මාලදිවයිනේ ඉල්ලා අස්වූ ඇමැතිවරු යළි දිවුරුම් දෙති

මාලදිවයිනේ ඉල්ලා අස්වූ ඇමැතිවරු යළි දිවුරුම් දෙති

මාලදිවයින් ජනාධිපති හා පාර්ලිමේන්තුව අතර මතුව තිබුණු බල අරගලයේ නිමාවක් දකිනු පිණිස ජනාධිපති මොහමඩ් නෂීඩ් පෙරේදා සිය කැබිනට් මණ්ඩලය යළි පත් කළේ ය. ඉකුත් අඟහරුවාදා කැබිනට් මණ්ඩලයේ 13 දෙනාම ඉල්ලා අස්වූ අතර දැන් යළිත් ඔවුහු පූර්ව විෂයන් භාර ඇමතිවරුන් ලෙසම පෙරේදා දිවුරුම් දුන්හ.

ඔවුන්ගේ දිවුරුම්දීමේ උත්සවයෙන් පසු ජනාධිපතිවරයා කීවේ, කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී තිබුණේ අත්‍යවශ්‍ය කරුණක් නිසා බවය. පාර්ලිමේන්තු ක්‍රියාදාමයක් වලකනු පිණිස සෙසු මන්ත්‍රීන්ගේ ඡන්ද මුදලට ගැන්මේ ප්‍රයත්නයක මන්ත්‍රීවරුන් කීපදෙනකු නියැලී සිට ඇති බවත් ඒ පිළිබඳව දැන් පොලිස් පරීක්ෂණ පැවැත්වෙන බවත් ඔහු කීය. මාලදිවයින් ආණ්ඩුක්‍රමයට අනුව ජනාධිපතිවරයා විසින් තෝරනු ලබන කැබිනට් මණ්ඩලයේ සැම කෙනෙකුම පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබිය යුතු අතර ඔවුන් ඉවත් කළ හැක්කේ විශ්වාසභංග යෝජනාවක් මගිනි.

පසුගියදා විපක්ෂය මාලදිවයින් අධ්‍යාපන ඇමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සූදානම් වෙද්දී කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස්වී පූර්ව භංග පියවරකට යොමු වීමෙන් එය වැලකී ගියේ ය. දැන් යළිත් ඉල්ලා අස්වූ කැබිනට් මණ්ඩලයම යළි පත්ව ඇත්තේ අල්ලස් චෝදනා මතින් විපක්ෂ මන්ත්‍රීන් දෙදෙනකු අධිකරණ නියමයෙන් දෙසතියක නිවාස අඩස්සියක පසුවද්දීය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා