නිව්යෝක් බෝම්බ සිද්ධියේ සැකකරු ෆයිසාල් අධිකරණයට

නිව්යෝක් බෝම්බ සිද්ධියේ සැකකරු ෆයිසාල් අධිකරණයට

මීට දෙසතියකට පෙර නිව්යෝක්හි ටයිම්ස් චතුරස්‍රයේදී කාර් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ අසාර්ථක උත්සාහයක නියැලි ෆයිසාල් ෂසාඩ් ඉකුත් අඟහරුවාදා ප්‍රථම වරට අධිකරණය ඉදිරියේ පෙනී සිටියේය.

ෂසාඩ්ට එල්ල වූ චෝදනාව සම්බන්ධයෙන් ඔහු සමාව අයැද නැත. එම නිසා ඔහු තවදුරටත් සිරගත කර තබන ලෙස අධිකරණය තීන්දු කර ඇත.

මැන්හැටන් ෆෙඩරල් අධිකරණයේ පැවැති මෙම නඩු විභාගයට ෂසාඩ් ඉතාම සන්සුන්ව පෙනී සිටි බව වාර්තා වේ.

පාකිස්තාන් – අමෙරිකන් සම්භවයකින් යුත් ෂසාඩ්ට මේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා පහක් එල්ල වී තිබේ. අවි උපයෝගී කර ගෙන සමුල ඝාතනයක් කිරීමට තැත් කිරීම සහ විදේශයක ත්‍රස්තවාදී ක්‍රියාවක් කිරීමට තැත් කිරීම යන්න එම චෝදනා වේ.

මේ දෙකම වෙනුවෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් පැමිණවීමට ඉඩ කඩ තිබේ. නැවත වරක් මෙම නඩුව විභාගයට ගන්නේ ජුනි 1 වැනිදාය. අත් අඩංගුවේ පසුවන අතරවාරයේදී ෂසාඩ්ගෙන් කළ ප්‍රශ්න කිරීම් වලින් වැදගත් තොරතුරු රැසක්ම හෙළිවී තිබේ. මේ ඔස්සේ තවදුරටත් විමර්ශන කරගෙන යන බව බලධාරීහු පවසති.

ෂසාඩ්ට පාකිස්තානයේ තලෙයිබාන් ත්‍රස්තවාදීන් සමග සම්බන්ධතා ඇති බවට සැක කෙරේ. වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ජනාධිපති ඔබාමා විසින් පාකිස්තානයට ජාතික ආරක්ෂක නිලධරයන් දෙදෙනෙක් යවා තිබේ.

ෆෙඩරල් නියෝජිතයන් විසින් වයඹදිග එක්සත් ජනපදයේ දී පාකිස්තාන් සැකකරුවන් තිදෙනෙක් අත් අඩංගුවට ගෙන තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා