මහ වැස්සෙන් පවුල් 60,000ක් අවතැන්

මහ වැස්සෙන් පවුල් 60,000ක් අවතැන්

විපතට පත් වූවන්ට සහන දෙන්න මිලියන 20ක්

මධ්‍යස්ථාන 11ක පිරිසට පිසූ ආහාර හා පහසුකම්

කොළඹ සහ ඒ අවට ප්‍රදේශවලට පෙරේදා (10) සවස සිට ඇඳහැළුනු ධාරානිපාත වර්ෂාවෙන් පුද්ගලයන් ලක්ෂ 2කට වැඩි පිරිසක් විපතට පත්ව පවුල් 60,000ක් පමණ අවතැන් වී සිටිති.විපතට පත් වූවන්ට සහන සැලැසීම සඳහා රුපියල් මිලියන 20ක් රජයෙන් වෙන් කර තිබේ.

කොළඹ දිස්ත්‍රික්කය සඳහා රුපියල් මිලියන 10ක් ද ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක සඳහා මිලියන පහ බැගින් ද වෙන්කර ඇත. මීට අමතරව විපතට පත් වූවන්ට සහන සැලැසීමට තවත් මුදල් අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා මහා භාණ්ඩාගාරයෙන් කඩිනමින් මුදල් වෙන් කිරීමට පියවර ගන්නා බවද ආපදා කළමනාකරණ ඇමැති ඒ. එච්. එම්. ෆවුසි මහතා ප්‍රකාශ කරයි.

අවතැන් වූ පිරිසට දැනට කඳවුරු 11ක තාවකාලික නවාතැන් පහසුකම් ලබා දී තිබේ. ඔවුන්ට අවශ්‍ය පිසූ ආහාර මූල්‍යාධාර සහ අනෙක් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දීමට පියවර ගෙන තිබෙන අතර කොළඹ කඳවුරු 3ක් ද, කෝට්ටේ කඳවුරු 7ක් ද, රත්මලානේ කඳවුරු 1ක් ද, පිහිටුවා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

කොටුව ඉඟුරු කඩේ හංදිය, බොරැල්ල කින්සිපාර, සංඝරාජ මාවත, වේල්ල වීදිය, පීපල්ස් පාක්, අංගොඩ පාර, හෝර්ටන් පෙදෙස, පිළියන්දල බෝකුන්දර, මරදාන, මහරගම, කෝට්ටේ පාර්ලිමේන්තු ප්‍රදේශය දෙමටගොඩ විජේරාම මාවත කොළොන්නාව ජලයෙන් යට වී ඇති ප්‍රදේශය වේ.

එම ප්‍රදේශවල ප්‍රධාන මාර්ග සහ අතුරු මාර්ග විශාල ප්‍රමාණයක් ජලයෙන් යට වීම නිසා, මාර්ග ධාවනයට බාධා පැමිණ ඇති බව, එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ප්‍රකාශ කෙළේ ය. අන්තර් නිවර්තන අභිසාරි කලාපයේ කැළඹිලි සහිත තත්ත්වය හේතුවෙන් මෙසේ තද වැසි ඇති වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඉදිරි දින 3, 4 තුළ ද මේ තත්ත්වය අඩු වැඩි වශයෙන් පැවැතීමට හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගිඟුරුම් සහිත වැසි සහ තද සුළං ඇති විය හැකි බැවින්, අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නියෝජ්‍ය අධ්‍යක්ෂ එස්. ආර්. ජයසේකර මහතා මහජනතාවට දන්වා සිටියි.

අවතැන් වී දැනට ප්‍රජාශාලා, විහාරස්ථාන, පොලිසි සහ පාසල් වල තාවකාලිකව රැඳී සිටින පිරිසට අවශ්‍ය සියලුම පහසුකම් සැලැසීමට පොලිස් නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම් කර්යාල කටයුතු කරමින් සිටිති.

දැනට විපතට පත්ව තාවකාලික කඳවුරු වෙත පැමිණීමට නොහැකිව කොටු වී සිටින ජනතාවට අවශ්‍ය සහන ලබා ගැනීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමැතුම් දුරකථන අංක 0773957900 දැනුම් දෙන ලෙස ආපදා කළමනාකරණ අමාත්‍යාංශය දන්වා සිටියි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා