මහනුවර නගරයේ මීරාමක්කම පල්ලිය ඉදිරිපිටට ගුවන් පාලමක් ඕනෑ

මහනුවර නගරයේ මීරාමක්කම පල්ලිය ඉදිරිපිටට ගුවන් පාලමක් ඕනෑ

මහනුවර මීරාමක්කම් පල්ලිය ඉදිරිපිට මහනුවර – මාතලේ දුම්රිය මාර්ගය සම්බන්ධ වී ඇති සය මංසන්ධිය ඉතාමත් අනාරක්‍ෂිතය. මෙහි විශාල මගී පිරිසක් මෙන්ම සිසු සිසුවියෝ විශාල පිරිසක්ද දිනකට එහා මෙහා යති. එහෙත් මෙහි පදිකයන්ගේ ආරක්‍ෂාව සඳහා පදික වේදිකාවක් හෝ පදික මාරුවක් නොමැත. මේ නිසා මෙහි නිරන්තරයෙන් රිය අනතුරු සිදුවේ. එම නිසා මේ මං සන්ධියට ගුවන් පාලමක දැඩි අවශ්‍යතාවක් පවතී.

මේ පිළිබඳ දේශපාලන අධිකාරිය සහ වගකිව යුතු රාජ්‍ය නිලධාරීන් දැනුවත් කර ඇතත් මෙතෙක් ගුවන් පාලමක් ඉදිකිරීමට කිසිදු පියවරක් ගෙන නැත. නගරයේ තනි පාසල් සඳහා ගුවන් පාලම් ගොඩනගනා මෙම අවදියේ පාසල් සිසුන් ඇතුළු පදිකයන් රැසකගේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා අනාරක්‍ෂිත මේ සය මං සන්දියට ගුවන් පාලමක් ලබාදෙන ලෙස බලධාරීන්ගෙන් ජනතාව ඉල්ලා සිටිති. මේ පිළිබඳ අදහස් දැක්වූ ත්‍රිරෝද රථ රියැදුරකු වන නිලන්ත සමරසිංහ මහතා මෙසේ කීය.

මම වසර ගණනාවක් මේ මංසන්ධිය අසල ත්‍රිරෝද රථ එළවනවා. මහනුවර නගරයේ තිබෙනා මංසන්ධිවලින් අනාරක්‍ෂිතම මංසන්ධිය මෙම ස්ථානය. පාසල් පටන් ගන්නා දිනවල විශාල තදබදයක් මෙම ස්ථානයේ පවතිනවා. වාහන ගමන් කෙරෙන අස්සේ ළමයින් මෙන්ම පදිකයන් ගමන් කරනවා. පදික වේදිකාවක් හෝ පදික මාරුවක් නොමැති වීමෙන් නිතර අනතුරු සිදුවෙනවා. දුම්රිය මාර්ගය වංගු සහිත බැවින් දුම්රිය ළඟට එනතෙක් පදිකයන් දන්නේ නෑ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා