තෙල් කාන්දුව වැළැක්වීමට අමෙරිකාවේ ෆ්ලොරිඩා වෙරළ වසයි

තෙල් කාන්දුව වැළැක්වීමට අමෙරිකාවේ ෆ්ලොරිඩා වෙරළ වසයි

මෙක්සිකෝ බොක්කේ තෙල් අට්ටාලයකින් කාන්දුවූ තෙල් කඳක් ෆ්ලොරිඩා වෙරළට ගසාගෙන ඒමට ඉඩ ඇතැයි යන සැකය මත එම වෙරළේ විශාල කොටසක් වසා දැමීමට අමෙරිකන් බලධාරීන් පියවරගෙන තිබේ.

මේ අනුව, වෙරළ තීරයේ වර්ග සැතපුම් 45,726 ක් වසා දමා තිබේ. මෙක්සිකෝ බොක්කේ හටගෙන ඇති ප්‍රබල දියවැලක් කාන්දුවූ තෙල් විශාල ප්‍රදේශයක් පුරා ව්‍යාප්ත කිරීමට ඉවහල්වී ඇති බව විද්වත්හු පවසති.

තාර ගුලි ස්වරූපයෙන් ෆ්ලොරිඩා වෙරළට ගසාගෙන එන මෙම තෙල්, මෙක්සිකෝ බොක්කේ තෙල් කාන්දුවෙන් ගලා ආ ඒවාදැයි නිශ්චය කිරීමට විශේෂඥයන් පර්යේෂණ පවත්වමින් සිටී.

මේ අතර තෙල් අට්ටාලයේ කාන්දුව මැඩපැවැත්වීමට යොදා ඇති නල වලින් ඉකුත් සඳුදා වනවිට 40% ක පමණ ප්‍රතිශතයක් උරාගත හැකිවූ බව බලධාරීහු පවසති. මෙම කාන්දුවෙන් දිනකට තෙල් බැරල් 5,000ක් පමණ කාන්දුවන බව වාර්තාවේ.

කෙසේ වෙතත්, ස්වාධීන විචාරකයන් පවසන්නේ මෙම ප්‍රමාණය මීට වඩා දස ගුණයක් පමණ වන බවයි.

තෙල් කාන්දුව නිසා සිදුවූ අලාභය සම්පූර්ණයෙන්ම අදාළ සමාගම විසින් ගෙවිය යුතු බවට කළ යෝජනාවක් ඇමෙරිකන් සෙනට් සභාව විසින් රඳවාගෙන සිටීම සම්බන්ධයෙන් ජනාධිපති ඔබාමා සිය කනස්සල්ල පළකර තිබේ.

මෙම තෙල් කාන්දුව නිසා කලින් විශ්වාස කළ පරිමාණයට වඩා විශාල පරිමාණයකින් සාගර ජීවීන්ට සහ ඒ ආශ්‍රිත ජෛව පරිසරයට ව්‍යසනයක් සිදුවනු ඇති බව දැන් තහවුරු කරගෙන තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා