වසර 9කට පසුව ද.අප්‍රිකානු ක්‍රීඩිකාවක් දෙවැනි වටයට

ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලිය

වසර 9කට පසුව ද.අප්‍රිකානු ක්‍රීඩිකාවක් දෙවැනි වටයට

වසර 9 කට පසුව දකුණු අප්‍රිකානු ටෙනිස් ක්‍රීඩිකාවක් ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ දෙවැනි වටයට සුදුසුකම් ලැබීම සනිටුහන් කරමින් ඊයේ ආරම්භ වූ ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලිය පළමුවටයේ තරගයකින් ප්‍රංශයේ මැටිල්ඩා ජොහැන්සන් 6 – 2 ක් සහ 6 – 4 ක් ලෙස පරාජය කිරීමට දකුණු අප්‍රිකානු ක්‍රීඩිකා චැනේලි චීපර්ස් සමත්වූවාය.

ජගත් ටෙනිස් ශ්‍රේණිගත කිරීම් වල 133 වැනි ස්ථානයේ පසුවන 26 හැවිරිදි චීපර්ස් ප්‍රධාන පෙලේ ටෙනිස් තරගාවලියක දෙවැනි වටයට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව ද මෙය වේ.

එමෙන්ම ග්‍රෑන්ඩ් ස්ලැම් තරගාවලියක දෙවැනි වටය සඳහා දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවක් සුදුසුකම් ලැබුවේ වසර 6 කට පසුවය. අවසන් වරට ග්‍රෑන්ඩ් ස්ලැම් තරගාවලියක දෙවැනි වටය සඳහා දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවක් සුදුසුකම් ලැබුවේ 2004 අමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියේදීය. එම දස්කම් පෙන්නුම් කරනු ලැබුවේ අමන්දා කෝට්සර් විසිනි.

මීට පෙර 3 වතාවකදීම ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ පළමු වටයෙන් ඉවතට විසිවූ චීපර්ස් මෙවර තරගාවලියේ දෙවැනි වටයේ දී ආජන්ටිනාවේ ගීසෙලා ඩුල්කෝ සමග තරග වැදීමට නියමිතය.

මේ අතර පළමු වටයේ සෙසු තරග වලදී ජයග්‍රහණය වාර්තා කළ අමෙරිකාවේ සෙරීනා විලියම්ස්, රුසියාවේ ස්වෙට්ලානා කුසනොට්සෝවා, ඉතාලියේ ෆ්ලේවියා පනේටා, රුසියාවේ මාරියා කිරිලෙන්කා සහ රුසියාවේ නාදියා පෙත්‍රෝවා ද දෙවැනි වටය සඳහා සුදුසුකම් ලබා ගත්හ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා