ශ්‍රී ලංකාවට කඩුලු 7ක පහසු ජයක්

අමෙරිකාවේ විස්සයි 20 දෙවැනි තරගය

ශ්‍රී ලංකාවට කඩුලු 7ක පහසු ජයක්

තරගමාලාව 1-1කින් සමයි

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැති 2 වැනි විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 7ක පහසු ජයක් වාර්තා කළේ ය. ඒ අනුව තරග 2කින් සමමන්විත තරගමාලාව දෙපිලම තරග 1 - 1 බැගින් ජය ගෙන සමව අවසන් විය.

අඩු මුළු ලකුණු සංඛ්‍යා වාර්තා වූ මේ තරගය ශ්‍රී ලංකාව ජය ගත්තේ ඕවර හතරකටත් වැඩියෙන් ඉතිරිව තිබියදීය.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත පිලේ සියලුම ක්‍රීඩකයෝ ඕවර 17.3ක් ඇතුළත ලකුණු 81 කට දැවී ගියහ.

ශ්‍රී ලංකාව ඕවර 15.3කදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 86ක් රැස් කරමින් තරගය පහසුවෙන්ම ජය ගත්තේ ය.

නුවන් කුලසේකර නවසීලන්ත මුල් පිතිකරු පෙළ බිඳ දමමින් බ්‍රෙන්ඩන් මැකලම් හා ඒරන් රෙඩ්මන්ඩ් ද රොබ් නිකොල් ද දවාලමින් දෙවැනි ඕවරයේදී කඩුලු 3ක් බිඳ හෙලීය.

නවසීලන්තය එක් අවස්ථාවක ලකුණු 13කට කඩුලු 5ක් අහිමිව දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටියේ ය.

එම පිල වෙනුවෙන් යම් සාර්ථකත්වයක් හෝ පෙන්නුම් කළ පිතිකරුවන් වූයේ ඩැනියල් වෙටෝරි හා නේදන් මැකලම් පමණි.

වෙටෝරිගේ ලකුණු 27 නවසීලන්තයට යම් බලාපොරොත්තුවක් ඇති කළ අතර නේදන් මැකලම්ගේ ලකුණු 36 නවසීලන්තය මුළු ලකුණු 81ක් කරා ගෙන ගියේ ය.

18 වැනි ඕවරයේදී ඔවුන්ගේ ඉනිම අවසන් විය. පන්දුව සෙමින් එන තණතිල්ලේ වුවද ශ්‍රී ලංකාවට එම ඉලක්කය කොහෙත්ම අභියෝගයක් නොවීය.

ශ්‍රී ලංකා ඉනිම අරඹමින් මහේල ජයවර්ධන පන්දු 12කින් ලකුණු 17ක් රැස් කළේ ය. තිසර පෙරේරා ලකුණු 24ක් එක් කළ අතර තිලකරත්න ඩිල්ෂාන් යළිත් ඔහුගේ දස්කම් අතරට පිවිසෙමින් නොදැවී ලකුණු 33ක් වාර්තා කළේ ය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා