ආසියානු කාන්තා බොක්සිං සූරතාවලිය 23දා කසකස්තානයේදී ඇරැඹේ

ආසියානු කාන්තා බොක්සිං සූරතාවලිය 23දා කසකස්තානයේදී ඇරැඹේ

රටවල් 15කින් තරගකාරියන් 120කට අධික ප්‍රමාණයක් තරග වදින ආසියානු කාන්තා බොක්සිං සූරතාවලිය 23 දා සිට 31 දින දක්වා කසකස්තානයේ අස්තානා නුවර පැවැත්වීමට නියමිතය.

ආසියානු බොක්සිං සම්මේලනය මගින් පවත්වනු ලබන මේ තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඇතුළු කණ්ඩායම සිකුරාදා (21) දිවයිනෙන් පිටත්ව යනු ඇත.

2009 වසරේ ආසියානු කාන්තා ගෘහස්ථ ක්‍රීඩා උළෙලේ ලෝකඩ පදක්කම්ලාභී අනූෂා කොඩිතුවක්කු සහ රුසියානු කාන්තා ආරාධිත ජාත්‍යන්තර බොක්සිං තරගාවලියේ රන් පදක්කම්ලාභී නිල්මිණී ජයසිංහ ඇතුළු ක්‍රීඩිකාවන් සිවුදෙනෙකු මේ තරගාවලියට සහභාගි වෙති.

අනූෂා කොඩිතුවක්කු පින් බර පන්තියෙන් (කි.ග්‍රෑ 46) තරග වදින අතර නිල්මිණි ජයසිංහ ෆ්ලයි බර පංතියෙන් (කි.ග්‍රෑ.51) තරග වැදීමට නියමිතය. පී.කේ. සුමුදු ලයිට් බර පංතියෙන්ද (කි.ග්‍රෑ.60) ඩබ්.එස්.ශාන්තිකා බැන්ටම් බර පංතියෙන්ද (කි.ග්‍රෑ.54) තරග වදිති.

කසුනි සිල්වා කණ්ඩායමේ කළමනාකාරිනිය ලෙස කටයුතු කිරීමට නියමිතය. ආධුනික බොක්සිං සංගමය මගින් නම්කළ ආර්.කේ.ඉන්ද්‍රසේන තරග විනිසුරු සහ තීරකවරයකු ලෙස කටයුතු කරනු ඇත. කණ්ඩායමේ පුහුණුකරු ලෙස ඩබ්.වසන්ත කුමාර පත්කොට තිබේ.

චීනය, ඉන්දියාව, කසකස්තානය, උස්බෙකිස්තානය, පිලිපීනය, කාම්බෝජියාව, කැමරුන්, මොංගෝලියාව, සිංගප්පූරුව, ටර්කිමෙනිස්තානය යන රටවල්වල ප්‍රබල ක්‍රීඩිකාවන් තරග වදින මේ තරගාවලිය බර පංති 11ක් යටතේ පැවැත්වේ.

නොවැම්බර් මාසයේ චීනයේ පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙලට ඉතා වැදගත් වන පෙරහුරු තරගාවලියක් ලෙස මෙය සැළැකේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා