ජාත්‍යන්තර හමුදා බොක්සිං තරගාවලියේ ලෝකඩ පදක්කම් 7ක් ශ්‍රී ලංකාවට

ජාත්‍යන්තර හමුදා බොක්සිං තරගාවලියේ ලෝකඩ පදක්කම් 7ක් ශ්‍රී ලංකාවට

අමෙරිකාවේ උතුරු කැරලිනා නගරයේ පැවැති 53 වැනි ජාත්‍යන්තර හමුදා බොක්සිං තරගාවලියට සහභාගි වූ 10 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා බොක්සිං කණ්ඩායම ලෝකඩ පදක්කම් 7ක් දිනා ගැනීමට සමත් විය.

අමෙරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, කසකස්තානය, අයර්ලන්තය , එස්ටෝනියාව, බාබඩෝස්, නෙදර්ලන්තය, යුක්රේනය, නිව්ගිනියාව, ප්‍රංශය, බ්‍රසීලය, ඩෙන්මාර්කය, ඉතාලිය, ට්‍රිනිඩැඩ් හා ටුබෑගෝ සහ ශ්‍රී ලංකාව තරග වැදුණු මේ තරගාවලියේදී ගුවන් හමුදාවේ එස්.එම්.ආර්.කුමාර කිලෝග්‍රෑම් 49 බර පංතියෙන් ද, පී.ඩී. සුරේෂ් කිලෝග්‍රෑම් 52 බර පන්තියෙන්ද ටී.ඩී.එන්.ටී.ජයකොඩි කිලෝග්‍රෑම් 56 බර පන්තියෙන්ද ලෝකඩ පදක්කම් දිනාගත් අතර යුද හමුදාවේ එම්.සරත් කිලෝග්‍රෑම් 91 ට අඩු සුපර් හෙවිවේට් තරග ඉසව්වෙන් හා එම්.හම්සාර් කිලෝග්‍රෑම් 91 ට වැඩි සුපර් හෙවිවේට් තරග ඉසව්වේ ලෝකඩ පදක්කම් අත් කර ගත්හ. නාවික හමුදාවේ ප්‍රනාන්දු කිලෝ ග්‍රෑම් 81 බර පන්තියෙන්ද කුමාර කිලෝග්‍රෑම් 64 බර පන්තියෙන්ද ලෝකඩ පදක්කම් හිමිකර ගැනීමට සමත් වූහ.

ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සම්මේලනයේ විනිසුරුවරයකු හා තරග තීරකවරයකු ලෙස කටයුතු කරන ගුවන් හමුදාවේ එම්.ටී.එම්. සෆ්රාස් විසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනු ලැබීය.

ගුවන් හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් 4ක් ද, නාවික හමුදාවෙන් ක්‍රීඩකයන් 3ක්ද යුද හමුදාවෙන් ක්‍රීඩකයන් 3ක්ද තරග වැදුනු මේ තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ලෙස නාවික හමුදාවේ කපිතාන් පෝල් සහ පුහුණුකරු ලෙස යුද හමුදාවේ බලලත් නිළධාරී සුමිත් ප්‍රසන්න යන මහත්වරු සහභාගි වූහ.

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා බොක්සිං කණ්ඩායම ඊයේ දිවයිනට පැමිණි මොහොත ඡායාරූපයෙන් දැක්වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා