තීරණාත්මක රගර් නිලවරණය හෙට

තීරණාත්මක රගර් නිලවරණය හෙට

ශ්‍රී ලංකා රගර් සම්මේලනයේ වාර්ෂික නිලවරණය හෙට (21දා) ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේදී පැවැත්වේ. ගණපූර්ණය නොමැති වීමෙන් දෙවරක්ම කල් ගිය රගර් සම්මේලනයේ නිලවරණය මෙදින පැවැත්වීමට නොහැකි වුවහොත් අන්තර් ජාතික රගර් සාමාජිකත්වය අහෝසි වීමේ අවදානමට මුහුණදීමට සිදු වනු ඇත.

ලබන මස 1 දාට කලින් රගර් නිලවරණය පවත්වා නිලධාරීන් පත්කර ගැනීමට ශ්‍රී ලංකාව අපොහොසත් වුවහොත් අන්තර් ජාතික රගර් සම්මේලනය අනතුරු අඟවා ඇත.

රගර් නිලවරණයට දෙවරක්ම දින නියම වූ අවස්ථාවේදී අන්තර්ජාතික රගර් සම්මේලනයේ කළාප කළමනාකරු ජෙරාඩ් ගැල්හර් මහතා ශ්‍රී ලංකාවට පැමිණි අතර බලාපොරොත්තු සුන් වී නැවත ගියේය.

පසුගිය මාර්තු මාසයේදී රගර් අතුරු කමිටුව විසුරුවා නිලවරණයට අදාල නාම යෝජනා කැඳවීම සිදුවූ අතර ලේකම් හා සභාපති නාමයෝජනා දෙකම ප්‍රතික්ෂේප විය.

භාණ්ඩාගාරික ලෙස කිරාන් අතපත්තු මහතාද උප සභාපති ලෙස ලසිත ගුණරත්න මහතාද නිතරගයෙන් තේරී පත් වූහ. එයට අමතරව කමිටු සාමාජිකයන් ලෙස හෆීස් මරික්කාර්, එල්. ඒ. විජේසූරිය හා ටී. එස්. ඩෝල් යන මහත්වරු නිතරගයෙන් තේරී පත් වූහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා