ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ ඕස්ට්‍රේලියානු සංචාරය

ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ ඕස්ට්‍රේලියානු සංචාරය

කණ්ඩම්බි-කපුගෙදර නායකත්වයට

ලබන මාසයේ ඕස්ට්‍රේලියානු සංචාරයක නිරත වන ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ සිවුදින තරග සඳහා නායකත්වයට තිලිණ කණ්ඩම්බිත්, එක්දින තරග සඳහා නායකත්වයට චාමර කපුගෙදරත් නම් කර ඇත.

සිවු දින තරග 2 ක්, එක් දින තරග 3 ක්, විස්සයි 20 තරගයක් සහ තුන්දින පෙරහුරු තරගයකින් සමන්විත ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරය ලබන මස 10 වැනිදා ආරම්භ වීමට නියමිතය.

මේ සංචාරයේ සිවුදින තරග සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ‘ඒ’ පිලට පසුගියදා නිමාවට පත්වූ අන්තර් පළාත් සිවු දින තරග මාලාවේ වැඩිම ලකුණුලාභියා වන ඩිල්ෂාන් මුණවීර ඇතුළත් කර නොමැති අතර ඔහු එක් දින තරග සඳහා නම් කළ කණ්ඩායමට පමණක් ඇතුළත්ව සිටීම විමතියට කරුණකි. එමෙන්ම අන්තර් පළාත් සිවු දින තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වන මාලිංග බණ්ඩාර මේ සංචාරය සඳහා තෝරාගෙන නැත.

අන්තර් පළාත් එක් දින තරග මාලාවේ වැඩිම ලකුණුලාභියා වන කෞෂාල් වීරරත්න ද මේ සංචාරයට තෝරා ගෙන නොමැති අතර අන්තර් පළාත් එක්දින හා විස්සයි 20 තරග තුළ පිති හරඹයෙන් දස්කම් දැක්වූ ජීවන්ත කුලතුංගට ද කණ්ඩායම තුළ ස්ථානයක් හිමි වී නැත.

උපුල් තරංග, ෂානුක දිසානායක, ප්‍රසන්න ජයවර්ධන අන්තර් පළාත් ක්‍රිකට් තරග මාලාවේ දස්කම් දැක්වූවද ඕස්ට්‍රේලියානු සංචාරයට තෝරා නොගැනුණු සෙසු ක්‍රීඩකයන්ය.

තරංග පරණවිතාන, කෞෂාල් සිල්වා, ධම්මික ප්‍රසාද්, චමින්ද විදානපතිරණ සහ නදීර නාවෙල මේ සංචාරයේ සිවු දින තරග සඳහා පමණක් තෝරා ගෙන ඇති අතර ඩිල්ෂාන් මුණවීර, චාමර කපුගෙදර, ඉසුරු උදාන, ෆර්වේස් මහරූෆ් සහ මහේල උඩවත්ත සංචාරයේ එක්දින තරග සඳහා පමණක් නම් කර ඇත.

කණ්ඩායම් දෙකටම ඇතුළත්ව සිටින ක්‍රීඩකයන් මෙසේය.

දිමුත් කරුණාරත්න, ලහිරු තිරිමාන්න, තිළිණ කණ්ඩම්බි, දිනේෂ් චන්දිමාල්, ජීවන් මෙන්ඩිස්, කෝසල කුලසේකර, නුවන් ප්‍රදීප්, දිනේෂ් දර්ශන්ප්‍රිය, සචිත්‍ර සේනානායක සහ එස්. ප්‍රසන්න.

අතිරේක ක්‍රීඩකයන් ලෙස සචිත්‍ර සේරසිංහ, කෞෂාල් ජනිත්, ජානක ගුණරත්න, මලින්ත වර්ණපුර, ජෙහාන් මුබාරක් සහ තරංග ලක්‍ෂිත නම් කර ඇත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා