ඉරානයට සම්බාධක පැනවීමේ යෝජනාව ජගත් කවුන්සලයට

ඉරානයට සම්බාධක පැනවීමේ යෝජනාව ජගත් කවුන්සලයට

ඉරානයට විරුද්ධව නව සම්බාධක පැනවීමට අදාළ කෙටුම්පත් යෝජනාවක් අමෙරිකාව විසින් ජගත් කවුන්සලයට ඉදිරිපත් කර ඇත.

මේ අනුව ඉරානයට අවි සැපයීම සිමා වනු ඇති අතර බැංකු කටයුතු ද සීමා කෙරෙනු ඇත. තවද යුරේනියම් කැනීම සහ මිසයිල නිපදවීමද මෙමගින් සීමා කෙරේ.

මීට අමතරව වරාය වල මෙන්ම මුහුදේදී භාණ්ඩ සෝදිසි කිරීම සඳහා නව නීති රාමුවක් හඳුන්වාදීමට යෝ්ජිතය.

මෙම යෝජනාව පසුගිය අඟහරුවාදා නිත්‍ය නියෝජිතයන් නොවන සාමාජිකයන් විසින් ජගත් ආරක්ෂක කවුන්සලයේදී සාකච්ඡාවට ලක්වී තිබේ. නිෂේධ බලය පාවිච්චි කිරීමට බලය ඇති සියලුම සාමාජික රටවල සහයෝගයද මීට ලැබී තිබේ. මීට ඉහතදී චීනය සහ රුසියාව විසින් බොහෝ විට මෙවැනි සම්බාධක වලට එරෙහිව නිෂේධ බලය පාවිච්චි කර තිබේ.

පසුගිය දින කිහිපය තුළ ඉරානයේදී පැවැත්වූ සාකච්ඡා තුළින් යහපත් ප්‍රතිචාර ලබා ගැනීමට හැකිවූ බව අමෙරිකන් රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් පවසා තිබේ.

මෙහිදී ඉරානයේ යුරේනියම් බලගැන්වීම පිළිබඳව යම් එකඟතාවක් ඇති කර ගැනීමට නැගි එන රටවල් වන බ්‍රසීලය සහ තුර්කිය විශේෂ කාර්යය භාරයක් ඉටු කර තිබේ. මේ අනුව යුරේනියම් තුර්කියට අපනයනය කර ඒ වෙනුවට ඉන්ධන ලබා ගැනීමට ඉරානය කැමැත්ත පළ කර තිබේ.

මෙම කෙටුම්පත් යෝජනාව පිළිබඳව ජනාධිපති ඔබාමා කොංග්‍රසයේ යුදෙව් ජාතික මහජන නියෝජිතයන් සමග විනාඩි 90 ක සාකච්ඡාවක නියැලී ඇත.

මේ අවස්ථාවේදී ඊශ්‍රායලයේ ආරක්ෂක තත්ත්වය සහ මැදපෙරදිග සාම ක්‍රියාදාමයේ අනාගතය සම්බන්ධයෙන්ද කතා බහ කර තිබේ.

තුර්කිය සමග පැමිණි එකඟතාව වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රජාවේ සහාය ලබාදෙන ලෙස තුර්කි අගමැතිවරයා ඉල්ලා ඇත. මෙමගින් ඉරානයට එරෙහිව නව සම්බාධක පැනවීමේ අමෙරිකන් ප්‍රයත්නය පරාජයට පත් කළ හැකි වෙතැයි ඉරානය විශ්වාසය පළ කළේය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා