සංගමයේ සාමාජිකයින්ට සේවයේ යෙදී සිටියදී මුදලක් කපා ගැනුනු බව සඳහන් කරන විශ්‍රාම ගිය ග්‍රාම නිලධාරීහු සංගමයේ එක් වරප්‍රසාදයක් වී ඇත්තේ විශ්‍රාම යන සාමාජිකයාට රු.3000/- ක මුදලක් ලබා දීම ය.

දැනට දිස්ත්‍රික්ක සාමාජිකත්වය ලබා ඇති ග්‍රාම නිලධාරින් විසිදෙනෙක් පමණ විශ්‍රාම ගොස් ඇති අතර එම පිරිස අතර අවුරුදු තුන හතරක් විශ්‍රාම ලබා සිටින ග්‍රාම නිලධාරින්ද සිටින බව විශ්‍රාම ගිය නිලධාරිහු පවසති.

එහෙත් එම පිරිසටද මේ දක්වා පාරිතෝෂික දීමනාව ලැබී නැතැයි පවසති.

මෙම සංගමයේ කළුතර දිස්ත්‍රික්කයේ දිසාවේ ලේකම් ධූරය උසුලනුයේ මදුරාවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාහේන ග්‍රාම නිලධාරි යසරත්න පතිරණ මහතා ය.

මේ ගැන එම නිලධාරීවරයාගෙන් විමසූ විට ඔහු කියා සිටිනුයේ සංගමයේ භාණ්ඩාගාරික මියගොස් ඇති නිසා මුදල් ගෙවීමට අපහසු බවත් සංවත්සරයක් පවත්වා භාණ්ඩාගාරිකවරයෙකු පත් කොට මුදල් ගෙවනා බවය.

අවුරුදු දෙකක පමණ කාලයක පටන් මේ ගැන විමසීමක් කරන විශ්‍රාමික ග්‍රාම නිලධාරින්ට ඔහු දෙන උත්තරය මෙය වන අතර සංවත්සරය පවත්වන බවක් පෙනෙන්නට නැතැයි විශ්‍රාමික ග්‍රාම නිලධාරීහු පවසති.

1998 ජනවාරි 04 අවසන් වර හොරණ දික්හේන පුර ප්‍රජාශාලාවේදී සංවත්සරය පැවැත්වීමෙන් පසු මෙම සංගමය සංවත්සරය පවත්වා නැත.

තමන්ගේ වැටුපින් කපාගත් මුදල් පාරිතෝෂිකය වශයෙන් තමන්ට ලැබීමට සුදුසුකම් ඇතත් එම මුදල් නොලැබෙන්නේ සංගමයේ මුල්‍ය අක්‍රමිකතාවයන් සිදුව ඇති බවට සැක පහල කරන විශ්‍රාමික ග්‍රාම නිලධාරින් මේ පිළිබඳ රාජ්‍ය පරිපාලන ඇමැති සරත් අමුණුගම ස්වදේශ කටයුතු ඇමැති චන්ද්‍රසිරි ගජදීර ඇමැතිවරුන් වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට තීරණය කොට ඇති බව විශ්‍රාම ගිය ග්‍රාම නිලධාරී පිරිසක් පැවසූහ.

මේ අතර මෙම සංගමයේ වැඩ කටයුතු ගැන කලකිරීමට පත් වූ දාට සේවයේ යෙදී සිටින ග්‍රාම නිලධාරිහු සංගමයෙන් ඉවත් වීමට තීරණය කොට ඇති බවත් දැන ගැනීමට ලැබී ඇත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා